2024 මාර්තු 23 වන සෙනසුරාදා

අසාධාරණ විදුලි කප්පාදු දිගින් දිගටම

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

 විදුලිබල මණ්ඩලයට රට වටෙන් චෝදනා 

ඇතුළ ද පිටත ද නිතරම කචල් වන මණ්ඩලය සිය හන්දිපත් වූ රුදාවන් මගහැරගන්නට දුගියාගේ විදුලිය විසන්ධි කිරීම සතුටක් කරගෙන ඇති සෙයකි. පසුගිය සති කිහිපය තුළදී අසාධාරණ ලෙස සිදුවූ විදුලි විසන්ධි කිරීම් කිහිපයක් පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා වී තිබුණේ ඒ අනුවය. මෙම විදුලි විසන්ධි කිරීම්වල දිග පළල විමසා බැලීමට අපි උත්සුක වීමු.

මෙම බොහෝ විසන්ධි කිරීම්වලට හේතු වී තිබුණේ විදුලිබල මණ්ඩලය හඳුන්වා දී තිබෙන නව බිල්පත් ක්‍රමවේදයේ ඇති අකාර්යක්ෂමතාවයි. එහෙත් එම අකාර්යක්ෂමතාව පිළිබඳ වගවීමකින් තොරව, එම විදුලි සබඳතා කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. 

මේ පිළිබඳ අප කළ සොයා බැලීම අනුව දුරකථන අංක වෙත විදුලි බිල්පත් ගාස්තු දැන්වීමේ ක්‍රමවේදය හේතුවෙන් බොහෝ ගැටලු නිර්මාණය වී ඇති බව විදුලි පාරිභෝගිකයෝ ප්‍රකාශ කළහ. පෙර පාරිභෝගිකයන් වෙත ලැබුණු බිලේ විදුලිය භාවිත කරන ලද කාලසීමාව, භාවිත කරන ලද විදුලි ඒකක සංඛ්‍යාව ආදී තොරතුරු ඇතුළත් වූ නමුත් මේ වන විට තොරතුරු කිසිවක් සඳහන් නොකොට හිතුමතේ විදුලිය විසන්ධි කිරීම් සිදුකරන බවට පාරිභෝගිකයෝ චෝදනා කර සිටිති.

අපි මේ පිළිබඳ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතාගෙන් වැඩිදුරටත් තොරතුරු විමසා සිටියෙමු.

“විදුලි පාරිභෝගිකයන්ට දිගින් දිගටම අසාධාරණකම් සිද්ධ වෙනවා. විදුලිය විසන්ධි කිරීම් ප්‍රමාණයත් එන්න එන්නටම වැඩිවෙලා තියෙනවා. අලුතින් හඳුන්වා දුන් බිල්පත් ක්‍රමවේදය අසාර්ථකයි. අපි කියන්නෙ පාරිභෝගිකයන්ට විස්තර සහිත බිල්පත් ඉල්ලා සිටින්න කියලා. පහුගිය දිනවල අපි දැඩි අරගලයක් දියත් කරලා කප්පාදු කළ සබඳතා නැවත ලබාදීමේදී අය කරන ගාස්තු ප්‍රමාණය අඩු කර ගත්තා. ඒත් තවමත් පෙර ගාස්තුවම අයවන අවස්ථා වාර්තා වෙලා තියෙනවා. මේක විශාල අසාධාරණයක්."

මේ අතර පසුගියදා මහජන උපයෝගිතා කොමිසම විදුලිය විසන්ධි කළ නිවෙස්වලට නැවත විදුලිය ලබාදීම සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය නියම කළ නමුත් විවිධ ගැටලු සහගත තත්ත්වයන් ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

“ලයිට් කපපු ගෙදරකට නැවත විදුලි සම්බන්ධතාවය ලබාගන්නා විට මෙච්චර කල් අය කළේ රුපියල් තුන්දහසක ගාස්තුවක්. රුපියල් දහසක බිල්පත් නිසා විදුලිය විසන්ධි කළත් රුපියල් 3000ක් ගෙවන්න වෙලා තිබුණේ. අපි විශාල සටනක් කරලා විදුලිබල මණ්ඩලයේ නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුව රුපියල් 800ක් දක්වා අඩු කළා. ලෙකෝ එකේ 2900ක් තිබුණා. ඒ අයත් අපේ ඉල්ලීමත් එක්ක ගාස්තු රුපියල් 500ක් කළා. මේකත් සමාන වෙන්න ඕනෑ. ඒ වගේම පසුගිය දවස්වල මේ තීන්දුව සලකන්නේ නැතුව රුපියල් 3000ක් කරපු අවස්ථා වාර්තා වෙනවා. ඒ නිසා අපි කියනවා වහාම ඒ පාරිභෝගිකයන්ගේ ඉතිරි  රුපියල් 2200 නැවත පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරන්න."

විදුලිබල මණ්ඩලයේ තීරණය මාර්තු 5 වැනිදා සිට ක්‍රියාත්මක වී ඇති නමුත් මාර්තු 14 වැනිදා ද සිදු කරනු ලැබූ විදුලි විසන්ධි කිරීම්වලට අදාළව රුපියල් 3000ක මුදලක් අය කළ අවස්ථා අප වෙත වාර්තා වී තිබේ. කෙසේ වෙතත් පාරිභෝගිකයන් වෙනුවෙන් කටයුතු කිරීමට සිටින මහජන උපයෝගීතා කොමිසම පවා මෙවන් සිදුවීම් නොතකා හැරීම කනගාටුවට කරුණකි.

ඉකුත් වසරේ පමණක් විදුලි විසන්ධි වීම් මිලියනයකට වඩා වාර්තා වන බව විදුලිබල මණ්ඩලයම සඳහන් කොට තිබේ. එය ඉතිහාසයේ මේ දක්වා විදුලිය විසන්ධි කළ වැඩිම සංඛ්‍යාව වේ. ඒ අනුව 2023 වසරේ මිලියන 07කට ආසන්න විදුලි පාරිභෝගිකයන් අතරින්, පැහැර හරින ලද ගෙවීම් 1,064,400ක් විසන්ධි කිරීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

විසන්ධි කිරීම් 965,566ක් සහ 98,834ක් සඳහා පිළිවෙළින් ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ Lanka Electricity Company (LECO) වගකිව යුතුය. සංසන්දනාත්මකව ගත් කල 2019 දී, මුළු වසර සඳහාම විසන්ධි කිරීම් 573,073ක් සිදු වී ඇති අතර, එය සාමාන්‍යයෙන් මසකට 47,756 කි.

විදුලි කප්පාදුවේදී පමණක් නොව නව විදුලි සම්බන්ධතා ලබා දීමේදී ද ලංවිම සහ ලෙකෝ පරස්පර ගාස්තු අය කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනී යයි. ආයතන දෙකක් වුවද එකම පද්ධතියෙන් එකම රුහැන්වලින් පැමිණෙන විදුලිය සඳහා මෙවන් පරස්පර අය කිරීම් සිදුකර ගැනීම අනුමත කළ නොහැක්කකි.

“2024 මාර්තු 5 වැනිදා සිට නිවෙසකට නව විදුලි සබඳතාවක් ලබාගන්නවා නම් විදුලිබල මණ්ඩලය අය කරන ගාස්තුව රුපියල් හතළිස් පන්දහස් පන්සීයයි. නමුත් ලෙකෝ සමාගම අය කරන්නේ රුපියල් තිස්හතර දහස් හයසීයයි. ඒ අනුව ලෙකෝ සමාගමට වඩා මණ්ඩලය රුපියල් දසදහස් නවසීයක් වැඩිපුර අය කරනවා. මේක ජනතාව හූරාගෙන කෑමක්. එකම කටයුත්තකට මෙහෙම ගණන් දෙකක් අය කරන එක වැරදියි. ලොකෝ එකේ ඉන්නෙ අඩු පාරිභෝගිකයන් සංඛ්‍යාවක්. ඒ නිසා ඔවුන් බඩු ‘ඕඩර්' කරනවා ඇත්තෙත් අඩුවෙන්. නමුත් විදුලිබල මණ්ඩලයට විශාල විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන්ට වයර්, මීටර් ආදිය වැඩි වශයෙන් ‘ඕඩර්' කරන්න පුළුවන්. එවිට අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ නිසා විදුලිබල මණ්ඩලය හරි නම් ලෙකෝ සමාගමෙන් අය කරනවාට වඩා අඩු ගාණකට නව විදුලි සබඳතා ලබා දිය යුතුයි."

විදුලි පාරිභෝගිකයන් ඉකුත් වසර කිහිපයක සිට දැඩි පීඩාවට පත්වෙමින් සිටිති. විදුලි ගාස්තු තුන් හතර ගුණයකින් ඉහළ ගියේය. බොහෝ මිනිසුන්ට බිල්පත් ගෙවා ගැනීමට නොහැකි වී ඇත්තේ මෙම ඉහළ යාම හේතුවෙන් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. කලට වෙලාවට බිල්පත් බාරදීමට පවා විදුලිබල මණ්ඩලය අසමත් වූ ඒ අතරය. දැන් බොහෝ දෙනා අතට පත්වන්නේ අගක් මුලක් නොමැති බිල්පත්ය. නැතිනම් ජංගම දුරකථන කෙටි පණිවිඩයකි.

කොතරම් කචල් වුවද මණ්ඩලයේ ඇත්තෝ සුරසැප විඳීම අතහැර දමා නැත. ශ්‍රී ලංකාවේ අධික පාඩු ලබන ආයතනයක් ලෙස මේ වන විට හඳුන්වන නමුත් විදුලිබල මණ්ඩලයේ වැටුප් සහ අතිකාල දීමනා බොහෝ රාජ්‍ය ආයතන පරයා යයි. මේ වන විට ජනතාව පිට මුළුමනින්ම බර පටවා ඇති මෙම පිරිස්, තම සැපත කප්පාදු කර ගැනීමට මැලිවීම ලජ්ජාවට කරුණකි.

I චමිඳු නිසල් ද සිල්වා

 

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02