2024 මාර්තු 23 වන සෙනසුරාදා

රංචු ගැසී තලා දැමූ මල් කැකුළක්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 213

''යාපනය හන්දියේ සැලුන් එකක් ළඟට ගෑනු දරුවෙක් යන එනවා. ඉස්කෝල යුනිෆෝම් එකෙනුත් ඉන්නවා. ක්‍රීඩා ඇඳුමෙනුත් එනවා. සැලුන් එක ළමයගේ පවුලෙ කෙනකුගෙත් නෙවේ. ඒ නිසා සැකයි.''

මේ කියන තොරතුර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබී තිබුණේ නිර්නාමිකවය. නමුත් විස්තරය ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් බව පොලිසිය දැන සිටියේය. තොරතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනය අරඹා තිබුණේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගිනි. යම් කාරණා කිහිපයක් හඳුනාගත් වහාම සැක කටයුතු දැරිය පොලිස් බාරයට ගැණින. අනතුරුව ඇගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේදී තොරතුරු රුසක් හෙළිවී ඇත. ඒ අනුව පැවසෙන්නේ දැරිය 2020 සිට මේ දක්වා වසර 4ක් පුරා වරින් වර දූෂණය කර ඇති බවය. ඒ සඳහා විටෙක රු. 100, 200 වශයෙන් මුදලක් දී තිබෙන අතර බොහෝ විට බියගන්වා බලහත්කාරකම් සිදුකොට නිවෙස වෙත එළවා දමා ඇති බව කියැවේ. 

පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 වියේ පසුවන දැරියක බවය. ඇය 6 වසර සිට මෙම සිද්ධියට මුහුණපා ඇති බවද තහවුරු වී ඇත. යාපනය හන්දිය අදාළ කොණ්ඩ කපන ස්ථානය තුළදී පුරුෂයන් කිහිප දෙනකු විසින් අවස්ථා ගණනාවකදීම ඇයව බරපතළ ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවද තහවුරු කරගෙන තිබේ. මෙම සිසුවිය පාසලේ දක්ෂ දැරියකි. දැල් පන්දු, පාපන්දු, ක්‍රිකට් සහ එල්ලේ පාසල් මට්ටමේ සහ ජාතික තරගවලට සහභාගි වී ජයග්‍රහණ හිමි කරගත් දැරියක බවට පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත. අනුරාධපුර යාපනය හන්දිය පිහිටි රත්නසිරි සැලුන්හි පසුපස පිහිටි කාමරයකදී මෙම අපරාධය කාලයක පටන් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ. 

බාල වයස්කාර පාසල් සිසුවියක කලක සිට වරින් වර රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රත්නසිරි සැලුන්හි ප්‍රධාන කරණවෑමියා වන 57 හැවිරිදි ඩී.එම්. තිලකරත්න හෙවත් පොඩි මාමා සහ මල්වතු ඔය ගඟබඩ පාරේ ත්‍රිරෝද රථ රියැදුරකු වන 47 හැවිරිදි 'චූටා' හෙවත් අනිල් පියරත්න යන සැකකරුවෝ මුලින්ම අත්අඩංගුවට පත්වූහ. පසුව මේ බරපතළ සිදුවීම පිළිබඳව කඩිනමින් විමර්ශනය සිදුකළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 19, 61, 52, 35, 40, 34 සහ 48 යන වයස්වල පසුවන සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කළේය.

බාල වයස්කාර පාසල් සිසුවියක කලක සිට වරින් වර රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ඉහත නම් කී කරණවෑමියා සහ තවත් සැකකරුවකු මේ මස 28 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා කියා සිටියේ 14 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක පුද්ගලයන් පිරිසක් වරින් වර දූෂණය කරන බවට ලද තොරතුරකට අනුව වින්දිත දැරිය පොලිස් භාරයට ගෙන ඇයගෙන් ලබාගත් ප්‍රකාශ ඔස්සේ මූලික විමර්ශන මෙහෙයවා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. 

පළමු සැකකාර ඩී.එම්. තිලකරත්න නමැත්තාට අයත් යාපනය හංදියේ පිහිටි රත්නසිරි සැලුන්හි පිටුපස කාමරයක් තුළදී සැකකරුවන් මෙම අපරාධය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වූයේ යැයිද අධිකරණයට කියා සිටි උප පොලිස් පරීක්ෂකවරයා වරින් වර දැරිය දූෂණය කර ඇති තවත් සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයුමක් අරඹා ඇති බවත් එම සැකකරුවන් 11 දෙනා ද නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් කීය. සැකකරුවන් විසින් බරපතළ ලෙස දූෂණය කර ඇති 14 හැවිරිදි දැරිය පොලිසියට ලබා දී ඇති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙම සැකකරුවන් දෙදෙනාට අමතරව ඇය දූෂණය කළ අනෙකුත් සැකකරුවන් අතර සීයා කෙනකු සිටි බවය. ඔහු එක්තරා පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයක සේවය කරන උප පොලිස් පරීක්ෂකවරියකගේ 70 හැවිරිදි පියා බවට හඳුනාගෙන සිටින බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් සැක කරන තවත් පිරිසක් සැඟවී සිටින බව වාර්තා වේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතය. 

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා චාමනී දිසානායක, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති, උප පොලිස් පරීක්ෂක ධනපාල සහ සැරයන් වන (48342) රංජිත්, (69515) තිලකරත්න, (11742) නවරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අනෙකුත් සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරති. 

I සමන්ත විල්තෙර

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02