2024 මාර්තු 23 වන සෙනසුරාදා

පළමුව එන්නේ ජනාධිපතිවරණය ද? මහ මැතිවරණය ද?

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 85

මේ මැතිවරණ වසරක් බව හැමෝම දන්නා කරුණකි. ඒ නිසා බොහෝ පක්ෂ සංවිධාන මැතිවරණය සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටියි. එහෙත් ඉක්මනින් පවත්වන මැතිවරණය කුමක්ද යන්න තවම නිශ්චිත නැත. කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවා කියා සිටියේ ජනාධිපතිවරණය නිසි පරිදි පවත්වන බවය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අමුතුවෙන් අදහස් ඉදිරිපත් කළ යුතු නැත. ඒ ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය, ජනාධිපතිවරයාට නොව මැතිවරණ කොමිසම සතුවන බැවිනි. එහෙත් ජනාධිපතිවරයා එය පුන පුනා පවසන්නේ ඇයි?

ඒ වෙන කිසිවක් නිසා නොව මේ වනවිට දේශපාලන අභ්‍යන්තරයේ සිදුවන අමුතු කතාබහ හේතුවෙනි. ඒ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වෙන බවට පැතිරී යන කසුකුසුවයි. මහ මැතිවරණය පැවැත්වීමේ අවස්ථා දෙකක් පවතී. එකක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. දෙවැන්න, පාර්ලිමේන්තුව විසින් රැගෙන එන විසුරුවා හැරීමේ යෝජනාවක් බහුතරය මගින් සම්මත කිරීමය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකට සූදානම් වන ලෙස කියා මහ මැතිවරණයකට යනු ඇතැයි 100% ක් විශ්වාස කළ නොහැක. මන්ද, දේශපාලනය විශ්වාස කළ නොහැකි බැවිනි. කෙසේ වෙතත් කසුකුසුව යන්නේ පොහොට්ටුවෙන් ගෙනෙන යෝජනාවක් අනුව බහුතරයක එකඟත්වයෙන් මහ මැතිවරණයකට යනු ඇති බවය. එය අප දන්නේ නැත. ඒ නිසාම එහි පරම අයිතිය ඇත්තේ මහජන නියෝජිතයන් වෙතය.

මේ සම්බන්ධ‍යෙන් අප වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුණේ පොහොට්ටුවේ කණ්ඩායමක් සහ සජබයේ කණ්ඩායමක් අතර පසුගිය දිනෙක රහසිගත හමුවක් සිදුවී ඇති බවය. එහිදී පොහොට්ටුවේ පිරිසගේ යෝජනාව වී ඇත්තේ මහ මැතිවරණයක් සඳහා යාමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර මැතිවරණයකට පිවිසීමය. එහෙත් සජබය එහිදී ඔලුව බේරාගෙන ඇත්තේ අවශ්‍ය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පොහොට්ටුව විසින් කරන ලෙසත් ඊට සහාය දීම සම්බන්ධයෙන් තම කණ්ඩායම සිතා බලන බවත් පවසමිනි. කෙසේ වෙතත් පොහොට්ටුවේ බහුතර අයගේ මතය වී ඇත්තේ තමන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වහාම මහ මැතිවරණයකට යාම සුදුසු බවය. බැසිල් රාජපක්ෂ මහතා එළිපිට නොකීවත් ඔහුගේ මතය ද එය බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ කාරණා කිහිපයක් හේතුවෙනි. එනම් පොහොට්ටුව සහ අලියා ඇතුළු කණ්ඩායම එක්ව තරග කරන්නේ නම් ඒ සඳහා ජනතාවගේ මතය පරීක්ෂා කළ හැකි වීමය. දෙවැන්න නම් ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් පොහොට්ටුව ඉරිතලා යෑමේ අවදානමක් ඇති බැවින් සියලු දෙනා එක තැනකට ගෙන ඒමේ එකම අවස්ථාව මෙය බව බහුතරයකගේ මතය වී තිබීමය. කෙසේ වෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසගේ මතය වී ඇත්තේ ජනාධිපතිවරණයක් සඳහා පළමුව යා යුතු බවය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඔහු වෙනුවෙන් පොහොට්ටුව කැපවිය යුතු බව ඔහුගේ මතය වී ඇත. කෙසේ වෙතත් පොහොට්ටුවේ මතය ප්‍රසිද්ධ කරනු ලබන්නේ ලබන මැයි මාසය මුලදීය. එම තීන්දුව සාධාරණ තීන්දුවක් වනු ඇතැයි යන්න පක්ෂයේ බොහෝ දෙනාගේ මතය වී තිබේ. එහෙත් එය පොහොට්ටුවේ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක් වුවහොත් පොහොට්ටුවේ පිරිසක් රනිල් වික්‍රමසිංහ සමඟ වෙනම ගමනක් යනු ඇත. ඒ නිසා මැයි මාසයේ මැයි දිනය හා සමගාමීව පොහොට්ටුවේ අපේක්ෂකයා කරළියට එනු ඇත.

ජනාධිපතිවරණයක් වුවද මහ මැතිවරණයක් වුවද ඕනෑම මැතිවරණයකට සජබයත්, ජාතික ජන බලවේගයත් සූදානමින් සිටියි. ඔවුන් පවසන්නේ කුමන මැතිවරණයක් පැමිණියද ඊට සූදානම් බවය. එහෙත් සජබය කකුල් දෙපැත්තේ තබාගෙන සිටිය ද මාලිමාව කිසිදු අයුරකින් පාර්ලිමේන්තු මැතිවරණයකට ආණ්ඩුවට සහාය දෙන්නේ නැත. එනම් ඔවුන් පාර්ලිමේන්තු යෝජනාවක් ගෙන ආවත් ඊට සහායක් ලබාදෙන්නේ නැති බවට තීරණය කර තිබීමය. ඒ නිසාම ඔවුන්ගේ සූදානම ජනාධිපතිවරණයක් සඳහා පමණි.

මේ ආකාරයෙන් දේශපාලනය තිරයෙන් පිටුපස ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද යනුවෙන් කතාබහක් සිදුවෙමින් ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද යන්න තීන්දු කරන්නේ ආණ්ඩුව විසිනි. ආණ්ඩුවේ පොහොට්ටුව විසිනි. ඒ නිසා මේ රටේ මීළඟට පැවැත්වෙන්නේ කුමන මැතිවරණය ද යන්න පොහොට්ටුවේ තීන්දුව මත තීරණය වනු ඇත.

I ගයාන් ගාල්ලගේ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00