2024 මාර්තු 23 වන සෙනසුරාදා

කතරගම දෙවොලේ ආදායම අට ගුණයකින් නැග්ගූ ’’හාස්කම’’

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 358

රුහුණු කතරගම මහා දේවාලයේ ආදායම ඉකුත් වසර තුළදී අට ගුණයකින් ඉහළ ගොස් ඇතැයි පසුගියදා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිශාන් ගුණසේකර මහතා පවසා තිබුණි. මේ පිළිබඳව දිග පළල ගැඹුර විමසා බැලිය යුතු බව දේශය තීරණය කළේ ඒ අනුවය. ඒ අනුව බස්නායක නිලමේවරයා සමඟ දේශය අපි සංවාදයක් ඇතිකර ගතිමු. මෙම සටහන ලියැවෙන්නේ එහිදී හෙළිදරව් වූ කරුණු පදනම් කර ගනිමිනි.

රුහුණු කතරගම මහා දේවාලයට ආදායම් ලැබෙන ක්‍රම කිහිපයක් පවතී. ඉන් ප්‍රධානතම ක්‍රමය වන්නේ බැතිමතුන්ගෙන් ලැබෙන ආධාර මුදල් ය. එම ආධාර මුදල් යටතට දෙවොලේ පඬුරු පෙට්ටියට බැතිමතුන් බහාලන මුදල් සහ කාර්යාලය වෙත විධිමත් ලෙස ලබා දෙන මුදල් අයත් වේ. මෙයට අමතරව දේවාලයේ ඉඩකඩම්වලින් ලැබෙන ආදායම් ද රුහුණු කතරගම මහා දේවාලයේ ආදායම් අතරට එකතු වේ. මෙම සියලු මුදල් දේවාලේ ගිණුමට ගිණුම්ගත වන අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට සහ විගණනයට යටත් වේ.

“මේවා තමයි දේවාලයට තිබෙන ආදායම් මාර්ග. පූජා වට්ටියට තබන මුදල් සියල්ලම කපු මහත්වරු පෞද්ගලිකව පරිහරණය කරනවා. විහාර දේවාලගම් පනතට අනුව එය වරදක් වුණත්, තවමත් බලහත්කාරයෙන් ඔවුන් මුදල් සහ ඔවුන්ගේ අතට ලැබෙන රත්රන් රිදීවල ඉඳල පොල් පැලේ දක්වා සියල්ලම ගෙදර ගෙනියනවා. කාර්යාලයට බාරදීලා රිසිට්පතක් ලබාගන්න දේවල් විතරක් දේවාලයේ ගබඩාවට එකතු වෙනවා."

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර මහතා හෙළිදරව් කරන ආකාරයට, මාසිකව පූජා වට්ටි ඔස්සේ ලැබෙන ආදායම රුපියල් කෝටි හතරක් පමණ වේ. එම සියලු මුදල් බෙදී යන්නේ කපු මහත්වරුන් අතරේය. මෙවන් වටපිටාවක් තුළ රුහුණු කතරගම මහා දේවාලය ඉතිහාසගත ආදායමක් ඉකුත් වසරේ සටහන් කර ගත්තේ කෙලෙස ද යන්න සැබැවින්ම විමසා බැලිය යුත්තකි.

“ඇත්තටම බැතිමතුන් දැනුවත් වුණා පූජා වට්ටියට ලබා දෙන සියල්ල කපු මහත්වරු ගෙදර ගෙනියනවා කියලා. ඒ දැනුවත් වීමත් එක්කම බැතිමතුන් පඬුරු පෙට්ටිවලට මුදල් දැමීමට සහ කාර්යාලයට මුදල් ලබාදීලා රිසිට්පත් ලබාගන්න පෙළඹුණා. ඒ නිසා තමා ආදායම ගොඩක්ම වැඩි වුණේ."

බස්නායක නිලමේවරයා පසුගිය කාලේ සිදුකළ හෙළිදරව් හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව පෙනී යයි. පසුගිය දිනවල දේවාලය ආශ්‍රිතව සිදු වූ සොරකම් සහ තවත් අකටයුතුකම් නැවැත්වීමට බස්නායක නිලමේවරයා ප්‍රමුඛ පාලනාධිකාරිය කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ ඔහුට මරණ තර්ජන එල්ල වෙමින් ඇති බව අපට දැනගන්නට ලැබිණි.

“මම එන්න ඉස්සෙල්ලා තිබුණේ වසරකට ආදායම කෝටි 5ක් විතර. පසුගිය අවුරුද්දේ ආදායම කෝටි 40ක් දක්වා වැඩිවෙලා තියෙනවා. දැන් ආදායම අට ගුණයකින් වැඩිවෙලා තියෙනවා."

අයථා ලෙස පරිහරණය වූ දේවාලයේ ආදායම නිසි පරිදි එකතු කර ගැනීමට බස්නායක නිලමේවරයා ඇතුළු පාලනාධිකාරිය ගනු ලැබූ තීන්දු තීරණ හේතු වී ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත් මෙයින් පාඩු ලබන පිරිස්, අත්විඳින පාඩුව රුපියල් කෝටි ගණනින් කියැවෙන බැවින් බස්නායක නිලමේවරයාට ඇති ජීවිත තර්ජන පිළිබඳ කතාව බැහැර කළ නොහැකිය.

මෙම ආදායම එකතු කරගෙන රුහුණු කතරගම මහා දේවාලය විසින් සිදු කරනු ලබන්නේ කුමක්ද යන්න ප්‍රශ්න කිරීමට බැතිමතුන්ට පැහැදිලි අයිතියක් පවතී. ආශිර්වාද පතා දෙවියන්ට පින් පිණිස ලබා දුන් පඬුරු දෙවියන්ට පින් රුස්වෙන ලෙස භාවිත වන්නේද යන්න පිළිබඳ අපි ද වැඩිදුරටත් විමසා බැලුවෙමු.

“දේවාලෙ ආදායමෙන් දැන් කෝටි දහයක් විතර වාර්ෂිකව වැය වෙනවා දේවාලෙ නඩත්තුවට. සේවකයන් ඉන්නවා 130ක් විතර. ඊට අමතරව විදුලිය ඇතුළු බිල්පත් ගෙවීමට තිබෙනවා. මුළු පූජා භූමියේම පවිත්‍රතා කටයුතු ඇතුළු නඩත්තු කටයුතු සිද්ධ වෙන්නේ දේවාලය ඔස්සේ. පෙරහර සඳහාත් කෝටි හතරක් විතර වියදම් වෙනවා. මේ වගේ වියදම්වලට අමතරවත් ඒ සියලුම මුදල් පරිහරණය කරන්නේ දෙවි හාමුරුවන්ට පින් පිණිසයි."

බැතිමතුන්ගේ මුදලින් දෙවියන්ටද පින් රැස්වෙන කටයුතු රැසකට රුහුණු කතරගම මහා දේවාලය මුල පුරා ඇති බව පෙනී යයි. එයින් මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ගොඩනැගිල්ලක් ඉදිකර දීම සුවිශේෂීම කටයුත්තකි.

“මේ මුදල්වලින් තමයි මහරගම පිළිකා රෝහලේ තට්ටු හතරක වර්ග අඩි 25000ක ගොඩනැගිල්ල ඉදි කරන්නෙ. පිළිකා රෝගවලට ගොදුරුවෙන දරුවන් සඳහා ඉදිවෙන මේ ගොඩනැගිල්ලෙ ඉදිකිරීම් කටයුතු මේ මාසේ අවසන් වෙනකොට නිමා වෙනවා. ඊට පස්සේ අපි සූදානම් වෙනවා පිළිකා රෝහල සඳහා ඇඳන් පන්සීයකින් යුත් සියලුම පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ලබා දෙන්න. දැනටත් පිළිකා රෝහලේ තියෙන්නේ ඇඳන් නමසිය ගණනක් විතරයි."

මෙම කටයුත්ත සාර්ථකව නිමා කිරීමට අවකාශය ලදහොත් එය ඓතිහාසික කටයුත්තක් වනු නොඅනුමානය. කදිර සුරිඳුන්ගේ සැබෑ සරණ අසරණ දුවා දරුවෝ රැසක් වෙත ලැබෙනු ඇත.

බස්නායක නිලමේවරයා පෙන්වා දෙන ආකාරයට සුබසාධන කටයුතු රැසක් කතරගම මහා දේවාලය ඔස්සේ සිදුවේ.

“මීට අමතරව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා රැකියා පහසුකම් සංවර්ධනය කිරීමට වැඩපිළිවෙළක් තිබෙනවා. කොරියානු භාෂා පුහුණු පාසලක් ක්‍රියාත්මක වෙනවා. ඒකේ දරුවෝ දෙතුන් සීයක් ඉගෙන ගන්නවා. කොම්පියුටර් ඇකඩමියක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙ ළමයි එක්දහස් තුන්සීයක් විතර ඉන්නවා. හෝටල් පාසලකුත් ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපනය සහ දරුවන් සඳහා තමයි අපි වැඩිපුරම මුදල් යොදවන්නේ. ඊට අමතරව අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකර දීමටත් අපි පියවර අරගෙන තියෙනවා."

කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාදය පතා රුහුණු කතරගම මහා දේවාලය වෙත පැමිණෙන බැතිමතුන් දෙවිඳුන් සඳහා පින් ලැබෙන ලෙස පූජා කළ යුතු ආකාරය තවදුරටත් අප පැහැදිලි කළ යුතු නැත. 

“කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව බලාපොරොත්තු වෙන සියලු දෙනා, කිරිවෙහෙර වැඳලා අෂ්ටඵල බෝධිය වැඳලා තමන්ගේ ජීවිතයේ සිදු කරපු පින්කම් ගැන සිහිපත් කරලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරලා පිහිට ආරක්ෂාව ලබා ගන්නවා. හැමෝම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න පෙළඹෙන්න ඕනෑ, නැත්නම් මේ යන විදිහට දුප්පත් කෙනෙක්ට දෙවියන් වඳින්න බෑ. නියම විදිහට දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් පින් අනුමෝදන් කරනවා නම් ඒ පිහිට ආරක්ෂාව ලැබෙනවා. ඒක ස්ථිරයි."

පැසසිය යුත්ත නියමයෙන්ම පැසසිය යුතු බව අවසානයේ මෙහිලා අප සටහන් කොට තැබිය යුතුය. මෙතෙක් කල් දේවාලය පිළිබඳ අනාවරණය නොවූ සත්‍යය ලෝකයට අනාවරණය කිරීමට මැදිහත් වූයේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිශාන් ගුණසේකර මහතා ඇතුළු පිරිසයි. තර්ජන ගර්ජන හමුවේ පවා ඔවුන් මෙම කාර්යභාරය ඉදිරියටත් කරගෙන යාම සෑම අතින්ම අප සංස්කෘතික උරුමය ආරක්ෂා වීම කෙරෙහි අතිශය වැදගත් වනු ඇත. නැතිනම් වංචනිකයන් හමුවේ මිනිසුන් කෙරෙන් සිය සංස්කෘතික විශ්වාසය ගිලිහී යාමට ඇති ඉඩකඩ සුළු පටු නොවේ.

I චමිඳු නිසල් ද සිල්වා