2024 මාර්තු 23 වන සෙනසුරාදා

කැනඩාව හඬවා අවසන් ගමන් ගිය සිංහල පවුල

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

මාර්තු 6 වැනිදා කැනඩාවේ ඔටාවා හි බාහේවන් ප්‍රදේශයේ නිවෙසක අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ එකම පවුලේ ශ්‍රී ලාංකිකයන් පස් දෙනාගේ සහ ඔවුන්ගේ මිතුරාගේ අවසන් කටයුතු පසුගිය 17 වැනිදා සිදු කෙරිණි. අවසන් කටයුතු සිදු කිරීම සඳහා එම දේහ ඥාතීන් වෙත බාරදෙනු ලැබූයේ ඝාතනය සිදුවී දින දහයකට පසුවය. 

ඝාතනයට ලක්වූයේ 35 හැවිරිදි දිලන්තිකා ඒකනායක (මව), 7 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ (පුතා), සිව් හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ ( දුව), දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ (දුව) සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ (පුතා) ය. එමෙන්ම ඔවුන්ගේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ද ඝාතනයට ලක්ව තිබිණි. ඔවුන්ගේ අවමංගල උත්සවය පැවැත්වුණේ ඔටාවා හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේය. සැමට විවෘත අවමංගල උත්සවයක් ලෙස එය පැවැත්වුණු අතර එම මධ්‍යස්ථානය වෙත ඔවුන්ගේ සිරුරු රුගෙන එන අවස්ථාවේ බොහෝ දෙනකුගේ නෙතින්කඳුළු කඩා වැටෙනු දැකිය හැකි විය. විශාල පිරිසක් සහභාගී වී සිටි එම අවමංගල උත්සවයට ඔටාවාහි නගරාධිපතිවරයා, පොලිස් ප්‍රධානියා සහ කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතා ද වූහ. 

ඝාතකයාගේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පවුලේ පියා වූ ධනුෂ්ක වික්‍රමසිංහ ද ප්‍රතිකාර ලබා එහි පැමිණි තිබිණි. ඔහුගේ දකුණතේ ඇඟිල්ලක් කැපී වෙන්ව තිබූ අතර මුහුණ පුරා තුවාල කැළැල් ද දැකිය හැකි විය. ධනුෂ්කගේ පියා සහ සහෝදරයා ද අවමංගල උත්සවයට සහභාගී වී සිටියහ. අවමංගල උත්සවයේ ආගමික වතාවත් ඉටු කරන ලද්දේ ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාම විහාරස්ථානයේ වැඩවසන මහගම සුනීත හිමියන් විසිනි. මියගිය පිරිසගේ දේහයන් එහිදී විවෘත නොකෙරුණු අතර ඒවා මත ඔවුන්ගේ ඡායාරෑප තබා තිබිණි. දරුවන්ගේ පියා වූ ධනුෂ්ක වික්‍රමසිංහ තම වේදනාව දරා ගනිමින් මතක වස්ත්‍ර පූජා කිරීමට සහ පැන් වැඩීමට එක්වූ අවස්ථාව රුස්ව සිටි සැමගේ නෙතට කඳුළක් ඉනූ දසුනක් විය. 

ඝාතනයට ලක්වූ ගාමිණී අමරකෝන්ගේ බිරිඳ සහ දියණිය ශ්‍රී ලංකාවේ සිට පටිගත කළ පණිවිඩයක් මගින් තම ශෝකය ප්‍රකාශ කර සිටියහ. දියණිය වන අශේරි අමරකෝන්ගේ ප්‍රකාශයේ සඳහන් වූයේ ''තාත්තේ ඔයා ඇත්තටම හොඳ තාත්තා කෙනෙක්. ඔයා හොඳ යාළුවෙක්. මගේ මවට හොඳ සැමියෙක්. ඔබේ අහිමිවීම ගැන අපිට ඇත්තේ විශාල කනගාටුවක්. ඔබ කොහේ හිටියත් හොඳින් ඉන්න. හැකිවුණොත් ඉක්මනින්ම ඔබ හමුවන්න අපිත් එනවා. අපි ඔබට ආදරෙයි.'' යනුවෙනි.

බිරිය වන ඩිෂානි ප්‍රනාන්දු තම ශෝක පණිවිඩය මගින් මෙසේ සඳහන් කර තිබිණි. 

''ඔබ හා සිටිය යුතු මේ අවස්ථාවේ දුරස්ව සිටින්නට සිදුවීම ගැන සමාවන්න. අශේරි සහ කයිලි දියණියන් සමඟ මම සැම මොහොතකම ඔබ සමඟ සිටිනවා. ඔබ නැතිව අපිට පාළුයි. අපි ඔබට ආදරෙයි.'' 

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් එවා තිබූ ශෝක ප්‍රකාශයක්ද එම අවස්ථාවේ ඉදිරිපත් කෙරිණි. එහි මෙලෙස සඳහන් විය. ''මෙම අවමංගල උත්සවයට සහභාගී වී සිටින සියල්ලන්ටත් වික්‍රමසිංහ පවුලේ හා අමරකෝන් පවුලේ සාමාජිකයන්ටත් මගේ ශෝකය පිරිනමමි. එමෙන්ම කැනඩාවේ බෞද්ධ කොංග්‍රසයටත් මෙම අවමංගල උත්සවය සංවිධානය කළ සියල්ලන්ටත් මගේ ස්තුතිය පිරිනමමි.''

දිවි ගලවාගත් ධනුෂ්ක වික්‍රමසිංහගේ ප්‍රකාශය ඉදිරිපත් කරක ලද්දේ කැනේඩියානු බෞද්ධ කොංග්‍රසයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කු විසිනි. එහි මෙලෙස සඳහන් විය. ''මෙම ඛේදවාචකය මගේ පවුල සුනුවිසුණු කළා. මගේ ආදරණීය බිරිඳ දර්ශනී සහ මගේ සුරදූතයන් වන ඉනුක, රිනායා, අශ්විනී සහ කෙලී මෙන්ම මගේ හිතමිතුරු ගාමිණීගේ වියෝවෙන් මගේ හදවත සුනුවිසුණු වී තිබෙනවා.''

ආගමික වතාවත්වලින් සහ ශෝක ප්‍රකාශයන්ගෙන් අනතුරුව දේහයන් මිහිදන් කිරීම සඳහා රුගෙන යනු ලැබීය. ඔටාවාහි සීබීසී නිව්ස් වාර්තා කළ අන්දමට කැනඩාවේ වෙසෙන කතෝලිත ප්‍රජාවද මියගිය පිරිස උදෙසා දේවමෙහෙයක් පවත්වා තිබිණි.
ඔවුන්ගේ ඝාතකයා 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු වූ ෆ්‍රෑන්ක් ද සොයිසා නමැති තරුණයකු බවත් එම ඝාතනවලට සම්බන්ධ එකම පුද්ගලයා ඔහු බවත් පොලිසිය අනාවරණ කළේය. ෆ්‍රෑන්ක් ද සොයිසා පසුගිය 14 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. ඔහු එයට සහභාගි වූයේ මාර්ගගත ක්‍රමයටය. ඔහුගේ නීතිඥවරයා සඳහන් කළ ආකාරයට ඔහු අධි ආරක්ෂිත රුඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබේ. ''ෆ්‍රෑන්ක්ගේ මව්පියන් මට කතා කළා. ඔවුන් දැඩි කනගාටුවට පත්ව සිටිනවා. ඔවුන් සිටින ස්ථානය මට සඳහන් කළ නොහැකියි. මම ෆ්‍රෑන්ක් සමඟ අවස්ථා කිහිපයකදීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා.'' යනුවෙන් ඔහු මාධ්‍යයට සඳහන් කර තිබිණි. එදින නඩු විභාගය විනාඩි 5ක පමණ කාලයකට සීමා වූ අතර එය මාර්තු 28 වැනිදා දක්වා කල් ගියේය. තරුණයා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් ඇප ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔහු මානසික වෛද්‍යවරයකු වෙත යොමුකොට වාර්තාවක් ලබා දෙන ලෙසට නියෝග කර තිබේ.

මෙම ඝාතන සිදුව ඇත්තේ පසුගිය මාර්තු 6 වැනිදා රාත්‍රි 11.00 ට පෙර බව අනාවරණය වී තිබේ. සිද්ධිය වන අවස්ථාවේ එම පවුලේ පියා නිවෙසේ සිට නොමැති අතර ඔහු නිවෙසට පැමිණෙන අවස්ථාවේ නිවෙසේ විදුලි පහන් දල්වා තිබී නොමැත. ඔහු නිවෙසට ඇතුළුවත්ම කිසිවකු ඔහුට පහර දී තිබිණි. පැවැති අඳුර නිසා ඔහුට පහර දුන් පුද්ගලයා හඳුනාගත නොහැකි වුවද, පසුව ඒ තමන් සමඟ වාසය කළ ෆ්‍රෑන්ක් බව හඳුනාගත් ධනුෂ්ක ඔහු අත තිබූ තියුණු ආයුධය උදුරාගෙන ආධාර ඉල්ලා නිවෙසින් පිටතට දිව ගොස් තිබිණි. ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් සඳහන් කළ පරිදි රාත්‍රී 10.52 ට 911 අංකයෙන් හදිසි ඇමතුමක් ලැබුණු අතර එම පුද්ගලයා සඳහන් කර තිබුණේ කිසියම් පුද්ගලයකු 911 අමතන ලෙසට කෑගසමින් සිටින බවටය. සුළු මොහොතකට පසු එහි පැමිණි පොලිසිය මහ මඟ වැළපෙමින් සිටි තුවාල ලබා සිටි ධනුෂ්ක රෝහල් ගත කිරීමට පියවර ගත් අතර එම අවස්ථාවේ ඔහුගේ තත්ත්වය බරපතළ විය. නිවෙස පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වූයේ ඔහුගේ බිරිය, දරුවන් සිව් දෙනාත් පවුලේ හිතවතකු වූ ගාමිණි අමරකෝන්ගේ සිරුරු එම ස්ථානයේ ඇති අයුරුයි. පොලිස් ප්‍රධානියා සඳහන් කරන ආකාරයට මෙම පවුල මෑතකදී කැනඩාවට පැමිණි පිරිසකි.

පොලිසිය එම ස්ථානයේ සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය. ඝාතන 6ක් සිදු කිරීම සහ ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ ෆ්‍රෑන්ක් ද සොයිසා පසුදින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුට නීතිඥ සහාය ලබාගෙන පසුගිය 14 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය දන්වා තිබිණි. 

ඝාතනය සඳහා දැති සහිත තියුණු ආයුධයක් ෆ්‍රෑන්ක් විසින් යොදාගෙන ඇතැයිද එම ආයුධය සොයාගත් බවද ඔටාවා පොලිසිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. එම ආයුධය හැර තවත් ආයුධ ඔහු භාවිත කර තිබේද යන්න පිළිබඳව මේ වන විට විමර්ශනය කරමින් සිටී.

ෆ්‍රෑන්ක්ගේ නැන්දනිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ඔහු වසර දෙකකට පමණ ඉහත අධ්‍යාපනය සඳහා කැනඩාවට පැමිණ ඇති බවටය. ඔහු ඉතා නිහඬ පුද්ගලයකු මෙන්ම යහපත් තරුණයකු බවත් මාස කිහිපයක සිට ඔහු සියලු ඥාතීන් සමඟ පැවැති සබඳතා නවතා දැමූ බවත් ඇය සඳහන් කර තිබේ. මෙම පවුල සමඟ වාසයට පැමිණීමට පෙර වෙනත් පවුලක් සමඟ ෆ්‍රෑන්ක් ජීවත්ව සිටි අතර එහිදී ඉතා කලහකාරී ලෙස හැසිරීම නිසා නිවැසියන් ඔහු ඉන් පිටමං කර තිබිණි. ඝාතනයට ලක්වූ පවුල සමඟ ඔහු වාසයට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය. ධනුෂ්කගේ පවුල ඔහුට ඉතා හොඳින් සැලකූ බවද අනාවරණ වී තිබේ.

වාර්තා වන අන්දමට මෙම තරුණයා දැඩි ලෙස පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූවකු බව පැවසේ. ඇතැම් ගේමින් ක්‍රීඩා මගින් එයට ඇබ්බැහි වූ පුද්ගලයන්ගේ මනස විකෘති කරන අතර එම ක්‍රීඩාවෙන් ගැලවීමට ඔවුන්ට නොහැකි බවද පැවසේ. දැඩිව හුදෙකලාව ප්‍රිය කරන මෙවැනි පුද්ගලයන්ගේ එකම විනෝදාංශය මෙම ක්‍රීඩාව වන අතර ඔටාවාහි මනෝ විශ්ලේෂකයන් සඳහන් කර ඇත්තේ මෙම තරුණයා මානසික රෝගියකු බවයි.

තම පවුලේ සියලු සාමාජිකයන් ඝාතනය කළ ෆ්‍රෑන්ක් කෙරෙහි එම පවුලේ පියා වන ධනුෂ්ක තුළ වෛරයක් නොමැති බව පෙනෙන්නට තිබේ. ධනුෂ්ක රෝහල්ගතව සිටියදී ඔහු බැලීමට ගිය හිතවතකුට ධනුෂ්ක පවසා තිබුණේ මෙවන් කතාවකි. ''ෆේබ්‍රියෝ තවමත් 19 හැවිරිදි තරුණයෙක්. ඒ නිසා ඔහු ගැන සිතිය යුතුයි.'' යනුවෙනි.

ඔටාවා පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ වසර 30ක පමණ කාලයක් තුළ ඔටාවාහිදී සිදුවූ ඛේදනීයම සිදුවීම මෙය බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් බාහේවන් ප්‍රදේශයේ වැසියන් දැඩි කම්පනයට පත්ව සිටි අතර බොහෝ පිරිස් එම නිවෙස ඉදිරිපිට මල් පොකුරු සහ සුරතල් ටෙඩියන් තබා මියගිය පිරිස සිහිපත් කිරීමට අමතක කළේ නැත. ඔවුන්ගේ අවමංගල කටයුතු සඳහා කැනඩාවේ බෞද්ධ කොංග්‍රසය මගින් ''ගෝ ෆන්ඩ් මී'' නමින් අරමුදලක් පිහිටුවන ලද අතර එයට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට අධික මුදලක් පරිත්‍යාගශීලීන් විසින් ලබා දී තිබිණි.

සය දෙනකු ඝාතනය කළ 19 හැවිරිදි ෆ්‍රෑන්ක් ද සොයිසාට නීතියෙන් ගැලවීමක් ලැබෙතැයි සිතිය නොහැකිය. මුළු ජීවිත කාලයම සිපිරි ගෙදරක ගතකරන්නට ඔහුට සිදුවිය හැකිය. මෙවැනි ලාබාල තරුණයකු දරුණු ඝාතකයකු බවට පත්වූයේ කෙලෙස දැයි සොයා බැලිය යුතුය. පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහියන් වී සිටින දරුවන් තුළ යම් විකෘති තත්ත්වයන් ඇතිවන බවට මෙය කදිම නිදසුනකි. එහෙයින් මව්පියන්ගේ යුතුකම වන්නේ තම දරුවන් මෙවැනි ක්‍රීඩාවල ඇබ්බැහියන් බවට පත්වීම වළක්වා ගැනීමය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02