2024 මාර්තු 16 වන සෙනසුරාදා

දවස ගාණෙ මිනී මරණ ඩුබායි - ලංකා පාතාල යුද්දේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 32

අපරාධ මර්දනය සඳහා පවතින නීතිමය තත්ත්වයන් යටතේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මෙහෙයුම් හා වැටලීම් සිදු කරති. සංවිධානාත්මක අපරාධ හා කුඩු ජාවාරම මේ තරමට හෝ පාලනය වී ඇත්තේ එබැවිනි. පොලිස් මූලස්ථානය මගින් ක්‍රියාත්මක “යුක්තිය'' මෙහෙයුම එවැන්නකි. නීත්‍යානුකූල මට්ටම කෙසේ වෙතත් පාතාල වෙඩි තැබීම් හා ඝාතනවල වැඩිවීමක් මිස අඩුවක් දකින්නට නැත. දවස ගානෙ ඉහළ යන වෙඩි තැබීම් හමුවේ මේ වසරේ මුල් මාස තුනට වෙඩි තැබීමේ සිද්ධි 32 කින් පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙම වෙඩි තැබීම් නිසා පුද්ගලයන් 14 දෙනකු තුවාල ලබා සිටින අතර වෙඩි තැබීම් අතුරින් 17ක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවත් අනෙක් 13 පෞද්ගලික හේතු මත සිදුකර ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.

දින කිහිපයක් තුළ පිටිගල, අම්බලන්ගොඩ, ජාඇල, මහියංගණය සෝනුත්තර, කඩුවෙල කොරතොට හා මට්ටක්කුලිය ඇතුළු ප්‍රදේශ රුසකින් වෙඩි තැබීමේ සිදුවීම් වාර්තා විය. මේ අතර 4 දෙනකු මරා දමමින් තවත් 6 දෙනකුට තුවාල සිදුකොට දකුණු පළාතේ පිටිගල හා අම්බලන්ගොඩ ප්‍රදේශවලදී වෙඩි ප්‍රහාර එල්ල කොට තිබුණේ පසුගිය 11 වැනිදාය. මෙම ප්‍රහාර දෙක පසුපස ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මෙහි පළමු වෙඩි තැබීම එදින පස්වරු 7.30ට පමණ සිදුවී ඇත්තේ පිටිගල ප්‍රදේශයේදීය. නියාගම ගුරුවල හොරන්ගල්ල ප්‍රදේශයේ එම වෙඩි ප්‍රහාරය සිදුව ඇති අතර වෙළෙඳසලක හිමිකරු ඉලක්ක කොට වෙඩි තබා ඇතිමුත් ඔහු ඒ මොහොතේ පැන යාම නිසා දිවි බේරාගෙන ඇතැයි පැවසේ. එම අවස්ථාවේ වෙළෙඳසලේ සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකුට වෙඩි වැදී තිබිණ. එක් අයකු ඒ මොහොතේම ජීවිතක්ෂයට පත්ව සිටි අතර අනෙක් තිදෙනා රෝහල්ගතව සිටියදී තවත් අයකු මිය ගොස් ඇත. පොලිස් විමර්ශනයේදී හෙළිවී ඇත්තේ අදාළ වෙළෙඳසලේ හිමිකරුට අපරාධ චෝදනා හා මිනිස් ඝාතන චෝදනාවක්ද පවතින බවය. පොලිසිය පවසන පරිදි එම ඝාතනය 2021 වසරේ සැප්තැම්බර් 03 වැනිදා නියාගම ප්‍රදේශයේදී සිදුකර තිබිණ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගුරුගලකන්ද, කිරිනුගේ, කරන්දෙණිය ලිපිනයේ පදිංචිව සිටි රනේපුර හේවගේ ශෂිත් මදුශංඛ (31) සහ ගුරුවල හොරන්ගල්ක, තල්ගස්වල ලිපිනයේ පදිංචිව සිටි කටුකුරුන්ද කළුආරච්චිගේ කවිෂ්ක අංජන (25) නමැති දෙදෙනෙකි. ශෂිත් මදුශංඛ යන අය සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතළ තුවාල ලබා සිටි අංජන යන අය ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කියති. මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ගුරුගලකන්ද, කරන්දෙණිය ලිපිනයේ පදිංචි නාගහමුල්ල කංකානම්ගේ දිලුක්ෂිකා (34) යන අය මියගිය මදුශංඛ යන අයගේ බිරියයි. මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා සිටින උතුර කහදූව, වාඩුවැලිවිටිය, පැළතවාන ලිපිනයේ පදිංචි කාරියවසම් වීරසිංහ සුනිල් ශාන්ත (22) සහ හොරංගල්ල, තල්ගස්වල ලිපිනයේ පදිංචි රුවිනි රුවන්මාලි (28) යන තිදෙනා ගාල්ල කරාපිටිය රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව පොලිසිය වාර්තා කළේය.

මේ සිද්ධියෙන් පැයකට පමණ පසුව එනම් රාත්‍රී 8.30ට පමණ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ‍වෙඩි තැබීමක් සිදුව ඇත. එහිදී දෙදෙනකු එතැනම මිය ගොස් ඇතැයි පොලිසිය වාර්තා කළේය. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගලගොඩවෙල පාර ලිපිනයේ පදිංචිව සිටි සිතුම් සංජය (22) සහ ඔහුගේ හිතවතකු වූ එච්. උදේෂ් මධුරංග (27) නැමැති දෙදෙනෙකි.

ජාඇල දඩුගම මස්වත්ත ප්‍රදේශයේදී පසුගිය (09) වැනිදා සවස 6.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇතැයි වාර්තා වේ. එහිදී බරපතළ තුවාල ලැබූ  පුද්ගලයකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ජාඇල පොලිසිය පවසයි. CT 100 වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකොට පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරමක් මත ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් වෙඩි වැදී රෝහල්ගතව ඇති පුද්ගලයා ද තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවකු බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ වෙඩි වැදුණු පුද්ගලයා සමඟ සිටි තවත් තරුණයකු ඒ අසල වැසිකිළියක සැඟව වෙඩි පහරවලින් ආරක්ෂා වී ඇති බවද පැවසේ.

මේ අතර මහියංගණය සෝනුත්තර මහා විහාරයට ඉකුත් 11 දා රාත්‍රී 12.30 ට පමණ වෙඩි තැබීමක් සිදුකර ඇතැයි මහියංගණය පොලිසිය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කොට තිබුණේ විහාරාධිපති හිමියන්ගේ කාමරය වෙතටය. එහිදී ජනේලයේ වීදුරු බිඳී ගොස් ඇති අතර කිසිවකුට හානියක් සිදුවී නොමැත. ප්‍රදේශයේ සිදුවන විවිධ ජාවාරම් අකටයුතුකම්වලට විරුද්ධව හඬ නැගීම නිසා මෙලෙස වෙඩි තබන්නට ඇතැයි විහාරාධිපති පොල්පැලකැටියේ පඤ්ඤාරතන හිමියෝ පැවසූහ.

දින කිහිපයකට පෙර ඉකුත් 5 වැනිදා මහ දවල් වෙඩි තැබීමක් සිදුකර තිබුණේ කඩුවෙල කොරතොට පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලකටය. යතුරුපැදියක පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි කියති. ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මනෝජ් මුතුකුමාරණ හෙවත් තට්ට මුතු නොහොත් ධනුක අමරසිංහ නැමැති පාතාල අපරාධකරු විසින් මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයේ හිමිකරුට දුරකථන ඇමතුම් දෙමින් තර්ජනය කර රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවත් එම කප්පම් මුදල නොගෙවීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කරවා ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ. වෙඩි තැබීම සඳහා ගල් කටස් වර්ගයේ අවියක් භාවිත කර ඇති අතර යොදාගත් යතුරුපැදිය මීගහවත්ත පදිංචි තරුණියකට අයත් එකකි. එය දැනට යුද හමුදාවේ සේවයේ නියුතු අයකුගේ මැදිහත් වීමෙන් ලබා දී ඇතැයි වාර්තා වේ. වෙඩික්කරුවන් දෙදෙනා මාලබේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

මේ අතර මල්වතු හිරිපිටිය විහාරස්ථානයේ කලපළුවාවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන කල්හාර දිල්ශාන් නමැති කුලී මිනීමරුවා අත්තනගල්ල ලිහිණියාගොල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යෑමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පෙරේදා (11 වැනිදා) රාත්‍රි මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කළේය.

ඉකුත් 12 වැනිදා තවත් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබුණේ කොළඹ මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදීය. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු එක් පුද්ගලයකු ඉලක්ක කොට රිවෝල්වර වර්ගයේ අවියකින් වෙඩි ප්‍රහාර හයක් එල්ල කොට ඇතත් ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවුණේ වෙඩික්කරුට ඉලක්කය වැරදී යාමෙනි. විමර්ශන සිදු කළ පොලිසිය වාර්තා කළේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන ප්‍රදීප් හා අසිත යන අයගේ කාලයක සිට පවතින විරසකයක් ප්‍රහාරයට හේතු වී ඇති බවය.

එක පෙළට වාර්තා වූ වෙඩි තැබීම් අතර මෙම ලිපිය ලියන මොහොත වනවිට අවසන් වෙඩි ප්‍රහාරය වාර්තා වූයේ අම්බලන්ගොඩ පොන්නදූව ප්‍රදේශයෙනි. ඒ පසුගිය 14 වැනිදා අලුයමය. මත්කුඩු ජාවාරම්කරුවකු හා පාතාල සාමාජිකයකු බව කියන අම්බලන්ගොඩ සමන් කොල්ලා නැමැත්තාගේ නිවෙසට මෙම වෙඩි ප්‍රහාරය එල් ලකර තිබේ. ටී 56 අවියකින් වෙඩි 10ක් පමණ තබා තිබෙන බව පොලිසිය වාර්තා කරයි. නිවෙසේ දොර ජනෙල් ගේට්ටු තාප්පවලට ප්‍රහාර එල්ල වුවද ජීවිත හානියක් නොවූ බව පොලිසිය වාර්තා කළේය.

මේ වසර පුරා සිදුව තිබෙන වෙඩි තැබීම් හා ඝාතන සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සිදුවීම් බහුතරයක අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව තවත් විසඳීමට ඇත්තේ සුළු ප්‍රමාණයක් පමණක් බවත් ඒවා ඉතා කඩිනමින් විසඳීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර