2024 මාර්තු 16 වන සෙනසුරාදා

හරක් කටා අධි ආරක්ෂාව යටතට!

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 167

හරක් කටා සහ කුඩු සලිඳු නැමැති ප්‍රබල කුඩ්ඩන් දෙදෙනා මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වූයේ පසුගිය වසරේ පෙබරවාරි 12 වැනිදාය. ඔවුන් දෙදෙනා ඇතුළු අට දෙනකු එරටදී කොටුවූ අතර එසේ අත්අඩංගුවට ගත් පිරිස එම වසරේම 15 දා මෙරටට ගෙන්වාගෙන තිබිණි. එසේ අත්අඩංගුවට ගත් මොහොතේදීත් මෙරටට රුගෙන එන මොහොතේදීත් හරක් කටා ලොකු ලොකු තර්ජන දමා පැන යාමට උත්සාහ ගත්තේ වැඩ වරදින බැවිනි. ඇතැම් අවස්ථාවල ඔහු මුදල් දීමට ද උත්සාහ කළේය. නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස් මහතා කීවේ ඔහුටද හරක් කටා නිදහස් කිරීමට ලංසු තැබූ බවයි. 

දැඩි පරිශ්‍රමයකින් පසුව මෙරටට රුගෙන ආ හරක් කටා සහ කුඩු සලිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රුඳවුම් නියෝග මත ඔවුන්ගේ බාරයේ තැබීය. මෙරටට කුඩු මහා පරිමාණයෙන් ගෙන්වූ වෙලේ සුදා, මොහොමඩ් සිද්ධික්, කංජිපානි ඉම්රාන් යන කුඩුකාරයන් පවා රඳවාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව පැවතියද මොවුන් දෙදෙනා රඳවා තබාගැනීම ඉතාම අසීරු විය. එක් අවස්ථාවක මොවුන් දෙදෙනා ඔවුන්ගේ ආරක්ෂාවට සිටි එස්.ටී.එෆ්. නිලධාරීන්ට කිරි ටොෆි දී මත්කර පැන යාමට උත්සාහ කළහ. ඒ සඳහා රහස් පොලිසියේම කොස්තාපල්වරයකු උදව් කළ බවද කියැවිණි. අවසානයේ වැඩේ වැරදී කොස්තාපල් පැන ගියේය. අදටත් ඔහු සොයා ගැනීමට නැත. පසුව තව වරක් කොමාන්ඩෝ පන්නයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර රහස් පොලිසියට පහර දී දෙදෙනා පැන යාමට උත්සාහ කර තිබිණි. ඒ සඳහා කොමාන්ඩෝ සෙබළුන් පිරිසක් සූදානම් කරගෙන තිබුණු බවද කියැවිණි. එහෙත් එයද වැරදී ගියේය.

අනතුරුව විශාල බාධක මැද ආරක්ෂා කරගෙන සිටි හරක් කටා සහ කුඩු සලිඳු දින 362 කට පසුව පසුගියදා ප්‍රසිද්ධියේම අධිකරණය වෙත රැගෙනවිත් තිබිණි. ඒ ඔවුන්ගේ ැඳවුම් කාලය අවසන් වූ බැවිනි. කෙසේ වෙතත් එදින කොටුව මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හරක් කටා ලබන 20 වැනිදා තෙක් බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ නඩුවට අදාළව එදිනම හරක් කටා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරිණි. අවසානයේදී හරක් කටාව බාරවූයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙතය. එය අධි ආරක්ෂිත රිමාන්ඩ් බන්ධනාගාරයකි.

මේ අතර අත්අඩංගුවට ගත් කුඩු සලිඳුව ඉදිරිපත් කරනු ලැබුවේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙතය. ඔහුට මරණ තර්ජන ඇති බැවින් කළුතර බන්ධනාගාරයේ රඳවන ලෙසට නියෝග කෙරුණු අතර මාර්තු 25 තෙක් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. මේ අතර හිටපු කොස්තාපල්වරයකු ද අප්‍රේල් 25 තෙක් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. ඒ අනුව දෙදෙනාම දැන් සිටින්නේ බන්ධනාගාරයේය.

මෙලෙස හරක් කටාත් කුඩු සලිඳුත් දිගින් දිගටම උත්සාහ කළේ බන්ධනාගාරයෙන් පැන යාමටය. ඒ සඳහා උදව් කළේද ආරක්ෂක අංශවල ඇතැම් සාමාජිකයන් බව පැවසේ. එය ඉතාම බරපතළ තත්ත්වයකි. මෙවැනි සිදුවීම් මත මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම නැති කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කරන පොලිස් නිලධාරීන් එලෙස කටයුතු කරන්නේ නම් අනෙක් නිලධාරින්ද එසේදැයි ජනතාවට සැක සංකා මතුවේ. මීට පෙර නාකොටික් නිලධාරින් පිරිසක් ද මෙලෙස කොටුවූහ. ඒ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කුඩු එළියට විකිණීමේ චෝදනාව මතය. මේ ආකාරයට බලන විට මේ රටේ කුඩු මර්දනය කිරීමට හැකිද යන්න ප්‍රශ්නයක් පැන නැගේ. ඒ කුඩු පාතාලය මර්දනය එතරම් ලෙහෙසි පහසු නැති බැවිනි. නීතිය හරියට ක්‍රියාත්මක කරන නිලධාරීන්ට පවා අද වන විට ඔවුන් සමඟ රාජකාරි කරන නිලධාරින්ගේ තර්ජනයට ගර්ජනයට ලක්වන්නට සිදුවී ඇත. මේ නිසා කුඩු සමඟ සටන් කිරීම ජීවිත කුඩුවන තැනට පත්ව තිබේ.

මේ දිනවල යුක්තිය මෙහෙයුම ඉතාම පුළුල්ව ක්‍රියාත්මක වන අතර ඒ හරහා මත්ද්‍රව්‍ය පමණක් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ ද රාජසන්තක වෙමින් තිබේ. එවන් පසුබිමක තවදුරටත් මත්ද්‍රව්‍ය සඳහා ඉඩක් තිබේද යන්න ප්‍රශ්නයකි. එහෙත් ප්‍රබල ගණයේ කුඩු ජාවාරම්කරුවෝ තවමත් ලෝකය පුරා ජීවත් වෙති. ඔවුන්ගේ එකම අරමුණ කුඩු ප්‍රවාහනය කිරීම හැර වෙනත් දෙයක් නොවේ. මීට පෙර බොරුල්ලේ ඕල්කට්ලා මිය යන විට කීවේ කුඩු දැන් ඉවරයි යනුවෙනි. පොට්ට නවුෆර්ලා  හිරේ යන විටද එසේ කීවේය. දෙවුන්දර තමිල්ලා, වසන්තලා හිරේ යන විට, මාමාස්මිල්ලා මැරෙන විට සිතුවේ වැඩේ හමාර බවය. එහෙත් වෙලේ සුදාලා සිද්ධික්ලා පෙරමුණ ගත්හ. අවසානයේ ඔවුහු ද අත්අඩංගුවට පත්වූහ. එහෙත් මාකඳුරේ මදූෂ්ලා, කංජිපානිලා වැඩේට අත ගැසූහ. දැන් හරක්කටාලා කරළියට පැමිණ සිටිති. මේ අනුව කුඩු අවසන් වනු ඇතැයි සිතිය හැකිද? එලෙස සිදුවීම පුදුමයක් පමණක් වනු ඇත.

I ගයාන් ගාල්ලගේ

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02