2024 මාර්තු 16 වන සෙනසුරාදා

කොළඹ නගරයේ වායු දූෂණය ඉහළට

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

රට පුරා පවතින අධික පෑවිල්ලත් සමඟ වායු දූෂණය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ දිනවල වැඩි වශයෙන් වායු දූෂණය වාර්තා වනු ලබන්නේ කොළඹ නගරය තුළිනි. ජාතික පාරිසරික පනතේ වායු තත්ත්වයේ ගුණාත්මක බව කළමනාකරණය කිරීම සඳහා පරිසර අධිකාරියට ඇති බලතලවලට අනුව වායුගෝලයේ පැවතිය යුතු වායු තත්ත්වය සම්බන්ධයෙන් රෙගුලාසි සඳහන් කොට ඇත. එය "පාරිසරික සංසරණ වායු තත්ත්ව නියෝග" ලෙසින් හැදින්වේ. එම නියෝගවල වායු දූෂණ පනත් ගැන සඳහන් කොට ඇත.

පරිසර අධිකාරිය, ගොඩනැගිලි පර් යේෂණ ආයතනය, සහ ඇතැම් විශ්වවිද්‍යාල මෙම වායු තත්ත්වය පවතින අන්දම සහ වෙනස් වන අන්දම සම්බන්ධයෙන් අධ්‍යයනය කරයි. ඒ සඳහා විවිධ පර්  යේෂණ මට්ටම් යොදාගනු ලබයි. මේ දත්තවලට අනුව වසරේ බොහෝ කාලයක් ජාතික පාරිසරික සංසරණ වායු තත්ත්ව නියෝගවලින් දක්වා ඇති අගයන් පහළ මට්ටමින් පවතී. එය යහපත් තත්ත්වයකි. නමුත් දෙසැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා වායු තත්ත්වයේ ඉහළ යාමක් වාර්තා වේ.

“මේ සම්බන්ධයෙන් අපි ජනතාව දැනුම්වත් කරනු ලබන්නේ වායු දත්ත දර්ශකය මගින්. මෙම වායු දත්ත දර්ශකය නිර්මාණය කර ඇත්තේ ඒ තත්ත්වය මගින් සෞඛ්‍යයට බලපෑම් කරන්නේ කෙසේදැයි ජනතාව දැනුම්වත් කිරීම සඳහායි. ඒ අනුව එම වායු දත්ත දර්ශකයේ 0 - 50  දක්වා පවතී නම් එම කාලය සෞඛ්‍යයට අවදානමක් නැති හොඳ යහපත් වායුගෝලයක් පවතී යැයි විගමනය කළ හැකියි. එමෙන්ම වායු දත්ත දර්ශකයේ 51 - 100 දක්වා ඇති විටදී  පිළිගත හැකි මට්ටමක පවතින අතර එය ද හොඳ තත්ත්වයක පවතී. නමුත් වායු දර්ශක දත්ත දර්ශකයේ 101 - 150 දක්වා අතර කාලය තුළ පවතී නම් පෙනහළු ආශ්‍රිත ආබාධ ඇති පුද්ගලයන්, ආශ්වාස, ප්‍රශ්වාස රෝගී තත්ත්ව ඇති පුද්ගලයන් ආදී සංවේදී කණ්ඩායමට බලපෑමක් ඇති කළ  හැකියි. මේ අනුව මෙම වායු දත්ත දර්ශකයේ අගය ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගිය විටදී ඒ තත්ත්වය ඕනෑම කෙනකුට අවදානමක් ඇති කළ හැකි තත්ත්වයක් ලෙස හැඳින්විය හැක. මෙම අගය 300ට  වඩා ඉක්මවා ගිය විටදී දැඩි අවදානම් තත්ත්වයේ අන්තරාදායක තත්ත්වය දක්වා ඉහළ යාමට පුළුවන්." යැයි වායු සම්පත් කළමනාකරණ සහ පසු විපරම් අධ්‍යක්ෂ වර්නිකා රණවකආරච්චි මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව ගිය වසරේ දෙසැම්බර් සිට මේ වසරේ මාර්තු මාසය අග දක්වා මෙම තත්ත්වය ඇතැම් දිනවලදී පමණක් සියයට ආසන්නවත් ඊට මඳක් වැඩි වශයෙනුත් පෙන්නුම් කළ හැකිය. මෙතෙක් මේ තත්ත්වය වායු දත්ත දර්ශකයේ එකසිය පනහ අගය දක්වා පැවතියේ නැත. නමුත් මෙම වායු තත්ත්ව දර්ශකය දිනෙන් දින වෙනස් වේ. එයට වර්ෂාව, සුළඟේ දිශාව ආදී වායුගෝලයේ පවතින වෙනත් සාධක බලපායි.

පරිසර අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සැලකිලිමත් වෙමින් ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂණ කරමින් සිටියි. මේ දිනවල වායු තත්ත්ව දර්ශකයේ සියයේ අගයේ පවතින අතර පරිසරය අධිකාරිය පවසන්නේ කරගෙන යනු ලබන පරීක්ෂණවලට අනුව එය ඉතා  අවදානම් තත්ත්වයට පත් නොවන  බවය. නමුත් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින්, මිනුම් ලබා ගනිමින් පවතී. වායු දූෂණ තත්ත්වය වැඩි වශයෙන් ඉහළ යනු ලබන්නේ ලංකාවේ ඇතුළත පවතින තත්ත්වයක් නිසා නොවන බව සොයාගෙන ඇත. දිවයිනට පිටතින් සුළං සමඟ රට තුළට ඇදී එනු ලබන විවිධ අංශු නිසාවෙන් මේ තත්ත්වය වැඩි වී ඇත. නමුත්  මෙලෙස පිටතින් මෙරටට ඇදී එනු ලබන එවැනි සියුම් අංශු වළක්වා ගැනීමට නොහැකිය. ඕනෑම රටකට වෙනත් රටකින් සුළඟ සමඟ ඇදී එන එවැනි සියුම් අංශු පාලනය කිරීමට නොහැකිය. ඒ සඳහා හොඳම විසඳුම වන්නේ තම රට තුළ වායු දූෂණය පාලනය කිරීමයි.

“මේ දිනවල කොළඹ නගරයේ වායු දූෂණය යම් තරමකට ඉහළ ගොස් තියෙනවා. කොළඹ ඇතුළු ඇතැම් නගරවල මෙම වායු දූෂණය ඉහළ යෑමට ඒ නගරවල පවතින රථවාහන දූෂණ ආදිය ද හේතු වන්න පුළුවන්. නමුත් දැනට මේ සම්බන්ධයෙන් විශාල අවදානමක් ඇතිවෙලා නැහැ. බොහෝ දෙනකුගේ මතයක් වන්නේ එකදිගට පවතින දැඩි පෑවිල්ලෙන් පසුව ඇතිවෙන වර්ෂාවට තෙමෙන්නට හොඳ නැහැ කියලයි. එම මතයේ යම්කිසි සත්‍යතාවයක් පවතිනවා. පෑවිල්ලෙන් පසුව ඇතිවෙන වර්ෂාවේදී වායුවේ  ඇති සියුම්  අංශු දියවෙමින් වර්ෂාවත් සමඟ පොළොවට පතිත වෙන්න පුළුවන්." යැයි වායු සම්පත් කළමනාකරණ සහ පසු විපරම්  අධ්‍යක්ෂ  වර්නිකා රණවකආරච්චි මහත්මිය දේශයට වැඩිදුරටත් පැවසීය. 

I දිශානි ජයමාලි කණාරත්න