2024 මාර්තු 16 වන සෙනසුරාදා

ලංකාවේ ’’අම්මා’’ ඉල්ලා හැඬූ චීන දුව හින්දා වෙච්ච හදියක්...

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 237

ඇය ඩුබායි හි වාසය කරන 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි. ඇයට දියණියන් දෙදෙනකු සිටින අතර ඔවුන්ගේ තනි නොතනියට එම නිවෙසෙහි මෙම චීන ජාතික කාන්තාවගේ 58 හැවිරිදි මව ද වාසය කළාය. 

චීන ජාතික තරුණ මව එරට ප්‍රසිද්ධ සමාජ ශාලාවල නර්තනයෙහි යෙදීම සිය වෘත්තීය බවට පත් කරගෙන සිටියාය. මෙකී පවුල් පසුබිම යටතේ මෙම චීන පවුලේ වැඩපළ කර ගැනීමට සහ විශේෂයෙන් කුඩා දියණිය බලාගැනීම සඳහා ශ්‍රී ලාංකික සේවිකාවක් ද සිටියාය.  

ඇය කුරුණෑගල, පොල්ගහවෙල, පොතුහැර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි එක් දරු මවකි. ඇය මෙම චීන නිවසෙහි වැඩ කටයුතු මෙන්ම කුඩා දියණියගේ ද සියලු වැඩ කටයුතු ද නොපිරිහෙලා ඉටු කරමින් ඇයට දැඩි ලෙස සමීපව සිටියාය. මේ නිසා ක්‍රමයෙන් මෙම කුඩා චීන දියණියත්, ශ්‍රී ලාංකික සේවිකාවත් අතර දැඩි බැඳීමක් ලියලමින් තිබුණි. 

තත්ත්වය මෙසේ පවතිද්දී ශ්‍රී ලාංකික සේවිකාවගේ සේවා කාලය අවසන් වීමෙන් පසුව ඇය පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇයගේ වෙන්වීම චීන කුඩා දැරියට දරාගැනීමට නොහැකි වී තිබූ අතර, ඇයව නලවා ගැනීමට, සනසා ගැනීමට තවදුරටත් චීන මව හෝ ඇයගේ ආච්චි අසමත් වී සිටියහ.

අවසානයේ මෙම කුඩා චීන දියණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවීමේ පදනම මත ඇයව ශ්‍රී ලාංකික සේවිකාව වෙත භාරදීමට ඔවුන් එකඟතාවයට පත් වී තිබුණි. ඒ අනුව චීන මව, ආච්චි සහ ඔවුන්ගේ කුඩා දියණිය ඉකුත් 03/11 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන බවත්, ශ්‍රී ලාංකික සේවිකාවට ද එහි පැමිණ සිටින ලෙසත් දන්වා තිබුණි. 

එම දැනුම් දීමට අනුව එම සේවිකාව කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි අතර, චීන ජාතිකයන් පිරිස ද 03/11 දින රාත්‍රී 10.30 ට පමණ ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ශ්‍රී ලාංකික සේවිකාව දුටු සැණින් කුඩා දැරිය සේවිකාව වෙත පැමිණ ඇයව වැළඳගත් අතර, ඇය ද දැරිය වඩාගෙන නලවමින් සෙනෙහස දක්වන්නට විය. ඒ අතරතුර චීන ජාතික මව සහ ආච්චි කිසියම් කටයුත්තක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙන් බැහැරට ගොස් තිබූ අතර, මෙයින් කලබලයට පත් ශ්‍රී ලාංකික සේවිකාව මෙම දැරිය සමඟ  ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ පැමිණිලි කරන්නට වූවාය.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වහාම මෙම සේවිකාව සහ චීන දැරිය මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් අතර මෙසේ ගුවන් තොටුපොළෙන් බැහැර වී සිටි චීන කාන්තාවන් දෙදෙනා පිළිබඳ ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඇතුළු තවත් පිරිස් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබිණි.

ඒ අනුව 03/12 දින රාත්‍රියේ මෙම චීන ජාතික මව සහ ආච්චි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඩුබායි වෙත යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. වහා ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීහු මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව 03/13 දින ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගනු ලැබූහ.

එහිදී චීන ජාතික මව විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් තම දියණිය දැඩි ලෙස ළෙන්ගතුකමක් දක්වන ශ්‍රී ලාංකික සේවිකාව වෙත හදා වඩා ගැනීමට පමණක් මාසිකව මුදලක් ගෙවීමේ එකඟතාව මත ලබා දීමට සූදානම් වූ බවත්, මෙම දැරියගේ ගමන් බලපත්‍රය තමා සතුව ඇති බවත්, සැමදා ඇය සන්තකයේ තම දියණිය තැබීමට බලාපොරොත්තු නොවන බවත් ප්‍රකාශ කර සිටියාය. 

එහෙත් වෙනත් රටවල දරු දැරියන් මෙරට හදා වඩා ගැනීම, වාසය කිරීම නිත්‍යනුකූල නොවන බැවින් අධිකරණය මෙම දැරිය ඇයගේ ආච්චි වෙත භාරදීමට පියවර ගත් අතර, කුඩා දැරිය, ඇයගේ මව සහ ආච්චි සමඟ ඩුබායි බලා පිටත් කර හැරීමට ද නියෝග කරනු ලැබීය.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මෙම  සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ කාන්තා පොලිස් කොස්තාපල් 12146 නෙත්මිණි සහ පොලිස් කොස්තාපල් 85188 දිලංග යන මහත්වරු විසින් සිදු කළහ.

I කටුනායක ටී.කේ.ජී. කපිල