2024 මාර්තු 09 වන සෙනසුරාදා

විභාග ප්‍රශ්න පත්‍ර පැන්නීම කඩාකප්පල්කාරී වැඩක්ද?

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

පාසල් මට්ටමේ හෝ ජාතික මට්ටමේ පවත්වන ඕනෑම විභාගයකදී විභාග දෙපාර්තමේන්තුව අවධානයෙන් පසුවෙයි. පාසල් ආශ්‍රිතව පළාත් මට්ටමින් පවත්වන විභාගවලදී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විමසිලිමත් වෙයි. විටෙක විභාග පවත්වන්නට මත්තෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන බලධාරීන් අවධාරණය කරන්නේ විභාග වංචාවකට කිසිදු ඉඩක් නැති බවකි. නමුත් වාර්තා වන විභාග වංචාවල අඩුවක් නැත. සියල්ලට වඩා බරපතළ කාරණාව වන්නේ රහස්‍ය ලේඛනයක් වන විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙරාතුව හොර රහසේ ප්‍රසිද්ධ කිරීම වළක්වන්නට බලධාරීන් අසමත් වීමය. 

මේ තත්ත්වය පාසල් වාර විභාගයටත් ජාතික තලයේ විභාගයටත් එක සේ බලපා තිබේ. 2023 වර්ෂයට අදාළව පාසල්වල අවසන් වාර පරීක්ෂණය ඉකුත් දිනවලදී පැවැත්වුණි. එහිදී වාර්තා වූයේ බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්හි පාසල්වලට අදාළ අවසන් වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් විභාගයට පෙරාතුව සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇති බවකි. මේ සම්බන්ධයෙන් යොමුකළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් අරම්භ කොට තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් 02 වැනිදා තීරණය කළේය. මේ අනුව වාර්තා වන්නේ 2023 වර්ෂ අවසාන ඇගයීම් විභාගයට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ඉතිහාසය විෂයට අයත් ප්‍රශ්න පත්‍ර කලින් දින රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවකි. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාරණ මහතා ප්‍රකාශ කළේ මාර්තු 04 සහ 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තවත් විෂයන් දෙකක ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි. මේ අතර පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන්ගේ ගණිතය ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු ලේඛනය බව කියන ලේඛනයක්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇත.

මේ සිද්ධිය අතරතුර සබරගමුව පළාතේ පාසල්වල පැවැත්වීමට නියමිතව තිබූ 10 ශ්‍රේණිය ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙකක් විභාගයට පෙර නිකුත් වී තිබුණි. මේ ආකාරයට විද්‍යාව සහ ඉතිහාසය ප්‍රශ්න පත්‍ර ද පිටවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. මෙම ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයට ලැබුණේ කෙසේදැයි සෙවීමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත කණ්ඩායමක් පත්කර ඇත. එසේ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරෑ ප්‍රශ්න පත්‍රය වෙනුවට නව ප්‍රශ්න පත්‍රයක් සකස් කර ඇතැයි ද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය. එම අලුත් ප්‍රශ්න පත්‍රය යටතේ පසුගිය බදාදා (06) වැනිදා 10 වසර ඉංග්‍රීසි විභාගය පැවැත්වූ බවත් ප්‍රශ්න පත්‍ර කලින් පිටවුණු බවක් ඔප්පුවහොත් ඊට අදාළ සියලුම පුද්ගලයන්ට තරාතිරම නොතකා නීතිමය පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාරණ මහතා ‘‘කිසියම් පිරිසක් විසින් මේ ප්‍රශ්න පත්‍ර රහසේ ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා තිබෙනවා. අපේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමුකර තිබෙනවා. මේ සිද්ධිය අනිවාර් යෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට හානියක් පාඩුවක් කරන කඩාකප්පල්කාරී වැඩක්. ඒ නිසා අපිට සිදුවෙනවා මේ පරීක්ෂණ අවසන් වන තෙක් තාවකාලිකව ඉදිරි විෂයන් සම්බන්ධයෙන් තිබෙන විභාග අත්හිටුවලා වෙනත් විකල්පවලට යන්න.'' යැයි පැවසීය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා අදහස් දක්වමින් ‘‘ප්‍රමාද වෙලා විභාග තියද්දි විභාග හරියට පවත්වන්න බැරි නම් කවුද ඒකට වග කියන්නේ. එතකොට දරුවන්ට වෙච්ච පීඩාවට කවුද වග කියන්නෙ. දරුවා පීඩාවට පත් වෙනවා. ජනතාවගේ බදු මුදල් විනාශ වෙනවා. වගකිව යුත්තෙක් නෑ. නිලධාරීන්ගේ පරිපාලන ගැටලු හේතුවෙන් තමයි මේ අසාධාරණ වැඩ සිද්ධ වෙන්නේ.'' යැයි කීය.

මේ අතර රාජ්‍ය මුද්‍රණ සමගි සේවක සංගමය චෝදනා කරන්නේ රජයේ මුද්‍රණාලය හරහා විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට හැකියාව තිබියදී කොමිස් මුදලක් ලබාගැනීම සඳහා පෞද්ගලික අංශයට එය බාර දී තිබෙන බවකි. හැන්සාඩ් වාර්තාව ගැසට්ටුව වගේ හදිසි මුද්‍රණ අවශ්‍යතා ඉටුකරන රජයේ මුද්‍රණාලයට නිසි කාලසීමාවක් යටතේ අධ්‍යාපන බලධාරීන් ඇණවුම ලබා දෙන්නේ නම් නියමිත වෙලාවට ප්‍රශ්න පත්‍ර සුරක්ෂිතව මුද්‍රණය කර දීමට හැකියාව ඇතැයිද රාජ්‍ය මුද්‍රණ සමගි සේවක සංගමය පවසයි. 

විභාග ප්‍රශ්න පත්‍ර ජංගම දුරකතනය හා විවිධ අන්තර්ජාල යෙදවුම් හරහා සංසරණය වීම පිළිබඳව බහුලව වාර්තා වේ. මේ ආකාරයට 2023 උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබියදී උසස් පෙළ කෘෂි විද්‍යා II ප්‍රශ්න පත්‍රය පන්නා ඇති බවක් වාර්තා විය. ඒ අනුව එහි ප්‍රශ්න පත්‍ර දෙකම විභාගය පැවැත්වීමට මත්තෙන් අන්තර්ජාලයේ වට්ස්ඇප් හරහා හුවමාරු වී තිබෙන බව වාර්තා වූ අතර සිදු කළ විමර්ශන හමුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩි දිනක් ගත වූයේ නැත. එබැවින් මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ද ඉතා නුදුරේම අත්අඩංගුවට පත්වනු ඇත.

I සමන්ත ප්‍රදීප් විල්තෙර