2017 ජුනි 17 වන සෙනසුරාදා

මදුෂ් අරාබියෙන් පැනලා! අංගොඩ ලොක්කාත් ඉන්දියාවන් පනින්න අරඅදී

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 635

පාතාලය වූ කලී නිමා නොවන ලේ පිපාසිත වූවන්ගේ රජදහනයි. පාතාලයන් සැම විටම අනෙකාගේ මරණය අපේක්ෂා කරන්නේ තමන්ගේ ජීවිතය රැක ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් අවසානයේ ඔවුන්ටත් පරලොව යන්නට වෙනතෙක් සිදුවන්නේ කුමක්ද කියා ඔවුන්වත් දන්නේ නැත.

වර්තමානය වන විට දකුණේ පාතාලයත් කොළඹ පාතාලයත් සක්‍රිය වන තැනට පැමිණ තිබේ. විශේෂයෙන් දකුණේ මාකඳුරේ මදුෂ්, කොස්ගොඩ සුජී සහ පොඩි ලැසි රජකරමින් සිටිති. පසුගියදා කොස්ගොඩ සුජී සහ පොඩි ලැසිගේ වෙඩික්කරුවන් දෙදෙනා කොටු වූයේ ජාඇළ ඒකල ප්‍රදේශයේදීය.

රණා සහ රාජු යනු දකුණු පාතාලයේ අලුගෝසුවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා හමුවන්නේ ගාල්ලේ බන්ධනාගාරය තුළදීය. ඒ 2008 වසරේදී ප්‍රීති කුමාර ඝාතනය කොට වසන්ත පද්මලාල් නොහොත් රණා බන්ධනාගාර ගත වීමෙනි. එවිට රාජුද බන්ධනාගාර ගත වී සිටියේය. දෙදෙනා හමුවන්නේ 2011 වසරේදීයි. රාජු ඒ වනවිට බන්ධනාගාර ගතව සිටියේ ඇල්පිටියේ හිත හොඳ දොස්තර ඝාතනය කිරීමේ සිද්ධියටය. රාජුත්, රාජුගේ අයියාත් විසින් සිදුකරන ඝාතන නිසා එම ප්‍රදේශය එදා ඇවිලී ගියේය. එදා ගමේ මිනිසුන් මොවුන් දෙදෙනාගේ ගෙවල් පවා ගිනි තබා තිබිණි.

එසේ බන්ධනාගාර ගතව සිටියදී රණා හමුවන අතර ඒ වනවිට වැඩ කරමින් සිටියේ පාතාල නායක කොස්ගොඩ සුජීටය. කොස්ගොඩ සුජීගේ පාසල් මිත්‍රයකු වන රණා 1999 වසරේදී යුධ හමුදා 07 පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළකු ලෙස කටයුතු කළේය. වසර 06කින් පසුව යුද හමුදාවෙන් පැන එන රණා එතැනින් පසු බස් රියදුරකු ලෙස කටයුතු කරන්නේය. එහෙත් රණා වැනි යුද හමුදා සෙබළකුගෙන් වැඩගත යුතු හැකි සිතූ නිසා එවකට පාතාලයේ ඉහළට යමින් සිටි සුජී රණා හමුවෙමින් පාතාලයට ආරාධනා කළේය. ඒ අනුව පාතාලයට එන වැඩ ඇරඹූයේ ප්‍රීති කුමාර ඝාතනයෙහි එම ඝාතනයට රණාවත් කොස්ගොඩ සුජීවත් පොලිසිය විසින් සොයනු ලබන අතර ඊට දින ගණනාවකට පසු රණාව පොලිසියට කොටු විය. එහෙත් කොස්ගොඩ සුජී පැදුරටත් නොකියා ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටියේය.

එලෙස ඩුබායි රාජ්‍යයට පැන ගියත් සුජී තම අපරාධ නවතා දමා තිබුණේ නැත. ඔහු ඒ වෙනුවට දුරකථන ඔස්සේ සම්බන්ධ වෙමින් සිය ගෝල බාලයන් ලවා ඝාතන සිදුකරමින් සිටියේය. මේ අතර තමා සහ මනෝජ් මෙන්ඩිස් අතර තිබූ ගැටුම අවසන් කරගැනීමට සුජී තෝරාගනු ලැබුවේ පොඩි ලැසීය. ලැසීට ආයුධ සපයා නිතර ඔළුව වෙනස් කර තිබූ නිසා අවස්ථාවට අනුව ලැසී හෝටලයක් තුළදී මනෝජ් මෙන්ඩිස්ව වෙඩි තබා ඝාතනය කළේය.

මේ හේතුවෙන් මනෝජ් මෙන්ඩිස්ගේ පිරිස හිටියේ දැඩි වෛරයෙනි. ඒ මෙන්ඩිස් නැතිවීම හරහා ඔවුන්ට සිදුවූ පාඩුව නිසාය. එහෙත් මෙන්ඩිස්ගේ අඩුපාඩුව මකාලමින් එම කණ්ඩායම දැනට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස හඳුන්වන මාකඳුරේ මදුෂ් විසින් පාලනය කෙරිණි. මේ නිසා මනෝජ් මෙන්ඩිස්ගේ පිරිස නැවතත් සුජීටත්, ලැසීටත් විරුද්ධව අවි අමෝරමින් සිටියහ. 

මෙන්ඩිස්ගේ නඩුවෙන් ඇප ලබා ලැසී ගෙදර ගියේ ගාලු වරායේ බෝට්ටුවක නැගීය. මෙය දැනගන්නට ලැබුණු මෙන්ඩිස්ගේ පිරිස ඊට පිළිතුරු වශයෙන් ලැසීට බෝට්ටුව ලබාදුන් හිමිකරු වෙඩි තබා ඝාතනය කළේය. ඒ වරාය තුළදීමය. ඝාතනයෙන් නොනැවතුණු ලැසී නැවතත් මෙන්ඩිස්ගේ අයකුට වෙඩි තැබුවේය. 

හිටපු කොටියෙකුත් පාතාල ගේමක

මේ අතර තුර ලැසී කොන්ත්‍රාත් ගෙන මිනී මරන්නද ගියේය. මීටියාගොඩ ප්‍රදේශයේ වෙළඳසලක මවත් පියත් කුඩා දරුවාත් ඝාතනය කළේ එවැනි කොන්ත්‍රාත්තුවකට අනුවය. මහ වැස්ස මැද සිදුකළ ඝාතනයට ලැසී කොටුවුණේය. මේ කොන්ත්‍රාත්තුව පිටුපස රාජුත් රාජුගේ අයියාත් සිටි බව කියති. එය සිදුකළේ ඉඩම් ආරවුලක් නිසාය. එම ඝාතනයෙන් පසු ලැසී බන්ධනාගාරයට ගියේය. එසේ බන්ධනාගාර වූ විට රණාත් රාජුත් ලැසීට හමු වූහ.

මනෝජ් මෙන්ඩිස්ගේ පිරිස තම අරමුණ අත හැරියේ නැත. ඔවුහු සිය ඉලක්කය වන ලැසී ඝාතන මෙහෙයුම නැවත ආරම්භ කළහ. ඒ සඳහා මෙහෙයුම සකස් කළේ මනෝජ් මෙන්ඩිස්ගේ සමීප මිත්‍රයා වන ප්‍රියන්ත විසිනි. ප්‍රියන්ත මෙන්ඩිස්ගේත්, මාකඳුරේ මදුෂ්ගේත් හිතවතකු වූ දැනට බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයකු වු කෙනඩි මෙහෙයුමට සම්බන්ධ කරගත්තේය. කෙනඩි ලැසී ඝාතනයේ මෙහෙයුම බාරගත්තේය. ප්‍රථමයෙන්ම සූදානම් වි සිටියේ බන්ධනාගාරය තුළට පිස්තෝලයක් රැගෙන ගොස් වෙඩි තැබීමටය. එහෙත් එය ලෙහෙසි පහසු වැඩක් වූයේ නැත. ඒ නිසා කෙනඩි උපාය වෙනස්කොට එල්.ටී.ටී.ඊ ඝාතන සැලසුම් ක්‍රමයට විස එන්නත් කර ඝාතනය කිරීමට සූදානම් වුණේය. එහෙත් මේ පිළිබඳ ලැසීට දැනගන්නට ලැබුණු නිසා ලැසී ජීවිතය බේරාගත්තේ අනුනවයෙනි. මේ නිසා ලැසී හිටියේ ඉවසිය නොහැකි තරහකිනි. 

අවසානයේ ලැසීගේ ගෝලයන් දෙදෙනා වන රාජුත් රණාත් ඇප ලබා එළියට පැමිණියහ. එසේ එවනවිට ලැසී දෙදෙනාට කොන්ත්‍රාත්තුවක් බාර කළේය. ඒ ප්‍රියන්තව කෙසේ හෝ ඝාතනය කරන ලෙස. ඒ අනුව දෙදෙනා ඒ මෙහෙයුම බාර ගත්හ.
ඒ අනුව ප්‍රියන්ත තම දරුවන් දෙදෙනා සමඟ ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී රණා සහ රාජු පැමිණ වෙඩි තබා ඔහු ඝාතනය කළහ. එයට සම්පූර්ණ උපදෙස් සහ විධික්‍රම කියා දුන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින කොස්ගොඩ සුජී විසිනි. ඝාතනය සිදුකළේ මැයි 06 වැනිදාය.

එම ඝාතනය සිදුකර හුස්මක් කටක් ගන්නට වූයේ නැත. රාජු සහ රණා එක්ව මැයි 7 වැනිදා කොස්ගොඩ ලොකු නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළහ. ඒ පරණ කෝන්තරයක් නිසාය. ඉන්ද නැවතුණේ නැත. මැයි 23 වැනිදා හික්කඩුව ප්‍රාදේශීය සභාව අසල ඇති මුද්‍රණාලයක තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කළහ. මෙලෙස ඝාතනය කළේ එක් තරුණයකු මනෝජ් මෙන්ඩිස්ගේ හිතවතකු වීම නිසාය. අනෙක් තරුණයා කිසිදු දෙයකට සම්බන්ධ නොවූ එම ස්ථානයට පැමිණ සිටීම නිසා වෙඩි පහරට ලක් වූවෙකි.

ඒ වනවිට ඝාතන හතරක් සිදුකර තිබූ රණා සහ රාජුගේ ලේ පිපාසය සංසිදි තිබුණේ නැත. ඔවුන් 30 වැනිදා තවත් අයකුට වෙඩි තබා ඝාතනය කළහ. ඔහු දේමුනි ප්‍රියන්ත නැමැති අයෙකි. 

එම ඝාතන වලින් පසුව තමන්ට දකුණු පළාත එතරම් සුවදායක නොවන බව සුජී සහ ලැසී ගෙන් දැනගන්නට ලැබී තිබුණේය. මේ නිසා දෙදෙනාම සිය බඩුත් රැගෙන කොළඹ පැමිණියහ. කොළඹ පැමිණ දෙදෙනා සැඟවී සිටියේ ඒකල ප්‍රදේශයේ හෝටලයකය.

එම හෝටලයේ ඔවුන් සිටින බවට බස්නාහිර උතුරු පළාත භාර අපරාධ ඒකකයේ පිරිසට තොරතුරු ලැබුණේය. ඒ අනුව ඔවුන් සිටි ස්ථානය වටලා දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය. එසේ අත්අඩංගුවට ගන්නා විට ඔවුන්ගේ ගමන් මල්ලෙහි අඩියෙහි තිබී ටී 56 ගිනි අවියක්ද සොයා ගැනිණි. එම ගිනි අවියේ පිටුපස කොටසත් ඉදිරිපස ඇති බට කොටසින් බාගයකුත් කපා බට් කර තිබුණේය. එවිට ගිනි අවිය කුඩා නිසා ඕනෑම තැනක රැගෙන යාමේ හැකියාවක් ඔවුන්ට තිබුණේය. එම ගිනි අවිය සියලු ඝාතන සඳහා යොදාගත් බව මේ වනවිට හෙළි වී ඇත. 

කෙසේ වෙතත් මේ සියලු දේ සිදුවන විට මදුෂ් ඩුබායි රාජ්‍යයෙන් පැනගොස් තිබුණේය. ඒ පොලිස් පරික්ෂක රංගජීව වෙඩි තැබීමේ කුමන්ත්‍රණයට ජාත්‍යන්තර පොලිසිය හරහා මදුෂ්ට වරෙන්තු ලබාගැනීමට සූදානම් වන බවට ලද තොරතුරැ නිසාය.

එසේ මදුෂ් පැන ගියත් සිය හෙ‍රොයින් ජාවාරම නවතා දැමා තිබුණේ නැත. ඇති පදමට හෙ‍ෙරායින් තවමත් මදුෂ්ගේ පිරිස මෙරටට රුගෙන එන බවට මේ වන විට තොරතුරු ලැබී ඇත. වෙලේ සුදාගේ තැන මේ වනවිට මදුෂ් රැගෙන ඇති නිසා මදුෂ්ගේ කුඩු වලට මේ වනවිට පාතාලය තුළ හොඳ ඉල්ලුමක් ලැබී ඇතැයි කියති. 

මදුෂ් එලෙස පැන යන විට කඩුවෙල සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරු වන අංගොඩ ලොක්කාද පැන යාමේ සූදානමක් තිබෙන බවට පසුගියදා මාධ්‍ය මගින් ප්‍රචාරය විණි. අංගොඩ ලොක්කා දැනටමත් ඉන්දියානු ආරක්ෂක අංශ වෙත කොටුවී ඇති අතර ඔහු එතැනින් පැන යාම සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් විවිධ මෙහෙයුම් සිදුකරන බවට සඳහන් වේ. අංගොඩ ලොක්කාද මන්නාරමින් ඉන්දියාවට පැනගොස් එතැනින් ඩුබායිවල සිටින මදුෂ් සමීපයට යාමට උත්සාහ දරා ඇත. එහෙත් එය අනාවරණය වූයේ ව්‍යාජ ගුවන් බලපත්‍ර සමඟ ඉන්දිය ආරක්ෂක අංශවලට කොටු වූ නිසාය.

එපමණක් නොව රංගජීවට වෙඩි තැබීම සඳහා බොරැ ඔත්තුවක් ලබාදී උගුලට කොටුකළ ඔත්තුකරුද මේ වනවිට ඉන්දියාවට පැනගොස් සිටී. පොලිස් අත්අඩංගුවට ගෙන නැවත ඔහුව නිදහස් කර තිබූ අතර ඉන්පසුව මුහුදු මාර්ගය ඔස්සේ ඔහු ඉන්දියාවට පැනගොස් තිබුණේය. ඔහු පැනගිය පසු පොලිසියට තොරතුරු ලැබුණු අතර එහෙත් එයට පොලීසියටද චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ වෙතත් පොලීසියේ ඇති අඩුපාඩුකම් නිසාද නැතහොත් නීතියේ ඇති අඩුපාඩුවක් නිසාද මෙලෙස පාතාලයන් දඟලන්නේ යැයි සිතාගත නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ඒ නිසා පොලීසියට පවා කොකා පෙන්වමින් නීතියට වැලි ගසනා පාතාලයන්ගේ වැඩ නිසා කවදාවත් පොලීසියට නම් ඉස්පාසුවක් නැතිවනු ඇත.

රෙහාන් රාසික්