2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ව්‍යවස්ථා සංශෝධනය: මොකද කියන්නේ

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

ඡන්දය කට ළඟ ඇති මොහොතක ගැලරිය පිනවන කතා අපේ රටේ පුරුද්දට ගොස් ඇත. පොරොන්දු වගේම නැති ප්‍රශ්න මවා පාමින් ඡන්දය ලබාගැනීමට සෑම දේශපාලන පක්ෂයක්ම උත්සාහ කරමින් සිටියි. විශේෂයෙන් ජනාධිපතිවරණය ළං වන විට නැති ප්‍රශ්න ඉස්මතු වෙමින් තිබේ. දූෂණ වංචා නැති කිරීම, යහපාලනයක් ඇතිකිරීම වැනි සිහින කතා පමණක් නොව බලය බෙදීම, 13 ඉවත් කිරීම වැනි ගැටුම්කාරී ප්‍රශ්න ද මවමින් ඇත.

අප මේ කියන්න යන්නේ මෙවර ජනාධිපතිවරණය ළංවීමත් සමඟ කරළියට පැමිණි කතාවක් පිළිබඳවය. ඒ අලුත් ව්‍යවස්ථාවක්, ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ඇහෙන කතා ගැනය. සෑම මැතිවරණයකදීම කරළියට පැමිණෙන මේ සීනි බෝල කතාව ජනතාවට වැදගත්ද? දේශපාලනඥයන්ට වැදගත්ද? නැතිනම් රටට වැදගත්ද? යන්න අපි සොයා බැලුවෙමු.

මේක දඩයමක්: ගොදුරක් වෙන්න එපා
කේ.ඩී. ලාල් කාන්ත (ජාතික ජනබලවේගය)

ඇත්තටම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ නම්, ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනෑ නම් මැතිවරණයේදී මාලිමාවේ අපේක්ෂකයා දිනවන්න ඕනෑ. මොකද අපිට විතරයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඔය කියන අය කාටවත් ඒක කරන්න බෑ. ඔය ගේන කතා හොඳයි. ඒවා අවශ්‍යයි. හැබැයි මේ වෙලාවේ ඔය කතාවල ප්‍රයෝජනය ගන්නේ ජනාධිපතිවරයා. ඔහු මැතිවරණ කල් දාන්න සැලසුම් හදන කෙනෙක්. ඒ නිසා මේවා ඔහුගේ වැඩවලට සහායක්. ඒ නිසා ඔබ ජනාධිපතිවරණය කල් දැමීමේ දඩයමේ ගොදුරක් වෙන්න එපා. අපේ ආණ්ඩුවකදි ඒක කරනවා. මේ අයට ඕක කරන්න බෑ. කරන්නෙත් නෑ.

ඕවා දිනන්න බැරි අය කියන කතා
නලින් බණ්ඩාර (පාර්ලිමේතු මන්ත්‍රී - සමගි ජනබලවේගය)

ඕවා නම් නිකම් කියන්න ඕනෑවට කියන කතා. මේ වෙලාවේ මිනිස්සුන්ට අවශ්‍ය ජීවන බරෙන් ගොඩ එන්න. මේ තර්ක හදන්නේ දිනන්න බැරි අය. ආණ්ඩුව මැතිවරණයේදි අන්ත පරාජය වෙනවා. ඒකෙන් බේරෙන්න මේ වගේ කතා කියනවා. එහෙම නැතුව මේ වෙලාවේ අවශ්‍ය දෙයක් නිසා නෙමෙයි. කොහොම වුණත් රටේ මිනිස්සු දන්නවා මෙතැන තියෙන බොරුව. ජනතාව ඒකට අහුවෙන්නේ නෑ. ඒ නිසා මේ කතා අහලා කලබල වෙන්න දෙයක් නෑ. මේවා මේ ගැලරිය අවුස්සන්න කියන කතා.

ඡන්දයකට යනවා හැර වෙන දෙයක් කරන්න බෑ
පාඨලී චම්පික රණවක (පාර්ලිමේන්තු මන්ත්‍රී)

ඔය කතා සියල්ල බොරු කතා. මොකද මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයකට හරි ජනාධිපතිවරණයකට හරි යනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ. එහෙම කරනවා නම් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා එහෙම දාලා ලොකූ වැඩපිළිවෙළක් සිද්ධ කරන්න ඕනෑ. ඒ නිසා හුදෙක් මේ කතා කියන්න ඕනෑවට කියන ඒවා මිසක් තේරුමක් ඇතිව කියන ඒවා නෙවෙයි.

සංශෝධනවලට මේක අවස්ථාවක් නොවේ
දුමින්ද දිසානායක (පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)

මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනයක් සුදුසු නෑ. ඒ වගේම ප්‍රායෝගිකව කරන්නත් බෑ. අවම වශයෙන් අවුරුද්දක් යනවා. ඒ නිසා මේ මොහොතේ උත්සාහ කරන්න ඕනෑ කොහොම හරි මැතිවරණයකට යන එක. ඊටපස්සේ එන ආණ්ඩුවකට පුළුවන් කරන්න ඕනෑ දේ පාර්ලිමේන්තුව එක්ක එකතුවෙලා කරන්න. කොහොම වුණත් මේක අවස්ථාව නෙමෙයි සංශෝධනවලට යන්න.

ඔය කතාවල ඇත්තක් නෑ: ඡන්දයක් එනවා
පාලිත රංගේ බණ්ඩාර (ලේකම් එක්සත් ජාතික පක්ෂය)

ව්‍යවස්ථා සංශෝධනයක් ගැන නම් කතාබහක් නෑ. ඒක ඔය කියන තරම් ඉක්මනින් කරන්න බෑ. ඒ සඳහා අවශ්‍ය කමිටු, කාරක සභා හදන්න ඕනෑ. ඒ නිසා ඔය එක එක්කෙනා කියන කතා ඇත්ත නෙමෙයි. ඊට කලින් මැතිවරණයක් එනවා.

I ගයාන් ගාල්ලගේ