2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

තවත් බරක් : පාන් බර

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 126

පාන් කියාගන්නවත් බැරිව සිටින අල්ල පනල්ලේ රටේ ජනතාවගේ කර මතට අලුතෙන්ම පැටවුණු බර පාන් බරයි. තැටි පාන්, අච්චු පාන්, රෝස් පාන්, කිරි පාන් ආදී මොන නම්වලින් හැඳින්වුවත් පාන් යනු ජාතික ආහාරය තරමටම වටිනා දෙයකි. කාට හරි පාන් ගෙඩියක් ගන්නට ඕනෑ වූ විට ගමේ ගොඩේ අංගො හාමිගෙ කෝපි කඩේටත්, හන්දියේ සෝමපාලගෙ බේකරියටත් ජනතාවට යන්න වී ඇත්තේ තරාදියක් කරේ තියාගෙනය. පාරිභෝගිකයන්ට එහෙම නියෝග දෙන කොයි කොයි මුදලාලිලාටත් දැන් වැඩ වරදින බව පෙනෙන්නේ නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා රට පුරා වැටලීම් ආරම්භ කර තිබෙන බැවිනි. පාරිභෝගික අධිකාරිය නම් කියන්නේ පාන් විකුණන සෑම ස්ථානයකම ජනතාවට පාන් බර බලාගන්න තරාදියක් තියෙන්න ඕනෑ කියාය. පාන් රාත්තල සහ පාන් රාත්තල් භාගයට නියම බරක් නියම කරමින් ඉකුත් 1 වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ඒ නිසාමය. 

තිරුවානා ගල් කමින් ලේ බොන පිරිසක් යැයි සියවස් පහකට පෙර පැවසීමට තරම් එදා හෙළයාට අරුමයක් වූ පාන් අද වන විට මදි නොකියන්න තිබේ. පාන්වලට ඇත්තේ ආණ්ඩු පෙරළන්නටත් ආණ්ඩු ගේන්නටත් මුල් වූ සුවිශේෂී ඉතිහාසයකි. ජේ.ආර්. පාන් මිල වැඩි කළ අවස්ථාවේ ඇත්ත පත්තරේ ලොකු අකුරකින් පළවූයේ උතුමාණෙනි.. පාන් කියාය. එවන් ඉතිහාසයකින් පසු රාත්තල් ක්‍රමයෙන් කිරුම් මිණුම් දියුණුවත් සමඟ මෙට්‍රික් ක්‍රමය හඳුන්වා දුන්නත් අපේ මිනිස්සුන්ට තාමත් කියැවෙන්නේ හුරුපුරුදු පාන් රාත්තලම කියාය.

වර්තමානයේ වෙළෙඳපොළට නිකුත් කරන පාන් ගෙඩියේ බර රාත්තලක් එනම් ග්‍රෑම් 450 ක් විය යුතු බවට සහතික බරක් හිමිවන්නට පදනම සැකසුණේ 1864 අංක 13 දරන පාන් ආඥා පනතෙනි. වසර 159 ක් පැරුණි පාන් ආඥා පනත අහෝසි කර දැම්මේද මෑත කාලයේය. ඒ නව පාරිභෝගික පනත සමඟ ඇති වගන්තිවල පරස්පර ගැටීමක් හේතුවෙනි.  

ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ පාන් රාත්තලක බර ග්‍රෑම් 450ක් ලෙස තිබීම අනිවාර්ය අතර එම බරට වඩා උපරිම ග්‍රෑම් 13.5ක් අඩුවෙන් විකුණන්නට ඉඩ දිය හැකි බවයි‍. පාන් රාත්තල් භාගයක බර ග්‍රෑම් 225ක් විය යුතු අතර එය නියමිත බරට වඩා උපරිම ග්‍රෑම් 9ක් අඩුවෙන් විකිණිය හැකි බව ද එහි සඳහන් වෙයි. පාන් ගෙඩියක නියමිත බර නොමැති වුවහොත් රුපියල් දසදහසක දඩයකට යටත් කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.  

නියමිත බරට පාන් අලෙවි නොකරන ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල පැවසූයේ සාමාන්‍ය වෙළෙඳ ව්‍යාපාරයක් නම් රුපියල් 1000 සිට දසදහස දක්වා දඩයකටද, සංස්ථාගත ව්‍යාපාරයක් නම් රුපියල් දසදහසේ සිට ලක්ෂය දක්වා දඩයකටද යටත් වන බවයි. 

රජය විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයට පාන් අලෙවි කළ හැකිද යන්න සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසූයේ දැනටත් ලංකාවේ බේකරිවලින් වැඩි හරියක නියමිත බරට පාන් අලෙවි කරන බවයි. සභාපතිවරයා ඉල්ලා සිටින්නේ අඩු බර හදා අඩු මිලට පාන් නොවිකුණන ලෙසත් නියමිත බරට පාන් සාදා හැකි මිලට විකුණන ලෙසත්ය. එසේම ඔහු වැඩිදුරටත් පැවසූයේ රජය නිකුත් කළ ගැසට් නිවේදනයේ අඩුපාඩු පවතින බවත් ඉහත බර සහ මිල සඳහන් වන්නේ කවර පාන් වර්ගයකදැයි ගැසට්ටුවේ පැහැදිලිව දක්වා නැති බවත්ය.  

අඩු බර පාන් සොයා ඉකුත් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින 3 ට දිවයින පුරා මෙහෙයුම්වලින් වැටලීම් 174 ක් කර ඇති බවත් 7 වැනිදා වැටලීම් 59 ක්ද, 6 වැනිදා වැටලීම් 60 ක්ද, 5 වැනිදා 55 ක්ද කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් සහ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා දේශයට පැවසුවේය. 7 වැනිදා කළ වැටලීම්වලදී පාන් බර නීති උල්ලංඝණය සම්බන්ධයෙන් වැඩිම වැටලීම් ගණනක් කළුතර, කොළඹ, මහනුවර දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවත් හෙතෙම පැවසීය. 

සංජය ඉරසිංහ මහතා මෙසේද පැවසුවේය.

“2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය පනතේ 53 විධානය වන්නේ සෑම වෙළෙන්දකු විසින්ම තම වෙළෙඳසලෙහි/ මධ්‍යස්ථානයෙහි ප්‍රකටව පෙනෙන කොටසක හෝ ස්ථානයක, පාරිභෝගිකයාට අවශ්‍ය වේ නම් ඔවුන් විසින් මිලදී ගනු ලබන කිසියම් හෝ භාණ්ඩයක බර මිලදී ගැනීමට පෙර/ පසු කිරා බැලීම සඳහා මිණුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් නිරවද්‍යතාව ප්‍රත්‍යක්ෂණය කරන ලද තරාදියක් තැබිය යුතු බවට සියලු වෙළෙඳුන් වෙත විධානය කර තියෙනවා. තරාදිය 2024 වසරට බලපත්‍රයක් ලබා තියෙන්න ඕනෑ වගේම තමයි පඩි තරාදියක් නෙමෙයි, ඉලෙක්ට්‍රොනික් තරාදියක් තියෙන්න ඕනෑ. ඒ තරාදියත් බේකරිය ඇතුළේ තියාගෙන ඉන්න බෑ. ඒක පාරිභෝගිකයාට පේන තැනක තියෙන්න ඕනෑ. 5 වැනිදා සිට අප රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර තියෙනවා. නීති උල්ලංඝණය කරන වෙළෙඳසල්වලට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. තරාදියක් නැතිනම් ඒකත් 53 විධානය අනුව වරදක්. අපට තිබෙන සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට අරන් පාරිභෝගිකයාට ගුණාත්මක සේවයක් ලබා දෙන්න අපි කැප වෙනවා.”

I සසංක චලන ගිම්හාන