මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත හෙවත්, ආන්දෝලනාත්මක ''ඔන්ලයින් සේෆ්ටි'' පනත ජනවාරි 23 සහ 24 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අතර, එය වැඩි ඡන්ද 46කින් සංශෝධන සහිතව සම්මත විය. පෙබරවාරි 1 දින එයට කතානායකවරයා විසින් අත්සන් තැබීමත් සමඟ එය දැන් නීතියක් බවට පත්ව තිබේ.
මෙම පනත යටතේ මූලිකවම සිදුකෙරෙන කාර්යයන් ලෙස දක්වා තිබුණේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, ශ්‍රී ලංකාව තුළ වන කිසියම් සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීමට විධිවිධාන සැලසීම, තහනම් කාර්යය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිතය වැළැක්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්යය සඳහා භාවිත කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනා ගැනීම සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම, සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීමට මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබා දීම මැඩපැවැත්වීම යන කරුණුය.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන කිසියම් සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම, අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදුකිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම, අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම, අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම, සාමය කඩ කිරීමක් සිදුකිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතවම නින්දා කිරීම, කැරුල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපයෝජන, වරදක් සිදුකිරීම සඳහා 'බොට්' සෑදීම හෝ අවභාවිත කිරීම, කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම යන කරුණු පනත යටතේ ගැනෙන වැරදි ලෙස දක්වා තිබිණි.
ඉහත සඳහන් කළ වැරදි යටතට ගැනෙන වරදක් යමකු සිදු කර ඇත්නම්, එම පුද්ගලයා බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඬුවම් දෙකටම යටත් කිරීමට මෙම පනත යටතේ සිදු කළ හැකිය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී එය අභියෝගයට ලක් කරමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජනබලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් වන සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇතුළු පෙත්සම්කරුවන් 45කට වැඩි පිරිසක් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව පනතේ නීතිමය වලංගුභාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැහැදිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පසුගියදා පාර්ලිමේන්තුවට දන්වා තිබූ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත්, වගන්ති කිහිපයක් යෝජිත සංශෝධනයන්ට යටත්ව පනත් කෙටුම්පතෙහි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබිණි. ඉහත කරුණුවලට යටත්ව, පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් කරන අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති සංශෝධනවලට යටත්ව, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබිණි.
ඒ අනුව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට පෙබරවාරි 1 දින කතානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය නීතියක් බවට පත්වූ අතර එදින සිට බලාත්මක විය.
මෙම පනත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව තුළින් විරෝධතා පැන නැගිණි. මෙම පනත මගින් මෙරට ජනතාවගේ භාෂණයේ නිදහසට මරු පහරක් එල්ලවන බවට ඔවුහු චෝදනා කළහ. එමෙන්ම විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියේ එම සංශෝධන තමන්ට නොලැබුණු බවටය. එමෙන්ම කතානායකවරයා පක්ෂග්‍රාහි ලෙස ක්‍රියා කර ඇති බවටද විපක්ෂය චෝදනා කළේය. මෙම පනත මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරක් යැයි ද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව සොයා බැලීමට පත්කෙරෙන කොමිෂන් සභාවට පුද්ගලයන් පත් කරනුයේ ජනාධිපතිවරයා විසින් වන අතර අධිකරණයකට ගොස් ඔවුන් විසින් ලබා දෙන තීන්දු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නොමැති බවද ඔවුහු ප්‍රකාශ කළහ.
එම කොමිෂන් සභාවට පැවරෙන බලතල අනුව තහනම් ප්‍රකාශ සන්නිවේදනය කරන පුද්ගලයන්ට එම ප්‍රකාශ නවත්වන ලෙසට දැන්වීම් නිකුත් කළ හැකිය. තහනම් ප්‍රකාශයක් ඇතුළත් මාර්ගගත ස්ථානයකට ශ්‍රී ලංකාව තුළ සිටින පරිශීලකයන් ප්‍රවේශ වීම අක්‍රිය කරන ලෙස හෝ එම තහනම් ප්‍රකාශය ඉවත් කරන ලෙසට අන්තර්ජාල සේවා සපයන්නකුට හෝ අතරමැදියකුට දැන්වීම් නිකුත් කළ හැකිය. චංචල සහ නිෂ්චල දේපළ අත්කර ගැනීම, දැරීම, එම දේපළ විකිණීම, බදු දීම, උකස් කිරීම, හුවමාරු කිරීම හෝ අන්‍යාකාරයෙන් බැහැර කිරීමේ බලයද කොමිසමට පැවරේ. මෙරට තුළ හෝ රටින් පිටත සිටියදී යම් තැනැත්තකු මෙරට පුරවැසියකු සම්බන්ධයෙන් පනත යටතට වැටෙන වරදක් සිදු කර ඇත්නම් ඔවුන් ද පනතේ විධිවිධාන යටතට ගැනෙනු ඇත. පනත යටතේ වන වරදක් සිදු කිරීමෙන් රජයට හෝ මෙරට පදිංචි තැනැත්තකුට අපහාසයක්, හානියක් හෝ පීඩාවක් මෙරට තුළදී හෝ රටින් පිටතදී හෝ සිදු කළ විටද පනතේ විධිවිධාන බලපානු ඇත.
මෙම පනත නිසා ඉදිරි කාලයේ මාධ්‍යවේදීන්ටත් නිදහසේ කටයුතු කිරීමට ඇති හැකියාවට බාධා එල්ල වන අතර, ඔවුන්ට දඩ නියම කිරීමට, සිරගත කිරීමට, බලපත්‍ර අවලංගු කිරීමට නුදුරේදීම පියවර ගනු ඇතැයිද පනතට විරෝධය දක්වන පිරිස් පෙන්වා දී තිබේ.
මෙම පනත සම්මත කරගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී සහ ආණ්ඩුක්‍රම විරෝධී වැඩපිළිවෙළක් යටතේ යැයි පෙන්වා දෙමින් සිවිල් සංවිධාන 130ක් පමණ එයට විරෝධය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියා තිබුණේ මෙම පනතේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ භාෂණයේ නිදහස සහ මූලික මානව හිමිකම් ඉතා දරුණු ලෙස උල්ලංඝණය වන බවටය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද සංශෝධන ගණනාවක් සැලකිල්ලට නොගෙන මෙම පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය තම අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම පනත ආණ්ඩුව, පාර්ලිමේන්තුව, නීතිපතිවරයා සහ කතානායකවරයා එක්ව සිදුකර ඇති අනීතික ක්‍රියාවක් බවද එහි සඳහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව කිසියම් නීතියක් ගෙන ඒමට ව්‍යවස්ථාදායකය කරන උත්සාහයකදී ඊට එරෙහිව අධිකරණයට යෑමට පුරවැසියන්ට ඇති අයිතිය මෙම පනත මගින් බරපතළ ලෙස උල්ලංඝණය වන බවත්, ව්‍යවස්ථාදායකය අයුතු ලෙස බලය භාවිත කිරීම තරයේ හෙලා දකින අතර වහා නිවැරදි ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් නිකුත් කර ඇති නිවේදනයේ දක්වා තිබේ.
ආසියා ශාන්තිකර කලාපයේ සේවා සපයන අන්තර්ජාල සහ තාක්ෂණ සමාගම් එකතුවක් වන ආසියානු අන්තර්ජාල හවුල (Asia Internet Coalition) ද ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට යන මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. මෙම පනත කිසිදු හවුල්කරුවකුගේ උපදේශනයකින් තොරව, විසම්මුතිය හා ශ්‍රී ලංකිකයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටපත් කරන කුරිරු ක්‍රියාවලියකට මඟපාදන්නක් බව එහි සඳහන් විය. සිය සේවාවන් භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් බැරූරුම් ලෙස සැලකිලිමත් වන බවත්, නීති නිර්මාණය කිරීමේ දී කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කරන ලෙසත්, ඔවුන් රජයට යෝජනා කර තිබිණි. එමෙන්ම මෙවැනි නීති මගින් ශ්‍රී ලංකාවේ නව ඩිජිටල් ආර්ථිකයට බලපෑමක් ඇති නොකරන ලෙස ද ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා තිබිණි. එහෙත් සියලු විරෝධතා මැද පනත සම්මත වී නීතියක් බවට පත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙලෙස සඳහන් කළේය. ''මෙම පනත නීතිගත කළේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැණිවයි. ඒ නිසා මේ පනත ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතියට අනුකූලව සම්මත වූ පනතක් නොවෙයි. මේ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කොට එය කතානායකවරයාට දැන්වූවා. ඒ අනුව එම නඩු තීන්දුවේ අන්තර්ගත නිර්දේශවලට යටත්ව පමණයි මේ පනත සම්මත කළ හැක්කේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පිටින් මෙම පනත සම්මත කරනවා නම් ඒ සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි. ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයත් තිබුණේ නැහැ. මේක සම්මත කර ගත්තේ සරල බහුතරයකින්. කමිටු අදියරයේදී ආණ්ඩුව යම් යම් සංශෝධන ඉදිරිපත් කළා. ආණ්ඩුව මෙම ක්‍රියාදාමය සිදු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට අනුකූල නොවන ආකාරයට බව කමිටු අදියරයේදී අපි කතානායකවරයාට පෙන්වා දුන්නා. එම සංශෝධන සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අතර කිසියම් ගැටුමක් තිබෙනවා. ආණ්ඩුව මෙම පනත සම්මත කර ගැනීමෙන් සිදු කළේ නීත්‍යානුකූල දෙයක් නොවෙයි.
අප ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කතානායකවරයා කිසිදු තැකීමක් කළේ නැහැ. ඔහු සවන් දුන්නේ ආණ්ඩු පක්ෂයට පමණයි. පසුගිය සතියේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු වැඩ කටයුතු පිළිබඳ කමිටු සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදිත් අපි කතානායකවරයාට පෙන්වා දුන්නේ මෙය ඉතා නරක පූර්වාදර්ශයක් කියලා. මෙවැන්නක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසි දිනෙක සිදු වී නොමැති බවත් පෙන්වා දුන්නා.'' යනුවෙන් සඳහන් කළේය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට කතානායකවරයා අත්සන් තබන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නිර්දේශ එයට ඇතුළත් කර ඇති බවට නීතිපතිවරයා විසින් තහවුරු කිරීමෙන් පසුව යැයි පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා