2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල!

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 371

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ගාල්ල කරාපිටියේ ගොඩනැගී අවසන්ය. හෙල්මුට් කෝල් අනුස්මරණ මාතෘ (ශික්ෂණ) රෝහල ලෙස හැඳින්වෙන එය මේ වසරේ මාර්තු මස දෙවැනි සතියේදී පමණ ජනතා සේවයට කැප කිරීමට හැකිවනු ඇත.  ඉදිකිරීම් ඇරැඹී වසර 17කට පසු ගොඩනැගිලි කටයුතු සම්පූර්ණව ඇති රෝහලට අවශ්‍ය සියලුම වෛද්‍ය හා ශල්‍ය උපකරණ නව ඇමැතිවරයාගේ මැදිහත්වීම මත ලැබී ඇති බවත් මේ වන විට එම උපකරණ සවිකිරීම් සහ පරීක්ෂාවන් සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අති නවීන රෝහල ඉදිකිරීම සඳහා ජර්මානු රජයෙන් යූරෝ මිලියන 25 (රුපියල් බිලියන 357) ක අර්ධ ණයක් සහ අර්ධ ප්‍රදානයක් ලබා දී ඇත. රෝහල් ඇඳන් 600 කින්, ශල්‍යාගාර හයකින්, දැඩි සත්කාර ඒකක (ICU), රසායනාගාර, ළමා දැඩි සත්කාර ඒකක සහ අවශ්‍ය සියලුම නවීන වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ඇතුළු විශේෂ ළමා ප්‍රතිකාර ඒකකවලින් සමන්විත මහල් හයක මේ රෝහල් සංකීර්ණය නම්කර ඇත්තේ 2007 වසරේදී දිවංගත වූ ජර්මානු චාන්සලර් හෙල්මුට් කෝල් මහතාගේ නමින්ය. හෙල්මුට් කෝල් හා මේ හෝටල් සංකීර්ණය සම්බන්ධ කතාව සුවිශේෂි වූවකි.

හෙල්මුට් කෝල් ලංකාවට ඉතා ප්‍රිය කළ හෙයින් අප්‍රසිද්ධියේම මෙරටට නිතර නිතර පැමිණ යන සංචාරකයෙකි. ලංකාවේ සුන්දර පරිසරය මෙන්ම මිනිසුන්ද මේ රට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර විධිද ඔහුගේ සිත් දිනා තිබිණි. 2004 දෙසැම්බර් 26 ඉන්දියන් සාගරයේ ඇතිවූ සුනාමිය එන විට ද ජර්මනියේ හිටපු චාන්සලර්වරයා වූ හෙල්මුට් කෝල් සිටියේ ගාල්ල තල්පේ පැරගන් හෝටලයේය. තුන්වැනි මහලේ හෝටල් බැල්කනියේ සිට බලා සිටින විට, ඔහු දුටුවේ මුහුදේ හැසිරීම වෙනස් වන ආකාරයත්, සුවිශාල රළ විශාල බලයකින් නැගී එන බවත්, මුහුදු ජලය තමාට පහළින් ගසාගෙන යන ආකාරයත්ය. ජල මට්ටම දෙවැනි මහල දක්වා ඉහළ ගිය විට, කෝල් ගොඩනැගිල්ලෙන් පිටට ගැනීමටද මහත් අරගලයක් කිරීමට සිදු විය. ජර්මානු චාන්සලර්වරයා මේ රට සුනාමියට හසුව සිරවී සිටින බව ලෝකයා දැනගත්තේද මේ මුදා ගැනීමේ මෙහෙයුම නිසාය. ඔහුව වතුරෙන් ගොඩට ගෙන ගුවනින් ගෙන යන තෙක් දින කිහිපයක් නවාතැන් ගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් සමඟය. ජර්මානු රජයට ඔහුව වහාම ආපදා කලාපයෙන් ඉවත් කිරීමට අවශ්‍ය වූ නමුත්, ඔහු එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර හානියේ තරම බැලීමට නැවතී සිටියේය. ව්‍යසනය අවසන් වූ සැණින් දින කිහිපයක් ගාල්ල ප්‍රදේශයේ සැරිසැරෑ හෙල්මුට් කෝල්, මහමෝදර මාතෘ ශික්ෂණ රෝහලට සිදුවී ඇති විනාශයේ තරම දුටුවේ එවිටය. එවකට ගාල්ල මහමෝදර මාතෘ ශික්ෂණ රෝහල ඇඳන් 400 කින් පමණ සමන්විත විශාල සංකීර්ණයක් වූ අතර එය මුළු දකුණු ශ්‍රී ලංකාවටම මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ලබා දුන් මධ්‍යස්ථානයයි.   සුනාමියේදී තම පුතුන් දෙදෙනකු අහිමි වූ ආයුර්වේද වෛද්‍යවරයකු හානියට පත් මහමෝදර මාතෘ ශික්ෂණ රෝහලේ වටිනාකම සහ රෝහලට උදව් කිරීමට කෝල්ට  ඒත්තු ගැන්වූ අතර ඔහු කිසිදු පැකිලීමකින් තොරව නවතම මාතෘ රෝහලක් ඉදිකර දීමට තීරණය කළේය. නොපමාවම කෝල් පදනමෙන් රුපියල් මිලියන 900ක මුදලක් වෙන්කර දුන්නේය. ඒ අනුව කරාපිටිය රෝහල අසල වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් අක්කර 04ක රෝහලේ ඉදිකිරීම් ආරම්භ විය. කෝල් පදනමෙන් ලැබුණු රුපියල් මිලියන 900ක මුදල රෝහලේ අත්තිවාරමටම වියදම් කළේ ඒ යට විශාල දිය පහරක් තිබෙන බව පවසමිනි. එහෙත් එම ප්‍රදේශය යට එවැනි දිය පහරක් නොමැති බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ Sonek නම් ජාත්‍යන්තර සමාගමක් මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කළේය. අවුරුදු 02කින් මුදල් අවසන් බව කියමින් ඉදිකිරීම් නතර වී ගියේය.

මේ අතර ප්‍රදේශවාසීන්ගේ අඛණ්ඩ ඉල්ලීම් මැද වෛද්‍ය රමේෂ් පතිරණ සහ විජයපාල හෙට්ටිආරච්චි මහත්වරුද රෝහලේ කටයුතු කරගෙන යාමේ අවශ්‍යතාව ගැන උනන්දු වූහ. එමෙන්ම ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරිකයකු වන මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නිශ්ශංක ඒපාලියන මහතාද ජර්මනිය සමඟ තමන්ගේ තිබූ සබඳතා යොදා ගනිමින් කෝල් රෝහලේ ඉදිකිරීම් නැවැත්වීම ගැන ඒ රටේ රජය දැනුවත් කිරීමක් සිදු කළේය. 2011 වසරේ ලියොන් බෙරෙන්ජර් සමඟ සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලබා දුන් ලිපියක් දුටු ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ප්‍රධානීන් දෙදෙනෙක් ගාල්ලට පැමිණ   මේ පිළිබඳව අධ්‍යයනය කළහ. ජර්මානු තානාපති කාර්යාලය ලබා දුන් තොරතුරු මත ජර්මනිය ඉතිරි රෝහල සඳහා යුරෝ මිලියන 25 ක ණය ආධාරයක් ලබා දුන්නේය. ඒ අනුව ගමන මන්දගාමී වුවත් මේ වන විට රෝහලේ ඉදිකිරීම් අවසන් වී ඇත. අවශ්‍ය ඇඳන් සහ වෛද්‍ය උපකරණ ඇතුළු පහසුකම් හිඟය මෑතක් දක්වා පැවතුණු අතර වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ “ගාල්ල හෙල්මට් කෝල් මාතෘ රෝහල” ඉක්මනින්ම දකුණේ මෙන්ම සමස්ත ජනතාවටම සුවපහසුව සදන යථාර්ථයක් බවට පත් කර දීමට හැකිව තිබේ.

I සුගත් පී. කුලතුංග ආරච්චි

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02