2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

සිරකරුවෝ නිවාස අඩස්සියට

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතින්නේ කාලයක සිටය. පොලිස් මූලස්ථානය හරහා වත්මනේ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම නිසා දිනකට සිය ගණනක් සැකකරුවෝ පොලිස් අත්අඩංගුවට පත්වෙති. ඔවුන්ට එරෙහිව ගන්නා නීතිමය පියවර හමුවේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීම තුළ බන්ධනාගාර තදබදය තවත් උග්‍ර වෙමින් තිබේ. බන්ධනාගාර පද්ධතිය ඇතු‍ළේ රැඳවියන් 13200ක් සඳහා ඉඩ පහසුකම් ඇතත් මේ වන විට 33000 ඉක්මවා සිටින බැවින් ගැටලු රැසක් මතුව ඇතැයි වාර්තා වේ. 

බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරන අයුරින් වර්ෂ 2022 න් පසුව ගෙවුණු දෙවසරක කාලය තුළ බන්ධනාගාර ගතවන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් තිබේ. ලංකාවේ ඇති බන්ධනාගාරවල රඳවා තැබිය හැකි සමස්ත රැඳවියන් ප්‍රමාණයට වඩා දැනට බන්ධනාගාරගතව සිටින පිරිස 180% කට වඩා ඉහළ ගොස් ඇති බව පැවසේ. ඇතැම් බන්ධනාගාරවල මේ තත්ත්වය 200% කින් හෝ 300% කින් ඉහළ ගොස් ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කරයි.

සිරගෙවල්වල රඳවා සිටින්නේ ද රටේ ජනතාව අතරින් පිරිසකි. මොවුහු රටේ පවතින පොදු නීතිය යටතේ වැරදි ක්‍රියාවක නිරතවීම නිසා නීති ප්‍රකාරව දඬුවමක් ලෙස මහඋළු ගෙදර රඳවා සිටිති. මේ අතර කිසිදු වරදක් නොමැති නමුත් සැකකරුවන් වශයෙන් නම් කළ පිරිස් ද නිකරුණේ අපා දුක් විඳිති. මේ ආකාරයට බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් සිවිල් දඬුවම් ලැබූ වරදකරුවන් නිවාස අඩස්සිගත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා සූදානමින් පසුවෙයි.

බන්ධනාගාරවල පවතින අධික තදබදයට විකල්පයක් වශයෙන් හඳුන්වා දෙන නව ක්‍රමවේදය සුළු වැරදි සම්බන්ධයෙන්ද අදාළ වෙයි. යෝජිත වැඩසටහන මත නිවාස අඩස්සියේ තබන්නට නියමිත වරදකරුවන් GPS තාක්ෂණය මගින් නිරීක්ෂණයට ලක් කෙරෙනු ඇත. මෙම නව ක්‍රමය සාර්ථක කරගැනීම වෙනුවෙන් පවතින ඇප පනත සඳහා නව සංශෝධනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා කීය. ඒ අනුව බන්ධනාගාර තදබදයට මේ හරහා විසඳුමක් ලැබෙනු ඇති බවට විශ්වාස කෙරේ.

සිවිල් වැරදිවලට වැරදිකරුවන් වන පුද්ගලයන් බන්ධනාගාර ගතකිරීම වෙනුවට ඔවුන් සිය නිවෙසේම නිවාස අඩස්සියට පත්කිරීම මේ හරහා සිදුකරයි.  ඔවුහු නිරන්තරයෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පසුවෙති. යම් හෙයකින් කිසියම් රැඳවියකු නිවසෙන් එළියට ගියහොත් GPS තාක්ෂණය මගින් නිරීක්ෂණය කොට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ළඟම පොලිසියට දැනුම් දෙනු ලබයි.

දැනට බන්ධනාගාරවල පවතින තදබදය නිසා විටෙක අනවශ්‍ය ගැටුම් ඇතිවන අවස්ථා තිබේ. සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඊට වඩා බරපතළය. ඉදිරියේදී රැඳවියන්ගේ දඬුවම් කාලය අවසන් කොට මුදා හරිනවා වෙනුවට පුනරුත්ථාපනය කොට වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. මේ ක්‍රියාවලිය වෘත්තීය පුහුණු අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව ක්‍රියාවට නැංවීමට නියමිතය.

විවිධ තරාතිරමේ පිරිස් මහඋළු ගෙදර රඳවා සිටිති. ඔවුහු ස්ත්‍රී පුරුෂ, ගිහි පැවිදි, දුප්පත් පොහොසත්, ප්‍රභූවරුන්, දේශපාලනඥයන්, කලාකරුවන්, වෘත්තිකයන් ඇතුළු සැවොම උගත් නූගත් භේදයකින් තොරව සිරකරුවෝ ලෙස නම්කර සිටිති. ‘’සිරකරුවෝද මනුෂ්‍යයෝය’’ යන්න බන්ධනාගාරයේ ප්‍රසිද්ධ පාඨයක් වුවද කල්දේරම් බත් කමින් ලගින සිරකරුවන්ට වන දුක් ගැහැට මිහිපිට අපායක් තරම් බවට වාර්තා වෙයි.

එබැවින් බන්ධනාගාරගත සිරකරුවන් සිය භාරයේ තබාගැනීම, ආරක්ෂාව හා රැකවරණය ලබාදීම, නිවැරදි මගට ගැනීම, පුනරුත්ථාපනය හා සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීමකි. එම නිසා සැකකරුවන්ගේත් වරදකරුවන්ගේත් ජීවිත අපායක් නොකර යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම බන්ධනාගාර පරිපාලනයේ වගකීමකි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර