2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

හිටි ගමන් උඩගිය දුම්රිය ප්‍රවාහන ගාස්තුව

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

දුම්රියෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා අය කරනු ලබන ගාස්තුව ඉහළ නැංවීමට පසුගිය සතියේ ආණ්ඩුව තීරණය කළේය. ඒ තරම් සංවාදයට තුඩුදෙන මාතෘකාවක් නොවුණද, තවමත් සිය භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය භාවිත කරන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම මහජනතාවද මේ හරහා පීඩාවට පත්වූහ. එබැවින් මෙම ගාස්තු වැඩි කිරීම පිළිබඳ වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට අපි තීරණය කළෙමු.

මෙම තීරණය පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මකය. ජනවාරි 18 වැනිදා මේ හා සම්බන්ධ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කොට තිබුණි. ඒ මගින් පාර්සල් හා බඩු ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනෙකුත් රෙගුලාසි සඳහා වන ගාස්තු ද සංශෝධනය කෙරුණි. කෙසේ වෙතත් අවසානයේ ආසන්න වශයෙන් සියයට අසූවකින් පමණ දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව ඉහළ ගොස් ඇති බව අනාවරණය විය. මෙම තත්ත්වය යටතේ වෙළෙඳපොළ ද යම් බලපෑමක් සිදුවිය යුතුය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා දුම්රිය සේවය ආරම්භ වූයේ භාණ්ඩ ප්‍රවාහනය මූලික කර ගනිමිනි. දුම්රිය සේවය ආරම්භ වූ 1867 වසරේ සිට 1934 වසර දක්වා දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායමෙන් භාණ්ඩ ප්‍රවාහන ආදායම 57% ක් බව ඉතිහාස වාර්තා හෙළිදරව් කරයි. කෙසේ වෙතත්  පසුකාලීනව දුම්රිය මගී ප්‍රවාහන සේවාවක් බවට පරිවර්තනය විය. ඒ සමඟම භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගැනීම ප්‍රමාණාත්මකව අවම වූයේය.

පසුගිය වාර්තා අනුව දුම්රිය භාණ්ඩ ප්‍රමාණය ආදායම් සමස්ත ආදායමෙන් එය 2017 වසරේදී 9.3% ක පමණ වූ බව මෑත කාලීන වාර්තා හෙළිදරව් කරයි. කෙසේ වෙතත් එම ආදායම ක්‍රමයෙන් පහළ බැස තිබේ. ඒ අනුව 2018 වසරේදී ආදායම 8.5% දක්වා ද 2019 වසරේදී 7.1% දක්වා ද අඩුවී ඇත.

මෙම නව ගාස්තු ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය ක්‍රමයෙන් අහෝසි වී යමින් තිබෙන යුගයක බව සඳහන් කළ යුතුය. පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක ගාස්තු සංශෝධනය අනුව පාර්සල් ප්‍රවාහනය කරන විට දී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට දැන් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. කෙසේ වෙතත් මින් ඉහතදී පාර්සල් ප්‍රවාහනයේදී ගාස්තු තීරණය කිරීමේ ප්‍රධාන සාධකය වූයේ එම පාර්සල්වල බරයි. 
2019 තොරතුරු වාර්තාවකට අනුව භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනයෙන් දුම්රිය සේවයට එවක දෛනිකව රුපියල් 515,000 ක පමණ ආදායමක් ලැබී තිබේ. ඒ අනුව වර්ෂයකට රුපියල් කෝටි 18කට අධික ආදායමක් දුම්රිය භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනයෙන් ලැබුණු බව කියැවෙයි. මේ හැර සතුන් හා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයෙන් ද මිලියන ගණනක ආදායමක් වාර්ෂිකව දෙපාර්තමේන්තුවට ලැබී ඇත. කෙසේ වෙතත් ගෙවුණු වසර පහ තුළ මෙම දත්තයන්ගේ සැලකිය යුතු විචල්‍යයන් සිදුවිය.

මේ වන විට එම රෙගුලාසි ද වෙනස් වී තිබේ. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව පාර්සල් ප්‍රවාහන කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ එම පාර්සලයේ බර අනුව ගාස්තු අයකිරීම වෙනුවට දුම්රිය ස්ථානයට ඇති දුර පදනම් කර ගනිමින් ගාස්තු අය කර එම ගාස්තුව අනුව වැට් බදු පමණක් අය කර පාර්සලයේ ප්‍රවාහන ගාස්තුව අය කිරීමට තීරණය කර තිබේ.

මෙම නව ගාස්තු සංශෝධනය අනුව ලොතරුයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල පාර්සලයේ වටිනාකම රුපියල් 1,000 හෝ ඊට අඩු නම් වටිනාකමට මුදල් අය නොකරන අතර පාර්සලයේ වටිනාකම රුපියල් 1000 සිට 5000 දක්වා වටිනාකමෙන් සියයට 1.5 ක ගාස්තුවක් අය කෙරෙයි. එසේම පාර්සලයේ වටිනාකම රුපියල් 5000 සිට 10,000 දක්වා වටිනාකමින් සියයට 2.25 කද, පාර්සලයේ වටිනාකම රුපියල් 10,000 සිට 20,000 දක්වා වටිනාකමින් සියයට 3 කද, පාර්සලයේ වටිනාකම රුපියල් 20,000.00 ට වැඩි නම් සියයට 4.5 කද අමතර ගාස්තුවක් අය කරයි.

කෙසේ වෙතත් ලොතරුයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණවලට අයත් නොවන වටිනාකම රුපියල් 10000 ට වැඩි අනෙකුත් සියලුම පාර්සල් සඳහා වටිනාකමෙන් 0.5% ක ප්‍රතිශතයක් අය කිරීමට නව රෙගුලාසිය අනුව කටයුතු කෙරෙයි.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් ලබාගත් තීරණය විවේචනය කිරීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් ගාස්තුවලට සාපේක්ෂව සේවාවේ ගුණාත්මක බවද ඉහළ නැංවීම බලධාරීන්ගේ යුතුකමයි. පිරිවැයට සාපේක්ෂව ලාභදායීම ප්‍රවාහන සේවාවක් වන දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය නැවත වරක් විශාල ආදායමක් උපයන සේවාවක් බවට පත් කිරීමේ හැකියාව වගකිවයුත්තන් සතු වේ. එබැවින් ගාස්තු දෙස පමණක් නොව සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කොට ප්‍රචලිත කිරීමේ වගකීම ද ඔවුන් බාරගත යුතුය.

I චමිඳු නිසල් ද සිල්වා