2024 ජනවාරි 27 වන සෙනසුරාදා

කරාපිටිය විශේෂඥ දොස්තර හිරේ යැවූ අලකලංචිය!

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 141

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය විනය සහ ආචාරධර්ම අතින්ද අන්තයටම පිරිහී ගොස් ඇති බවට හොඳම සාක්ෂිය ලෝකයට සැපයුණේ පසුගියදා කරාපිටිය රෝහලේ හටගත් අවාසනාවන්ත සිද්ධියක් මගිනි. රෝහලට මෙන්ම රෝගී ජනතාවටද ආදර්ශවත් සේවාවක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයකු අත්අඩංගුවට පත්වීමත් සමඟය. මේ සිද්ධියෙන් අතිශය කලකිරීමට පත්ව ඇති ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා කලින්ම විශ්‍රාම යාමට දැන් කටයුතු කර හමාරය. ඒ තීන්දුව අසුබ ලෙස බලපාන්නේ මේ වන විටත් සිය පණනල රුකගන්නට ඇති අවසාන තුරුම්පුව ලෙස ශල්‍යකර්ම පොරොත්තු ලේඛනගතව දින ගනිමින් සිටින පිළිකා රෝගීන් හටය.

මෑතක සිට රට තුළ භයානක ප්‍රවණතාවක් පැතිර යමින් පවතී. ඒ වෘත්තිකයන් සහ වෘත්තීය ගරුත්වය හෑල්ලුවට ලක්කිරීමේ සංවිධානගත ක්‍රියාදමයකි. ආගමික දර්ශන - මතවාද, සමාජ පිළිගැනීම් පමණක් නොව පූජ්‍ය පක්ෂය වෙත ද ඩිජිටල් මාධ්‍ය ප්‍රධාන කොටගත් ගරිල්ලා ප්‍රහාරයක් එල්ලවෙමින් පවතී. ඒ තත්ත්වය දැන් වෙනත් සමාජ ධාරාවන් තුළට ද කාන්දු වෙමින් තිබේ. අංශභාගයට ලක්වූ ආර්ථිකය තුළ රාජ්‍ය සේවය මෙන්ම එහි සම්ප්‍රදායානුකූල සමාජ ධූරාවලි ප්‍රශ්න කිරීම්වලටද හෑල්ලු කිරිම්වලටද ලක්වෙමින් පවතී. “මේ කවුරුත් අපිට පොරවල් නෙමේ” යන ව්‍යාධිමය මානසික  සංකල්පය පණපෙවී දලුලමින් පවතී. “ඇයි අපි අත පල්ලේන් වැටිලාද?” යන මානසිකත්වයද සමාජ ගතවෙමින් පුද්ගලයන්ගේ වෘත්තිමයභාවය හෝ ඔවුන්ගේ වෘත්තිමය කැපකිරීම් සඳහා ලබා දිය යුතු නිසි ගෞරවය කොතකා හරින තත්ත්වයක් උදා වී තිබේ. ගාල්ල සිද්ධිය ද ඒ ආකාරයේම සමාජ ධූරාවලි අතර ගැටුමක්දෝ යන සැකය මේ සිද්ධි දාමය සහ ඉන්පසු පැතිර යන ප්‍රචාර ගැන සලකා බලන කෙනකුට මතුවිය හැකිය.

දකුණේ එකම පිළිකා ප්‍රතිකාර ඒකකය ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහල ආශ්‍රිතවය. මේ මූලික ඒකකය සහ ඒ ආශ්‍රිත සහන සත්කාර සේවා සායනය ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ඇති ප්‍රධාන පිළිකා ඒකක 10න් වැඩිම රෝගීන් පිරිසක් පැමිණෙන මහරගමට සහ මහනුවරට පමණක් දෙවැනිව දහස් ගණනක් රෝගීන් හට ප්‍රතිකාර ලබා දෙන ජීවිත අපේක්ෂාවේ මැදුරකි. මෙහි සේවයට සිටිනා වෛද්‍යවරුන් අතරින් ජ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා රෝගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ගේ ද නොමඳ හරසරයට ලක්ව තිබුණේ ඔහුගේ දැඩි කැපවීම සහ දක්ෂ ප්‍රතිකාර නිසාය. ගාල්ල පිළිකා සංගමයේ සභාපති තලංගල්ලේ විජිත හිමියන් පැවැසුවේ මේ වෛද්‍යවරයා සිදු කළ සහ දැනටත් සිදුකරන සේවය මිල කළ නොහැකි සේවයක් බවය. උදෑසන 4 පමණ සිට සිය රෝගීන් සඳහා ප්‍රතිකාර අරඹන ඔහු දිනකට ශෛල්‍යකර්ම 5-6ක් පමණ සිදුකරමින් මරු-මුව පෙනි පෙනී ජීවිතය අත්හැර දමා සිටි රෝගීන් දහස් ගණනකට ජීවිතය නැවත ඇරඹීමට වරම් ලබා දුන් තැනැත්තෙකි. මේ අවාසනාවන්ත සිද්ධියට මුල් වන්නේ ද ජීවිත අවදානමේ අවසන් කෙළවර රුඳී සිටි පිළිකා රෝගීන්ට සිදු වූ අපහසුවක් මුල්කරගත් බහින්බස් වීමකි.

පසුගිය 16දා සෞඛ්‍ය වෘත්තීය සමිතිවල වැඩවර්ජනයක් පැවැත්විණි. ඒ හේතුවෙන් කරාපිටිය රෝහලේ ඒ දිනට නියමිතව තිබූ ශල්‍යකර්ම ලැයිස්තුවක් අවලංගු කිරීමට සිදුවීම හා ඒ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් වීම මෙහි ආසන්තම හේතුවය. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති තම වැඩවර්ජනවලදී ළමා රෝග, කාන්තාවන් සහ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කළ රෝහල් සහ ඒකක නිදහස් කරන බව කලින් කියා තිබුණද, 2024 ජනවාරි 16 වැනි දින ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනයට මෙම රෝහලේ සියලුම සෞඛ්‍ය සහකාරවරුන් එක්වී සිටි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් ලේඛන අවලංගු කිරීමට සිදුව තිබුණි. ඒ හේතුවෙන් අවදානමකට සහ අසීරුවකට මුහුණ පෑවේ පිළිකා රෝගීන්ය.
පසුදින (ජනවාරි 17) සෞඛ්‍ය සහකාර නිලධාරීන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ අවස්ථාවේදී විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා ඔවුන්ට රෝහල් අධ්‍යක්ෂවරයා හමුවන ලෙස දැනුම් දීම නිසා බහින්බස්වීමක් ඇති වි තිබුණි. එදින සවස ශල්‍ය පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා වාට්ටුවට පැමිණීමත් සමඟ නැවත නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණි. ඉතා කලහකාරී ලෙස සිදුවූ මේ බහින්බස් වීමෙන් අනතුරුව කාන්තා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවක් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබුණි. ඒ අනුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ පිළිකා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයාවය.

තමන් ද පහර දීමකට ලක් වූ බවට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයාද පැමිණිලි කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාකාරිත්වයක් සිදු වූ බවක් දක්නට නොලැබුණි. මේ අනුව සෞඛ්‍ය වර්ජනයට එක්වීම සහ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රෝහල් ඔන්කොලොජි වාට්ටු කාර්ය මණ්ඩලයට එරෙහිව ආයතන මට්ටමින් සහ පොලිසියෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව GMOA ද දන්වා සිටි අතර ඒ වන විටද රෝහල ඉදිරිපිට දීර්ඝ විරෝධතාවන් ඇරුඹී තිබුණි. පිළිකා රෝග ඒකකයේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය, රෝගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇරුඹි මේ විරෝධතාව දිගින් දිගටම පැවැත්වෙද්දී දැඩි කලකිරීමකට පත්ව සිටි පිළිකා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමන්ට තවත් වසර දෙකක සේවා කාලයක් තිබියදී අකාලයේ ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

ඒ අතර 22දා කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට ඇප ලබා දී තිබූ අතර ඔහුට පහර දුන් බව කියන රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවක සහ සේවකයන් දෙදෙනකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නට කටයුතු කෙරිණි. ඒ අදාළ වෛද්‍යවරයා විසින් පසුගිය 17 වැනිදා ගාල්ල පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකට අනුව බව    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 52 හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායිකාවක් සහ 45 හැවිරිදි හා 43 හැවිරිදි කාර්ය සහායකයන් දෙදෙනෙකි.

නමුත් මේ අපකීර්තිමත් සිද්ධිය නිසා කරාපිටිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට තීරණය කිරීමත් සමඟ රෝගීන් දහස් ගණනකගේ ජීවිත දැන් අවදානමකට ලක්ව තිබේ.

මේ අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයකදී ඒකමතිකව ගත් තීරණයකට අනුව පෙබරවාරි 01 වැනිදා වන විට සිය වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ආරම්භ කරන බවට අනතුරු අඟවා තිබේ. ඔවුන් අංක HSTUA/Gen/2024 (03) දරණ 2024.01.20 දිනැති ලිපියක් යොමුකරමින් කියා ඇත්තේ උක්ත සංසිද්ධියට අදාළ සැබෑ වින්දිතයන් අපරාධකරුවන් බවට පත්කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නායකයන් හා අදාළ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්  ගෙන යනු ලබන අසාධාරණ, අනීතික, සාදාචාරාත්මක නොවන සහ ව්‍යාජ ක්‍රියාපිළිවෙළ ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවය.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රෝහල තුළ උද්ගත වූ හුදෙකලා සිද්ධි දාමය සාකච්ඡාමය සමහන් බවකට පැමිණ සිටියදීත් එය නැවත කරළියට ගෙන ඒමෙන් ඇතැම් පිරිසක් කිසියම් තමන්ට වාසිදායක වටපිටාවක් නිර්මාණය කරමින් සිටින බවය. සෞඛ්‍ය වර්ජනයට එක්වීම සහ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයාට පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් රෝහල් ඔන්කොලොජි වාට්ටු කාර්ය මණ්ඩලයට එරෙහිව ආයතන මට්ටමින් සහ පොලිසියෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව GMOA කලින් අනතුරු අඟවා තිබුණි. ඔවුන් පෙන්වා දෙන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයකින් පසු ඕනෑම ආකාරයක පියවරක් ගත යුතු බවයි. මෙම සිද්ධියෙන් ශික්ෂණ රෝහලේ මහජනතාවට සහ රෝගී සත්කාරයට බාධා ඇතිවන බැවින් එම සිද්ධියෙන් ශික්ෂණ රෝහල තුළ කණ්ඩායම් හැඟීමට හා එකමුතුකමට බලපෑමක් ඇති නොවන බවට රෝහල් බලධාරීන් වග බලාගත යුතු බවය.

I සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02