රජ්ජුරුවන්ට සුදු හකුරු නිපදවන හැටි කියා දුන් අන්දරේ පසුව පරාජයට පත් වූ කතාව ජන සාහිත්‍යයේ සඳහන්ය. “කියනකොට එහෙමයි. කෙරෙනකොට මෙහෙමයි” කපටි අන්දරේ කතාව අනෙක් පැත්තකට හරවා රාජ උදහස වළක්වා ගෙන ඇත. විදුලිබල මණ්ඩලය ද ගාස්තු අඩු කරන යෝජනාවක් සුදු හකුරු විලාසයෙන් නිර්මාණය කළේය. දැන් අනාවරණය වන ආකාරයට විදුලි බිල අඩුකිරීම සියයට තුනක පමණ ප්‍රතිශතයක් බව හෙළි වේ. විදුලි බිල දරාගත නොහැකිව සිටින රටට සුදු හකුරු කතා ගැලපෙන්නේ නැත. මහජන උදහස ආණ්ඩු ගෙදර යවන්නට සමත්වන බව මතක තබාගත යුතුය. ජීවන වියදම ඉදිරියේ බලවත් දුෂ්කරතා විඳින ජන සමාජයට සුළු ප්‍රතිශතවලින් කරන කෙනෙහිළි පලක් නැත.
විදුලිබල මණ්ඩලයේ කතාව නිපදවන මිලට විකිණීම බවට පත්කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවන ලද කොන්දේසියක් එයට හේතු වී තිබේ. නිපදවන මිල ගැන ඉලක්කම් හරඹ කරන වගකිවයුතු අංශ විදුලිය උත්පාදන පිරිවැය අඩු කරන පියවර සලකා බලන්නේ නැත. විදුලි පාරිභෝගිකයන්ට ඉහළම ගාස්තු පැනවීම වෙනුවට කාර්යක්ෂම හා තාක්ෂණික ක්‍රමවේද මගින් නිපදවන වියදම අඩු කරන්නට වෑයම් නොකරන්නේ ඇයි?
විදුලි ගාස්තු අඩුව සියයට තුනයි
අලුත් වාර්තා අනුව විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධනය සම්බන්ධ දත්ත නියාමන කොමිසමට ඉදිරිපත් කර තිබේ. වාර්තා පළ කරන පරිදි සියයට 3.3 කින් ගාස්තු අඩු කළ හැකි බව යෝජනා වී ඇත. පසුගිය වසරේ අවස්ථා තුනක දී සියයට එකසිය පනහ දක්වා ප්‍රතිශතයකින් ගාස්තු නංවන ලද විදුලිබල මණ්ඩලය සියයට තුනක පමණ ගාස්තු කප්පාදුවක් යෝජනා කිරීම පලක් නැත.
ගාස්තු අඩු කිරීමට බලපා ඇති සාධකය ජල විදුලිය නිෂ්පාදනයෙන් ලැබුණු වාසිය බව දැක්වේ. මාස තුනකට අධික කාලයක් ජල විදුලිය උත්පාදනය උපරිම වශයෙන් ලබාගෙන ඇත. විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියට අනුව ජනවාරි 17 වැනිදා සාමාන්‍යයෙන් ජල විදුලියෙන් ලැබුණු දායකත්වය සමස්තයෙන් සියයට 74.2 කි. විදුලිය පරිහරණය උපරිමය වන විට එය සියයට 62.5 ක් බව දක්වයි. සියයට හැත්තෑ හතරක ප්‍රතිශතයක් ජල විදුලිය උත්පාදනයෙන් ආවරණය වූ පසු එම මිල අඩු බව බලධාරීන් නොදැන සිටීම සාධාරණ නැත.
නියාමන කොමිසමට අනුව විදුලිය ඒකකයක් නිපදවීමේ දී ජල විදුලිය සඳහා පිරිවැය රු. තුනක් පමණ වේ. සුළං විදුලිය උත්පාදනය සැලකිය යුතු ප්‍රතිශතයක් නොවන නමුත් එහි පිරිවැය ඒකකයකට රු. 10.30 කි. සූර්ය විදුලිය උත්පාදනයේ දී රු. 11.86 ක් වැය කරන බව හෙළි වේ. ගල්අඟුරුවලින් විදුලිය නිපදවීමේ දී රු. 18.60 ක් හා දැවිතෙල් වලින් නිපදවීමේ දී රු. 22.86 ක් ද වැය කෙරේ. සාම්පූර් බලාගාරයෙන් ගල්අඟුරු විදුලිය මිල දී ගැනීමට අත්සන් කර ඇති ගිවිසුම අනුව දැනට එහි ඒකකයක මිලදී ගැනීමේ මිල රු. 33.41 කි. මෙම වියදම අනුව විදුලිය උත්පාදනයේ දැනට පවතින ප්‍රවණතා සහ එහි වෙනස්කම් කළ හැකි ආකාරය ගැන අවබෝධයක් ඇති වේ.
සාමාන්‍ය ජනතාවටත් බලපෑම්
දැනට ඇති ගාස්තු ක්‍රමය අනුව ඒකක තිහක් දක්වා පරිහරණය කරන පාරිභෝගිකයන්ගෙන් රු. දොළහක ගාස්තුවක් අය වේ. ඒකක හැටක් දක්වා ඉහළ යන විට අමතර ඒකකවලට රු. තිහකි. ඒකක අනූවක් දක්වා රු. තිස් අටක බිලක් ගෙවන්නට සිදු වේ. මෙම ඒකක ගාස්තුව සාම්පූර් බලාගාරයේ අධික වියදම ඉක්මවන බව පෙන්වා දිය යුතුය. මෙම දත්ත විදුලිබල මණ්ඩලයේ හා නියාමන කොමිසමේ වෙබ් අඩවියෙන් ලබාගෙන උපුටා දක්වන අතර එය වරදක් විය නොහැක. කරුණු වැරදි බව කියන්නට බලධාරීන්ට ඉදිරිපත් විය හැකි අතර නිසි පරිදි කරුණු දැක්වුවහොත් හෝ ඔවුන්ගේ වෙබ්අඩවි යාවත්කාලීන කළහොත් වැදගත් වේ.
මෙම පසුබිම අනුව සෑම පාරිභෝගිකයකුම පාහේ දැනට ගෙවන බිල අනුව විදුලිබල මණ්ඩලයේ උත්පාදන වියදම සම්පූර්ණයෙන්ම ආවරණය කරන අතර අනාවරණය නොකරන කොටස අපට නොපෙනෙන අධික ණය සඳහා ගෙවන පොලිය බව අවධාරණය කළ යුතු වේ. ආණ්ඩුව හා මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව බැංකුවලට ගෙවන පොලිය ද විදුලිය පාරිභෝගිකයන්ගෙන් අය කරගන්නට සලස්වා අයවැය පියවා ගැනීමේ කලාව යුක්ති සහගත නැත.
ශ්‍රී ලංකාවේ ජනයා අද වන විට විඳින ආර්ථික හිරිහැරය ආණ්ඩුව නොදන්නවා විය නොහැක. අත්‍යවශ්‍ය භාණ්ඩවල පවා මිල ඉහළ ගොස් තිබේ. එළවළු, මස්, මාළු හා පළතුරුවල මිල දැරිය නොහැක. කැරට් කිලෝවක් රු. දෙදහස ඉක්මවා ඇති අතර උඩරට එළවළුවල මිල ඉතිහාසයේ නොවූ තැනක පවතින බව වෙළෙඳපොළ වාර්තා දක්වයි. අධික වැසි එළවළු වගා විනාශ කර ඇති අතර විදුලිය හා ඉන්ධන පිරිවැය වගාවට හා ප්‍රවාහනයට එකතු වේ. අධික වැසි හෙයින් බෝග වගා වැනසෙන පසුබිමක එම වැසිවලින් ජලාශ පිරී විදුලිය උත්පාදනයෙන් වාසි සිදුවන රටක රුපියල් සියයක් බිල් ගෙවන පාරිභෝගිකයකුට රුපියල් තුනක විදුලිය ගාස්තු අඩුකිරීම පලක් නැත.
නියාමන කොමිසමේ තීරණය
ජනතාව විඳින දුක ඉදිරියේ ආණ්ඩුව ඉවත බලාගෙන සිටීම යුක්ති සහගත නැත. නිලධාරීහු තනතුරුවලට පත්වෙති. ආණ්ඩුව මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වේ. මැති ඇමැතිවරුන් මහජනතාව වෙනුවෙන් පෙනී සිටින හෙයින් නිලධාරීන්ට වඩා වගකීමක් ඇත. අමාත්‍යංශ තීරණ ගැනීමේ දී නියාමන කොමිසම ගණන් හදන තෙක් නිරුත්තරව සිටීම සුදුසු නැත.
ඉතාම පැහැදිලිව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන ලද පරිදි ගාස්තු අඩු කරන යෝජනා නියාමන කොමිසමට භාර දී තිබේ. පළමු වරට එය හෙළි කරන ලද පසුව කොමිසම එවැනි යෝජනාවක් නොලැබුණු බව එකහෙළා කියා සිටියේය. ජනතාවට මිල අඩු කරන යෝජනාවක් ඇති බව දක්වන මණ්ඩලයේ නිලධාරීන් හා ඇමැතිවරු කොමිසමට එය ඉදිරිපත් කිරීම ද උවමනාවෙන්ම පමා කළහ. එම ප්‍රමාදය තවත් මාසයකින් පැරණි අධික ගාස්තු එනම් අඩුම තරමින් සියයට තුනක වාසිය හෝ අහිමි කිරීමකි. දුක් විඳින ජනතාව ගැන අවධානය යොමු නොකරන මෙවැනි පාලකයක් වග කියන්නේ කාට ද යන්න ප්‍රශ්නයකි.
විදුලිය උත්පාදනයේ අනාගතය
වසර 2030 වන විට පුනර්ජනනීය විදුලිය උත්පාදනය සියයට හැත්තෑවක ප්‍රතිශතයක් දක්වා නංවන බව විදුලිබල මණ්ඩලයේ ඉදිරි වාර්තාව කියයි. තවත් වසර හතක් අවසානයේ විදුලිය ගාස්තු සම්බන්ධයෙන් වෙනසක් සිදුවෙතැයි මෙයින් ප්‍රකාශ නොවේ. වහාම තීරණය කළහොත් අලුත් ආයෝජනවලින් මෙරට බලශක්ති සමීකරණය වෙනස් කළ හැකිය. ව්‍යවස්ථාව ගැනත් ඡන්ද පවත්වා බලය ලබාගැනීමේ අරගලය වෙනුවෙනුත් සටන් කරන දේශපාලන පක්ෂ විදුලිබල නිෂ්පාදනයේ පරිවර්තනයක් තුළින් රටට අනාගතයක් උදා කිරීම නොසලකා හැර ඇත.
ආර්ථිකය ගොඩනගන්නට බලශක්ති පිරිවැය කළමනාකරණය කළ යුතු වේ. පාරිභෝගිකයන් ගෙවන මිල පමණක් නොව කර්මාන්ත හා ව්‍යාපාර ගෙවන පිරිවැය අවසානයේ ආර්ථිකය වෙහෙසකර තත්ත්වයක් බව පෙන්වා දිය යුතුය. සංචාරක හෝටල්, කර්මාන්ත අංශ ගෙවන වියදම අවසානයේ දී ආර්ථික වර්ධනය හිර කරන බව පෙන්වා දිය යුතුය. සංචාරක වර්ධනය අපේක්ෂා කරන රටක් ලෝකයේ අනෙක් රටවලට වඩා සංචාරකයන් ගෙන්වා ගන්නට හෝටල් ගාස්තු අඩු කළ යුතුය. තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හෝ සිංගප්පූරුව සංචාරක වියදම තක්සේරු කිරීම සාධාරණය. කර්මාන්ත අංශයේ දී ඇඟලුම් කර්මාන්තය හෝ තේ කර්මාන්තය සඳහා ගෙවන විදුලි මිල අපනයන අංශය දුර්මුඛ කරනු ඇත. මෙවැනි පැති ගැන ද සලකා බැලීම පාලකයන්ගේ වගකීමකි. ආර්ථික වර්ධනය ගැන සලකා බලන රටක් වශයෙන් පාරිභෝගිකයන්ට වඩා කර්මාන්ත, සේවා අංශවල විදුලි පිරිවැය අඩුකිරීම කෙරෙහි සැලකිල්ල යොමු කිරීම අවශ්‍යය.
සාමාන්‍ය ජනතාවගේ ගාස්තුව අඩු කරන අතර ඔවුන්ට සහන දෙන බව කියන නමුත් සැම අංශයකම වැදගත්කමක් තිබේ. බලශක්තිය රටට ප්‍රබෝධයක් ඇති කරන වැදගත් ජාලයකි. එය පරිවර්තනයක් කරන සැලැස්මක් සඳහා ආණ්ඩුවට හා බලධාරීන්ට සැලැස්මක් තිබිය යුතුය.
I සාරා කන්දෙගොඩ