2024 ජනවාරි 13 වන සෙනසුරාදා

රුපියල් බිලියන 767 ක් බදු වතුරේ යන හැටි

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 73

මේ වනවිට රටේ ජනතාව සිටින්නේ දැඩි බදුබරකින් මිරිකෙමිනි. සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල අධික ලෙස ඉහළ ගොස් තිබියදී තව තවත් බදු පටවමින් ආණ්ඩුව ජනතාව පීඩාවට පත්කරමින් සිටින බවට ජනතාව චෝදනා කරති. ආණ්ඩුවට බදු වැඩි කිරීමට සිදුව ඇත්තේ දැනට ලැබෙන සෘජු බදු ප්‍රමාණවත් නොවන නිසා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වන විට පැවැති බදු සංයුතිය වූයේ 20%ක් සෘජු බදු හා 80%ක් වක්‍රබදු ලෙසිනි. මේ වනවිට එය 30%ක් සෘජු බදු ලෙසද 70%ක් වක්‍ර බදු ලෙසද පවතින අතර ඉදිරියේදී 40% සෘජු බදු ලෙසද 60%ත් වක්‍ර බදු ලෙසද පවත්වා ගෙන යාම ආණ්ඩුවේ අරමුණ බවද ඔහු ප්‍රකාශ කළේය. එහි අරමුණ වැඩි බදු ප්‍රමාණයක් බදු ගෙවිය හැකි පිරිසගෙන් අයකර ගැනීමය. වර්තමානයේ රටේ ජනතාවගේ ඒකපුද්ගල ආදායම අනුව සමස්ත ජනගහනයෙන් 10%ක් බදු ගෙවිය යුතු වුවද නිසි ලෙස බදු ගෙවන්නේ 5%ක් වැනි පිරිසක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීම සඳහා ඔවුන් විසින් පනවන ලද කොන්දේසි රුසක් ඉටු කිරීමට පියවර ගත්තේය. ඉන් එක් ප්‍රධාන කොන්දේසියක් වූයේ රටේ ජනතාවට විවිධාකාර බදු පැනවීමය. ඒ අනුව රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදයම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අයකරන, දේශීය ආදායම් සංශෝධන පනත බලාත්මක කෙරුණේ පසුගියදාය. එම පනත යටතේ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදයම මත 6% සිට 36% දක්වා කාණ්ඩ 6 යටතේ බදු අයකළ හැකිය.

වයස 18ට වැඩි සෑම පුද්ගලයකුම ආදායම් බදු ගිණුමක් ආරම්භ කළ යුතු බවටත් පෙබරවාරි පළමුවැනිදාට පෙර TIN එකක් හෙවත් Tax Payer Identification Number එකක් නොමැති අයට රුපියල් 50,000ක දඩයකට යටත් කරන බවත් ප්‍රකාශ කෙරිණි. ඉතිරි කිරීමේ බැංකු ගිණුම් සඳහා ගෙවන පොලියෙන් 5%ක් ද බැංකුව මගින් කපාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බවද දැනගන්නට ලැබේ.

2024 ජනවාරි 1දා සිට එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කළේද, එතෙක් වැට් බද්දට යටත් නොවූ භාණ්ඩ 97ක් අලුතින් වැට් බද්දට යටත් කළේද ඒ අනුවය. අලුතින් වැට් පැනවූ භාණ්ඩවලින් ආණ්ඩුව අපේක්ෂා කරන නව ආදායම රුපියල් බිලියන 378ක් යැයිද සමස්ත වැට් බදු වෙනස් කිරීම තුළ උපයා ගැනෙන සමස්ත ආදායම බිලියන 645ක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20% සීමාව පසුකර තිබිණි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව අනුව එම අගය 8.2% දක්වා පහත වැටී තිබේ. 2022 වසරේදී ශ්‍රී ලංකා රජයේ ආදායම ගෝලීය වශයෙන්ද අවම අගයක් වූ අතර රටවල් 193ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 190 වැනි ස්ථානය බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ වාර්තාවේද සඳහන්ය. 2023 වර්ෂයේ ආණ්ඩුව අපේක්ෂා කළ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් බදු ආදායම්ය. එම වසරේ මුල් මාස හය තුළ අපේක්ෂිත බදු ආදායම සපුරා ගැනීමට බදු එකතු කිරීමේ ප්‍රධාන ආයතන තුන්වැනි දේශීය අදායම් දෙපාර්තමේන්තුවත්, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුවටත් අසීරු විය. දේශීය අදායම් දෙපාර්තමේන්තුව තම ඉලක්ක ලෙස සපුරා ගත්තේ 42%ක් වන අතර රේගුව 33%ක්ද සුරාබදු දෙපාර්තමේන්තුව 41%ක්ද වශයෙන් සපුරා තිබිණි. 2022 දෙසැම්බර් 31 දිනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණය (දඩ සහ පොලිය සමඟ රුපියල් බිලියන 904ක් වූ අතර 2023 වසරේ ජූනි 30 වනවිට අයවිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් විය. 2023 ජූනි 30 වැනි දිනට ශ්‍රී ලංකා රේගුවේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.71කි. 2023 ජූනි 30 දිනට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් එකතු කිරීමට ඇති හිඟ බදු මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 6.5 කි. (මූලාශ්‍රය බීබීසී සිංහල සේවය)

2023 වසරේ ජූනි 30 වනවිට අයවිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් වුවද අයකර ගැනීමට හැකිවන්නේ රුපියල් බිලියන 175ක් පමණක් බවත්, ඉතිරි රුපියල් බිලියන 767ක් විවිධ හේතූන් මත අයකර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් 2023 වසර තුළ හිඟ බදු මුදල් ලෙස රුපියල් බිලියන 37 අයකරගෙන ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ. මේ බැව් අනාවරණ වී ඇත්තේ ආදායම වර්ධනය කර ගැනීම සඳහා කළයුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රුස්වීමකදීය.

ශ්‍රී ලංකාවේ මුළු බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 5% පමණ යැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන වටපිටාවක් තුළ මූල්‍ය ක්‍රියාවලියට හසු නොවන අවිධිමත් ලෙස (රිසිට්පත්, විධිමත් බැංකු ප්‍රකාශන නොමැතිව) ගනුදෙනු කරන පිරිස 45%ක් බවට හඳුනාගෙන තිබේ. ඔවුන්ද බදු ක්‍රමවේදයට ඇතුළත් කරගත යුතු යැයි ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මගින් නිර්දේශ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා බීබීසී සිංහල සේවයට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ.

''ඩිජිටල් සේවා මත බදු අය කරන්න ලෝකයේ ගිවිසුමක් අත්සන් නොකළ රටවල් හයෙන් එකක් ශ්‍රී ලංකාව. උදාහරණයක් ලෙස ඌබර් එකයි පික්මී එකයි ගත්තොත්, පික්මී එකෙන් බදු අය කර ගත්තාට ඌබර් එකෙන් බදු අය කරගන්න අපිට  බෑ. ෆේස් බුක්, යූ ටියුබ් මේ කිසිවකින් බදු අය කරගන්න බෑ. නමුත් අපේ අල්ලපු රට ඉන්දියාව ඇතුළු ලෝකයේ බහුතරයක් රටවල් ඒ බදු අයකර ගැනීම කරනවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයයි ඒක නොකරන්නේ. අපි පැහැදිලිව පෙන්නලා තියෙනවා අනිවාර්යෙන් ඒ ගිවිසුමට ඇතුළත් වෙලා ඒ මත කටයුතු කරන්න ඕනෑ කියලා.'' යනුවෙන් සඳහන් කරයි.

ඇතැම් පුද්ගලයන් සිතාමතාම ආදායම් බදු ගෙවීම පැහැර ඇතැයි පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කමිටුවේදීද අනාවරණ විය.  එලෙස බදු පැහැර හැර ඇති පුද්ගලයන් අතර මහ පරිමාණ සමාගම් මෙන්ම ඇතැම් දේශපාලකයන්, ජනප්‍රිය පුද්ගලයන් හා ව්‍යාපාරිකයන්ද සිටින බව අනාවරණ විය.

බොහෝ පුද්ගලයන් දිගින් දිගටම අභියාචනා ඉදිරිපත් කරමින් බදු ගෙවීම පැහැර හැරීමට කටයුතු කරන බවද ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කමිටුවේදීද අනාවරණ විය. බදු අභියාචනා කොමිෂන් සභාවේ සාමාජිකා හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය එහිදී සඳහන් කළේ සුප්‍රකට ෂැංග්‍රිලා හෝටලය රුපියල් බිලියන 1.6ක බදු පැහැර හැර තිබූ බවයි. මෙරට මහ පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක් රුපියල් මිලියන 6500 පමණ බදු ප්‍රමාණයක් පැහැර හැර තිබිණි. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, මැක්ලම් බෲවරීස්, කළුතර කොපරේටිව් ඩිස්ටිලරීස්, වයඹ ඩිස්ටිලරීස්, වයඹ ස්පිරිට්ස්, ග්ලෝබල් බ්ලෙන්ඩර්ස්, රන්දෙණිගල ඩිස්ටිලරීස්, සිනර්ජි ඩිස්ටිලරීස්, රන්දිය ඩිස්ටිලරීස් යන සමාගම් 9කට හිඟ බදු ගෙවන ලෙස තුන් මසක කාලයක් ලබාදුන්නේ පසුගිය ජූලි මාසයේය. කෙසේ නමුදු ඉන් සමාගම් 5ක් නියමිත බදු නොගෙවන ලද හෙයින් ඒවායේ බලපත්‍ර අලුත් කිරීම නවතා දැමීමට සුරාබදු කොමසාරිස්වරයා කටයුතු කර තිබිණි. අලුත් කිරීමට අවශ්‍ය නම් හිඟ බදු ගෙවන ආකාරය පිළිබඳව සැලසුමක් ලබාදිය යුතු බවටද දැනුම් දී ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන බෙදාහැරීම සහ අලුතින් නිෂ්පාදනය කිරීමද තහනම් කර තිබේ.

2022 වසරේ රුපියල් බිලියන 3ක් වූ ඔට්ටු සහ සූදු බදු ආදායම 2023 වසරේ බිලියන 2.5ක් හෙවත් 15%කින් අඩුවී තිබූ බවද වාර්තා විය. මේ සම්බන්ධයෙන් ''පීපල්ස් ටුමෝරෝ'' සංවිධානයේ ප්‍රකාශකයකු සඳහන් කළේ සූදු සහ ඔට්ටු  ආයතන වසා දමා හෝ ලොතරුයි අලෙවිය පහත වැටී නොමැති වාතාවරණයක් තුළ එලෙස බදු අඩු වූයේ කෙසේද යන්නයි. එය බදු අයකරගැනීමේ බලධාරි ආයතන හිතාමතා ඒවා අයකර ගැනීම පැහැර හැර ඇති බවක් පෙනී යන බවද ඔහු සඳහන් කළේය. ආණ්ඩුව තම හිතවත් සූදු, කැසිනෝ, ඔට්ටු ව්‍යාපාර පවත්වාගෙන යන අය බදු දැලෙන් පන්නා ඇති බවද ඔහු සඳහන් කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ලොවපුරා ඇති ආදායම් උපදවන ආයතනවල යම් යම් අක්‍රමිකතා සිදුවන බවයි. ආදායම් එකතු කර ගැනීමේදී නිලධාරීන් සතු ''තම අභිමතය මත කටයුතු කිරීමේ බලය'' වැනි කරුණු මත එවැනි අක්‍රමිකතා සිදුවිය හැකිය. ඒ සම්බන්ධයෙන් විවිධ පියවර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ අනුව මත්පැන් නිෂ්පාදනාගාරයක සුරාබදු දෙපාර්තමේන්තුවේ එක් නිලධාරි කණ්ඩායමකට සේවය කළ හැක්කේ මාස හයක් වැනි කාලයක් පමණි. මේ සෑම ස්ථානයකම සී.සී.ටී.වී. පද්ධතියක් සුරාබදු මූලස්ථානය සමඟ සම්බන්ධ කර තිබේ. සුරාබදු ස්ටිකරයද නිවැරදි ලෙස භාවිත කිරීමට පියවර ගෙන තිබේ. මත්පැන්වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව තුළම රසායනාගාරයක් පිහිටුවීමටද කටයුතු කෙරෙනු ඇත. මෙවැනි ක්‍රියාමාර්ග මගින් රජයේ බදු ආදායම අයකර ගැනීමට පියවර ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙන්නේ මෙරට ජනගහණයෙන් විශාල පිරිසක් ණය බරින් මිරිකෙමින් සිටින බවයි. සංඛ්‍යාලේඛන අනුව පවුල් ලක්ෂ 31ක් ණයකරුවන් බවට පත්ව ඇති අතර ඉන් පවුල් ලක්ෂ 7ක්ම ණය වී ඇත්තේ එදිනෙදා අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීම සඳහාය. විවිධ බදු හේතුවෙන් අධික ලෙස ඉහළ යන ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්ගේ මිල සාමාන්‍ය ජනතාවට තවදුරටත් දරාගත නොහැකිය.

ජනතාව මේ වනවිට සිටින්නේ කබලෙන් ලිපට නොව ඉනුත් ඔබ්බට වැටිලාය. ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් තම ගෙල සිර නොකොට මහ පරිමාණ බදු පොලු තබා ඇති පිරිසගෙන් ඒවා අයකර ගැනීමට කටයුතු කරන ලෙසටය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02