2024 ජනවාරි 13 වන සෙනසුරාදා

ඉස්සර එළවළු ගත්තා: දැන් එළවළු දිහා බලනවා විතරයි

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 116

''එළවළුවල ගණන් අහල අපේ පණ යනවා. දැන් මහරගම පොළේ වට දෙකක් ගියා. ගත්තු එළවළුවක් නැහැ. ගෙනාපු සල්ලිත් නැහැ. වෙනදට පොළට ඇවිත් සුමානයකට එළවළු ටික අරගෙන යනවා. ඒත් දැන් ඒ සල්ලිවලින් දවස දෙක තුනකට තමයි ගන්න වෙන්නෙ.'' ඒ මහරගම පොදු පොළේ එළවළු ඇතුළු නිවෙසට අවශ්‍ය කළමනා රුගෙන යාමට පැමිණි ගෘහණියකගේ අදහසකි. ඇය පන්නිපිටිය ප්‍රදේශයේ සිට මහරගමට පැමිණ සිටියාය. සාමාන්‍යයෙන් මහරගම සති පොළ සතියකට තෙදිනක් පැවැත්වේ. ඒ සඳුදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදාය. මේ කිනම් දවසක වුවද පොළට පැමිණෙන ජනතාවගේ අඩුවක් දකින්නට නැත. රාත්‍රිය තෙක් පැවැත්වෙන නිසාවෙන් ඒ අහළ පහළ නගරවල සිටින ජනතාව ද තම රුකියාව අවසන් කොට මහරගම නගරයට පැමිණ නිවෙසට අවශ්‍ය කළමනා රැගෙන යති. ඒ අතර තොග සහ සිල්ලර වෙළෙන්දෝ ද සිටිති. නමුත් වෙනදා තරම් මේ දිනවල එළවළු, මාළු රැගෙන යාමට ජනතාව පැමිණෙන්නේ නැත. මෙය මහරගම පොළට පමණක් නොව සෑම ප්‍රදේශයකටම බලපාන කාරණාවකි. වර්තමානය වන විට මාළු සහ එළවළු මිල ඉතා ඉහළය. ඒවායේ මිල දිනෙන් දින වෙනස් වේ. මේ නිසාම වර්තමානය වන විට පාරිභෝගිකයන් පමණක් නොව හෝටල්, ආපන ශාලා ද දරුණු ගැටලුවකට මුහුණ පා ඇත. ෆ්‍රයිඩ් රයිස් හෝ කොත්තුවල හෝ එළවළු නැත. කැරට්, ලීක්ස් සොයාගන්නට නැත. ව්‍යංජනවල අමුමිරිස් කැබැල්ලක්, ලූනු කැබැල්ලක් සොයාගන්නට නැත. මේ නිසාම ඇතැම් කුඩා ආපන ශාලා සහ හෝටල් තාවකාලිකව වසා දැමීමට පවා ඇතැම් ව්‍යාපාරිකයන් තීරණය කර ඇත.

''වෙනදා රෝගීන් බලන්නට එන බොහෝ අය අපේ හෝටලයෙන් උණු උණුවේ බත් පාර්සලයක් රෝගියාට අරගෙන යනවා. දහවල් දොළහ වෙද්දි මෙතැන පුදුම සෙනඟක් ඉන්නේ. ඒ වෙලාවට අපේ සේවකයෝ කඩියෝ වගේ වැඩ. ඒ කාර්යබහුල බව සමහර දවස්වලට දෙක තුන වෙනකම් තියෙනවා. ඈත ප්‍රදේශවල ඉඳන් එන මිනිස්සු රෝගියාව බලලා අපේ හෝටලයෙන් කෑම කාලා තමයි අපේ ගෙදර යන්නෙ. දැන් එහෙම වෙළෙදාමක් නැහැ. ඒ මිනිස්සු දවල් මෙතැනට ඇවිත් වඩේ කාලා ප්ලේන්ටි බීල යනවා. බොහෝ රෝගීන් රෝහලෙන් දෙන බත් එක අරගෙන කනවා. මිනිස්සුන්ගේ ආර්ථිකය විතරක් නෙවෙයි, අපේ බිස්නස් පවා බිඳවැටිලා. එළවළු ගිනි ගණන්. මෙහෙම ගියොත් අපිට හෝටලය වහලා දාන්න තමයි වෙන්නෙ.'' යැයි කළුබෝවිල රෝහල ඉදිරිපිට හෝටලයක් පවත්වාගෙන යන බන්දුල මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

බත්පතේ මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වන්නේ එළවළු මිල ඉහළ යාමය. මේ වන විට මැනිං වෙළෙඳපොළට දිනපතා ප්‍රවාහනය කරන එළවළුවල විශාල අඩුවක් පවතී. එළවළු මිල ඉහළ නැගීමට මෙය ද බලපා තිබේ. නමුත් මේ තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇත්තේ මේ වන විට පවතින වර්ෂාපතනයයි.

''මේ දිනවල එළවළු මිල ඉතා ඉහළයි. මැනිං වෙළෙඳපොළේ හොඳම කැරට් කිලෝවක් රුපියල් අටසීයයි. ලීක්ස් කිලෝවක් රුපියල් තුන්සිය පනහයි. බෝංචි රුපියල් පන්සිය පනහයි. මාළු මිරිස් රුපියල් හයසිය පනහයි. වම්බටු රුපියල් පන්සීයයි. අමුමිරිස් රුපියල් එක්දහස් දෙසීයයි. තක්කාලි කිලෝවක් හාරසීයයි. නෙළුම් අල කිලෝවක් රුපියල් තුන්සිය පනහයි. කෙසෙල් මුව රුපියල් සීයයි. මේ අතර කොහු අඹ රුපියල් එකසිය පනහයි. වල් අඹ රුපියල් සීයයි. වට්ටක්කා කිලෝවක් රුපියල් දෙසිය විස්සයි. බීට්රෑට් හයසීය පනහයි. පසුගිය කාලෙදි වැඩි වශයෙන් අලෙවි වූ මුරුංගා මේ වන විට වෙළෙඳපොළේ නැහැ. තිබුණත් මුරුංගා ගිනි ගණන්. මැනිං වෙළෙඳපොළේ පමණක් මුරුංගා කිලෝවක් රුපියල් තුන්දාහත් හාරදාහත් අතර මිලකට අලෙවි වෙනවා.'' යැයි මැනිං වෙළෙඳපොළ සංගමයේ නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත මහතා දේශයට පැවසීය.

ඔහු පවසන පරිදි දින දෙකකට පෙර අමුමිරිස් කිලෝවක් තොග මිල වශයෙන් රුපියල් අටසීයකට අලෙවි වුවද දින දෙකකට පසුව එහි මිල රුපියල් එක්දහස් දෙසීයක් දක්වා ඉහළ ගියේය. එය අඩු වැඩි වශයෙන් දෝලනය වේ. එලෙස එළවළු මිල වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පවතින වර්ෂාපතනයයි. එමෙන්ම බීජවල ගැටලුව ද මේ තත්ත්වයට බලපා ඇති බව ඔහු පවසයි. වර්තමානයේ පවතින බීජවලින් අස්වැන්න රඳාපවත්වා ගැනීමට නොහැකිය. එයින් බීජ කුණු වේ. පෙර පැවැති බීජ කොයි තරම් වර්ෂාවට හසුවුවද එම වර්ෂාව අඩුවීමත් සමඟ නැවතත් දලු දමයි. නමුත් වර්තමානයේදී පවතින බීජ වර්ෂාවට ඔරොත්තු නොදෙන අතර එයින් පැළ විනාශ වී යයි.
සුසන්ත ප්‍රභාත් මහතා පවසන පරිදි මැනිං වෙළෙඳපොළට මේ දිනවල වැඩි වශයෙන් එළවළු ලැබෙන්නේ නුවරඑළිය, වැලිමඩ ප්‍රදේශවලිනි. විශේෂයෙන් වැලිමඩ කැරට් වැඩි වශයෙන් මැනිං වෙළෙඳපොළට ලැබේ. කැරට් වගාවට වැඩි වශයෙන් නැඹුරුවක් ඇති නුවරඑළියෙන් මේ දිනවල කැරට් වෙළෙඳපොළට ලැබෙන්නේ නැත. මැනිං වෙළෙඳපොළට පෙර කාලවලදී මෙන් මේ දිනවල දෛනිකව ලැබෙන එළවළුවල ඉතා අඩුවීමක් පවතී. එමෙන්ම එළවළු රුගෙන යාමට පැමිණෙන තොග සහ සිල්ලර වෙළෙන්දන්ගේ ද විශාල අඩුවක් පවතී. එය 40% කට වඩා අඩුවීමකි. මේ අනුව මැනිං වෙළෙඳපොළේ වෙනත් කාලවලදී කිලෝ සියයක් මිලට ගත් වෙළෙඳුන් මේ කාලවලදී රුගෙන යන්නේ කිලෝ විස්සක් පමණි.

''මේ දවස්වල අපි වගා කරන්නේ හරිම අඩුවෙන්. අපි මේ දවස්වල ටිකක් වැඩියෙන් වගා කරන්නේ මාළු මිරිස් සහ මල් ගෝවායි. එළවළු මිල ඉහළ යන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ වර්ෂාවයි. වෙන කාලවලදී අපි බොහෝ එළවළු වගා කරනවා. වට්ටක්කා, මෑ වැඩි වශයෙන් වගා කරනවා. මේ පාර අපි ඒ හැමදේම වගා කරලයි තිබුණේ. හැබැයි වැස්සට ඒ හැමදේම විනාශ වුණා. ඒ පැළ සියල්ලම නරක් වුණා. ඒකෙන් අපිට ලොකු පාඩුවක් සිදුවුණා. අපි අක්කර භාගයක මෑ හදල තිබුණා. හැබැයි ඒවායින් ඵලදාව හරිම අඩුයි. සමහර වෙලාවට කිලෝ පහළොවක් පමණ ඵලදාවක් තමයි අපිට ලැබෙන්නෙ. අපි ඒකත් කිලෝවක් රුපියල් එකසිය හැත්තෑවටම තමයි දුන්නෙ. ඒ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයටයි. කොහොමත් අපි අක්කර හයක විතර වගා කරලා තියෙනවා. අපි සුපිරි වෙළෙඳසල් ජාලයකටත් අපි ඵලදාව ලබා දුන්නා. හැබැයි මේ පාර අස්වැන්න හරිම අඩුවෙන් ලැබුණෙ. ගෙදර අයට අමතරව අපි දවස් කුලියටත් මිනිස්සු වැඩට අරගෙන තමයි වගා කටයුතු කරන්නෙ.'' යැයි තඹුත්තේගම නන්දන ලයනල් ප්‍රේමතිලක ගොවි මහතා දේශයට පැවසීය.

මේ අනුව මේ ධාරානිපාත වර්ෂාපතනය නිසා වැඩි වශයෙන් හානියට පත්ව ඇත්තේ නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල වගා බිම්ය. ධාරානිපාත වර්ෂාවත් සමඟ නාය යාම් සිදුවීම හේතුවෙන් සිදුවන ජල ප්‍රහාර හමුවේ වගා බිම්වලට දැඩි හානියක් සිදුව ඇත.

''නුවරඑළියේ බොහෝ ගොවීන් මේ දිනවල අසරණවෙලා ඉන්නවා. විශේෂයෙන් කැරට් ඇතුළු අල ප්‍රභේද සහිත එළවළු වගා කළ ගොවීන්ට මේ වර්ෂාවෙන් ලොකු හානියක් සිදුවෙලා තියෙනවා. ඵලදාව තිබුණු එළවළුවල අස්වැන්න ගන්නත් පෙර එකදිගට දවස් ගාණක්ම වැසි වැටුණා. ඒ නිසා කැරට් ඇතුළු බොහෝ අල වර්ග කුණු වුණා. මේ දිනවල නුවරඑළියේ පවා එළවළු ගිනි ගණන්. ලැබෙන අස්වැන්නේ වුණත් සරුභාවයක් නැහැ.'' යැයි නුවරඑළියේ බී.එම්. ජයන්ත ගොවි මහතා දේශයට පැවසීය.

එළවළු මිල එලෙස ඉහළ යන විට මාළුවල මිල ද මේ දිනවල යම් ඉහළ යාමක් පවතී.

''මේ දිනවල මාළුවල මිල ටිකක් වැඩියි. හැබැයි පහුගිය කාලවලදි වගේ පාරිභෝගිකයන්ට දරාගන්න බැරි විදිහට ඒ මිල ඉහළ ගියේ නැහැ. මේ නිසාම මේ දිනවල පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ අඩුවක් තියෙනවා. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ ඉස්සන් කිලෝවක් රුපියල් එක්දහස් දෙසීයයි. හොඳ ලින්නන් කිලෝවක් රුපියල් පන්සීයයි. බලයන් රුපියල් හාරසිය පනහයි. ලොකු බලයන් කිලෝවක් රුපියල් අටසීයයි. තෝරා දෙදහස් පන්සීයයි. කෙළවල්ලන් කිලෝවක් රුපියල් දාහයි. හාල්මැස්සන් කිලෝවක් රුපියල් හාරසිය පනහයි. සාලයන් කිලෝවක් රුපියල් දෙසිය පනහයි. ආර්ථික තත්ත්වය නිසාත් පාරිභෝගිකයන්ගේ පැමිණීම ගොඩක් අඩුයි. කොහොමත් ලබන මාසේ මැද භාගය වනතුරු ලැබෙන මාළු ප්‍රමාණයේ අඩුවක් තියෙනවා.'' යැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා දේශයට පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න