2024 ජනවාරි 13 වන සෙනසුරාදා

අබුදස්ස කාලේ ආගමත් එපාවෙන වැඩ

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 171

අබුද්දස්ස කාලයට පිස්සෝ පිස්සු කෙළිති. පිස්සෝ රජවෙති. පිස්සෝ සියල්ල දත්තෝ වෙති. දැන් මේ රටට අබුද්දස්ස කාලය උදා වී ඇත. පිස්සන් කවුදැයි නොකිව්වත්, පිස්සන් සිටින්නේ කොහිදැයි නොකිව්වත්, පිස්සන් කරන වැඩ ඇස් පනාපිට පෙනෙමින් තිබේ.

දැන් ලංකාවේ හොඳම පිස්සන් වී සිටින්නේ බුදුවරුන් යැයි කියාගන්නෝය. බුදු වීමට පෙරුම් පුරන්නන් යැයි කියන්නෝය. බුදු දහම එය නෙවෙයි, මෙය යැයි කියන්නෝය. බුදුන් උපන්නේ මෙහේ යැයි පරසක්වල ගහන්නෝය. ධර්මය නොදත් උන් බුදු කතා ගොඩක් ඇද බාමින් සිටිති. මේ මෑතක බුදු වුණා යැයි කියාගන්නා ස්වාමීන් වහන්සේ නමක් තවත් ජනප්‍රිය හිමි නමක සමඟ තෙලිජ්ජ පොල්කටුවක් තොලගෑවේය. දේශීය දේ අගය කිරීමට බව ඒ ''බුදුන්'' කීවේය. ඒ ''බුදුන්ගේ'' සමහර වැඩ හොඳ වුණත් සමහර වැඩ හත්පොළේ ගාගන්නා අසූචි වැඩය. බුදු කතා කියමින් මාර පොරක් යැයි කියාගන්නා උන්නාන්සේ මම එකකුට බය නෑ කියමින් පාරම් බාති. පසුව මල්වත්ත පන්සලෙන් කතා කළ විට බුදු වුණා යැයි කියන කෙනා මල්වත්ත නායක හාමුදුරුවන්ට දණ ගසා වැඳ සමාව ගත්තේය. දැන් බුදුන් කවුදැයි අපට ප්‍රශ්නයක් ඇත. එහෙත් උන්නාන්සේට වහ වැටුණු ශ්‍රාවකයෝ තවමත් උන්නාසේ පසුපස වැටෙමින් යති.

මෑතක තවත් හිමි නමක් සිය ශ්‍රාවකයන් සමඟ රුවන්වැලි සෑයට මහා පූජාවක් සිදු කළහ. නිදාගන්නා ඇඳේ සිට රස මසවුළුවලින් රුවන්වැලි සෑයේ එක පැත්තක් පුරවා දැමූහ. ඒ ආනිසංස ලබාගැනීම සඳහාය. එයින් ලැබෙන ආනිසංසය කුමක්දැයි අපි නොදනිමු. එක් වරක් එකී ස්වාමින් වහන්සේ යැයි කියාගන්නා හෙතෙම බුදුන්ගේ කාලයේ වැඩ සිටි බවත් බණ අසන්නට පැමිණෙන්නේ බුද්ධ කාලයේ සිටි අය බවත් කීහ. උපාසක උපාසිකාවෝ මහත් ආශාවෙන් සාදුකාරයෙන් ගිගුම් දෙමින් පුණ්‍යානුමෝදනා කළහ.

තවත් භික්ෂුවක් ටික් ටොක් ලයිව් එමින් අමුතු ධර්මයක් දේශනා කරන්නට විය. එක වෙලාවකට සිවුරත්, තවත් වෙලාවකට ෂෝටකුත් දමාගෙන කෙල්ලන් ළං කර ගනිමින් ජූස් බොමින් බණ කියන්නට විය. පසුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව හෙළිවුණේ එකී භික්ෂුවට පිස්සු බවය. ජනප්‍රිය නොවන අය මෙසේ අත්අඩංගුවට ගැනුණ ද ජනප්‍රිය අය අල්ලන්නට පොලීසියත් දෙපාරක් සිතන තැනට පත්ව සිටියි. ඒ බලය ඇත්තෝ සියල්ලම උන්නාන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වී ඇති බැවිනි. ඒ නිසා කොතරම් පිස්සු නැටුවත් පොලීසිය ඒ උන්දැලාට අත තියන්නට යන්නේ නැත.

සැබැවින්ම මෙවන් ඇන්දිල්ලක් හිතාගන්නට බැරිය. මේ වන විට ධර්මය නැමැති මහා වෘක්ෂය කඳ පණුවෝ කා දමමින් සිටිති. එසේ නම් මෙය අබුද්දස්ස කාලයක් නොවේද? මේවා දැක දැක සිටීමටත් මේ පසුපස දුවන්නට වීමත් අප කළ පවක් නොවේද?

කෙසේ වෙතත් මේ කියන්නේ මේ හැමදෙනා අතරින් මතු වූ අලුත් චරිතය පිළිබඳ කතාවය. ඔහු කියනා පරිදි හෙතෙම බුදුවෙන්නට පෙරුම් පුරණා කෙනෙකි. ඔහු තමන් අනාගත මෛත්‍රී බුදුන් යැයි පවසයි. තමා තමා විසින්ම හඳුන්වන්නේ අවලෝකේතීෂ්වර නමිනි. ඔහු ද ඔහුගේ නාඩගම පටන් ගත්තේ බුදුන් තුන්වැනි වර වැඩම කළේ යැයි සැලකෙන කැලණිය රජමහා විහාරයෙනි. මේ වන විට කැලණිය රජමහා විහාරය නම කියූ පමණින් බුදුන් වැඩිය කතා මතකයට නොනැගේ. මණිඅක්ඛිත නාග රජවරුන්, මැණික් පුටු මතකයට නොනැගේ. දැන් මතක් වෙන්නේ ඩෝං ගාන විශාල ශබ්දයක් සමඟ නාග ලෝකයෙන් පැමිණ ලීටර් පහේ වතුර කෑන් එකක හිර කළ නාගයෙකි. නැතිනම් අමු නයකු යැවූ කපුවෙකි. ඒ තරමට කැලණිය විහාරයට සිදු කළ හානිය පොඩි නැත. එයට දෙවැනි නොවන්නට මේ අවලෝකේතීෂ්වරගේ වැඩ පොඩි නැත. ලිමොසින් රථයකින් පැමිණෙන මේ බෝධිසත්වයා නෙළුම් මලක් අත දරාගෙන සිවුරක් ඇඟේ දවටාගෙන අමුතු මුද්‍රාවකින් කැලණිය විහාරයට ඇතුළු වෙයි. කොහේ සිට හෝ පැමිණෙන කාන්තාවක දණ ගසාගෙන කොණ්ඩය ලිහාගෙන බෝධිසත්වයාගේ දෑත් නමදින අතර අවසානයේ ඇය නැගිටින්නේ බෝධිසත්වයාගේ අතින් අල්ලාගෙනය. ටයිටැනික් චිත්‍රපටයේ ජැක් සහ රෝස් මෙනි.
එපමණක් නොව කැලණිය චෛත්‍ය ඉදිරිපිට කුමක්දෝ අණ්ඩර දෙමළයක් ඇදබාමින් ''බෝධිසත්වයන්'' අසන්නේ මෙතැන සිටින අයගෙන් නිවන් අවබෝධ කරගෙන සිටින්නේ කවුදැයි යනුවෙනි. එවිට උන්නැහේගේ ගෝලයකු වයසක කාන්තාවකුත්, තවත් පිරිමියකුත් පෙන්වා මේ දෙන්නා නිවන් අවබෝධ කරගෙන ඇතැයි පවසයි. මේවා පුදුම දේවල්ය. මෙහිදී බෝධිසත්වයන් තමන් කැලණියට ගිය පසු සප්‍රයිස් වුණා යැයි පවසයි. ඔව්! සැබෑය. අපි ද සප්‍රයිස් වී සිටිමු. මෙවැනි පිස්සන් කරන දේවල්වලට කැලණි පන්සල ලබා දෙන්නේ කවුදැයි ප්‍රශ්නයක් මතු වේ. මේ වන විට කැලණිය පන්සල නාට්‍ය හා රංගකලාව උගන්වන තැනක් බවට පත්වෙමින් තිබේ. සැබැවින්ම මේවා කියන්නේ හාස්‍යයට නොව සැබෑ බෞද්ධයකු ලෙස වේදනාවෙනි. ඒ මගේ ධර්මය ගැන මට තියෙන අයිතිය හේතුවෙනි.

මෙවැනි පිස්සන් පිස්සු කෙළින මොහොතක උන්දැලා පසුපස යන උන්ට මඩු වලිගයෙන් තැලිය යුතුය. මෙවැනි නිර්මල දහමකට හාත්පසින්ම වෙනස් දෙයක් කියන උන් විශ්වාස කරන්නට තරම් ඇතැම් බෞද්ධයෝ මුග්ධයන් බවට පත්ව සිටිති.
සැබැවින්ම බෞද්ධයන් මේ තැනට ඇද දැමුවේ ද ඇතැම් භික්ෂූන් වහන්සේලාය. ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා ජීවත්ව සිටි යුගවලට පසුව මේ ශාසනයේ රජ කළේ ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා බව කිව යුතුය. අසපු, ආරාම හදාගත් ස්වාමීන් වහන්සේලා කටමැත දොඩවමින් ධර්මය වෙනුවට වෙනත් වල්පල් දොඩවන්නට ගත් අතර එය ධර්මය යැයි බොහෝ දෙනා සිතූහ. එකී ස්වාමීන් වහන්සේලා වෙත ළංවීමට හැකිවුණේ ධනවත් සහ බලවත් පුද්ගලයන්ට පමණි. ඒ අය එම ස්වාමීන් වහන්සේලාට අනුග්‍රහය දක්වමින් ගමේ ගොඩේ උපාසක උපාසිකාවන්ට බණ අහන්න සැලැස්වූහ. මේ නිසා ගමේ අම්මලා තාත්තලා ගමේ පන්සල පසුකරගෙන අසපු, ආරාම වෙත පැමිණියහ. දවසින් දවස රට තුළ සැබෑ බෞද්ධයන් හිඟවීමට පටන් ගත්තේය. බෞද්ධ ධර්මය සිංහල ජනතාවගේ යැයි හිතෙන තරමට එකී භික්ෂූහු ඒවා ජනතාවගේ මොළවලට පෙවූහ. ඒ අනුව බෞද්ධ ජනතාව වෙනම සිංහල බෞද්ධ සංස්කෘතියක් හදාගත් අතර එය දේශපාලන මෙවලමක් විය. අවසානයේ ජනතාව එකී දේශපාලන මෙවලමේ අතකොලු බවට පත්වූහ. 

වර්තමානයේ හරියට බෞද්ධ ධර්මය දන්නා බෞද්ධයෝ අල්පය. මේ වන විට සමහර බෞද්ධයෝ වල් වැදුණු, නන්නත්තාර වුණු පිරිසක් බවට පත්ව සිටිති. එකී බෞද්ධයන්ට කාලයෙන් කාලයට පැමිණෙන බුදුවරුන්, බෝධිසත්වවරුන්, අරයා, මෙයා මාර චරිත බවට පත් වේ. අතර ඔවුහු මේ පිරිස් පසුපස වැටෙති. ඔවුන්ට පුද සත්කාර කරති. දැන් කවුරුන් හෝ ලියුම්කරුගෙන් මේ බෝධිසත්වයන් කියන පුද්ගලයා ගැන පුදුම වන්නේද කියා ඇසුවහොත් කීමට ඇත්තේ කිසිදු ලෙසකින් ඔහු ගැන පුදුම වන්නේ නැත යනුවෙනි. ඒ වෙන කිසිවක් නිසා නොව මේ රටේ බෞද්ධයන්ගේ ගෞරවය ලබන  ඇතැම් භික්ෂූන් වහන්සේලා පිස්සු නටන මොහොතක මෙවැනි ගිහියන්ගේ වැඩ ගැන පුදුම විය යුතු නොවීමය. කෙසේ වෙතත් මෙවැනි කඳ පණුවන් තව තවත් ඉදිරියේ බිහිවනු ඇත. ඔවුන් මේ ධර්මය විනාශ කිරීමට වලි කනු ඇත. අධර්මය රජ කරවනු ඇත. 

ඒ නිසා අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අඩුම තරමින් ධර්මය ගැන, බුද්ධ දර්ශනය ගැන දැනගන්නට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ මෙතෙක් සරලම හා උසස්ම ග්‍රන්ථය ලෙස සලකන මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ සත්‍යෝදය සහ බුදුන් වදාළ ධර්මය යන ග්‍රන්ථ කියවන ලෙසය. 

I ගයාන් ගාල්ලගේ