2017 ජුනි 10 වන සෙනසුරාදා

චීනයේ අසිරිය සහ මහිමය සමඟ දින හතක්

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 368

ටිං ටිං මුදියන්සේලාගේ ඇලන් කොඩිකාර....

ඒ අපේ සුහදශීලි මඟ පෙන්වන්නාට ශ්‍රී ලාංකික මාධ්‍ය සගයන් ලබාදුන් අපූරු නමයි. චීන රජයේ ඇරැයුමින් පසුගිය 22දා එරට චෙන්දූ ගුවන් තොටුපොළට ගොඩබට ශ්‍රී ලාංකික මාධ්‍ය ප්‍රධානීන් කටපුරා සිනාසෙමින් පිළිගත්තේ මෙකී ටීං ටිං විසිනි. ඔහු රූප ස්වභාවයෙන් සුප්‍රකට ටිං ටිං ටෙලිනාටකයේ ටිං ටිංට සමානය. එහෙත් නමින් හේ ඇලන්ය. නිතරම පුංචි කොඩියක් සුරත දරාගෙන අපට මඟ පෙන්වූ නිසා කොඩිකාර නම් ලැබීය. චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට හැට වසරක් පිරීම නිමිත්තෙන් එරට මහිමය අපට පෙන්වන්නට ශ්‍රී ලාංකික මාධ්‍ය ප්‍රධානීන් එරටට කැඳවා තිබිණි. පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයේ නියුතු කතුවරුන් හා විද්‍යුත් මාධ්‍යයේ සංස්කාරකවරුන් 7 දෙනෙක්ද පාත්ෆයින්ඩර් පදනම නියෝජනය කළ මාධ්‍ය සගයන් දෙදෙනෙක්ද මේ ගමනට එක්ව සිටියහ. යට කී සහෘද ටිං ටිං හෙවත් ඇලන් අපට මඟ පෙන්වමින් දින ගණනක් එරට ගැන බොහෝ දේ කියා දුන්නේය.

අප මුලින්ම නවාතැන් ගත් චෙන්දු ෂෙරටන් හෝටලයේ සිට ප්‍රථම චාරිකාව යෙදී තිබුණේ චීනයේ සුප්‍රකට පැන්ඩා උද්‍යානයටයි. චීනයේ ඉහළම සංචාරක ආකර්ෂණය සහිත AAAA වර්ගයේ සංචාරක ස්ථානයක් වන පැන්ඩා උයන එරටටම සුවිශේෂී සංචාරක ස්ථානයකි. අලංකාර පැන්ඩාවුන් රැසක් ස්වභාවික පරිසරයේම රඳවා සිටින මෙම මධ්‍යස්ථානය පැන්ඩාවුන් බෝකරන, බිහිකරන අභිජනන මධ්‍යස්ථානයක්ද වේ. වසරකට ලොව පුරා සංචාරකයෝ මිලියන 4ක් පමණ මෙහි පැමිණෙති. ලොව ඉතා විරල ගණයේ රතු පැන්ඩාවුන් බෝ කිරීමටද උද්‍යානයේ පහසුකම් ඇත. පුරා පැය දෙකකට ආසන්න කාලයක් අප පැන්ඩා උද්‍යානයේ සුවිශේෂී කුටි 27ක් නරඹමින් ඉතා සැහැල්ලුවෙන් ස්වභාවික පරිසරය හා මුසුවී කදිම ආස්වාදයක් ලැබීමු.

චීනයේ වෙසෙන ජනයාගෙන් බහුතරය බෞද්ධයෝය. අප මාධ්‍ය චාරිකාවේ යෙදුණු සියලුදෙනාම පාහේද බෞද්ධයන්ය. එනිසාම එරට පමණක් නොව ලෝකයේම දැවැන්ත නිර්මාණයක් වන ලෙෂාන් කඳුකර පර්යන්තයක ඉදිකළ දැවැන්ත බුද්ධ ප්‍රතිමාව වන්දනා කරන්නට අප කැඳවාගෙන ගියේ පසුදාය. චෙන්දු නගරයේ සිට කිලෝමීටර් 150ක දුරින් පිහිටි මින් ජියැන්ග් ගංගාවට මුහුණලා කඳුබෑවුමේ ඉදිකර ඇති මීටර් 100කට ආසන්න උසකින් යුතු මෙම බුද්ධ ප්‍රතිමාව වන්දනා කරන්නට මින් ජියෑන්ග් ගංගාවේ බෝට්ටු චාරිකාවක යෙදෙන්නට සිදුවිය. ගොඩබිමින් ගමන් කළහොත් කිලෝමීටර් 9ක් පමණ පැය 1 ½ක් කාලයක් තුළ තරණය කරන්නට සිදුවෙයි. ගංගාවෙන් නම් පැය භාගයක බෝට්ටු ගමනකි. ලොව ඇති උසම බුද්ධ ප්‍රතිමාව මේ යැයි අපේ මඟ පෙන්වන්නා වූ ටිංටිං අපට කීය.

මෙම වන්දනා ගමනින් අනතුරුව එළඹි සවස් කළ චෙන්දු නගරයේ සිට ගුවනින් චීනයේ අගනුවර වන බීජිං වෙත පිටත්ව යෑමට සැලසුම් කර තිබිණි. චීන ගුවන් සේවයට අයත් CA4119 යානයේ අසුන් කල්තබා වෙන්කර ඇතැයි ටිංටිං කීය. ඒ අනුව පැය 2 ½ක ගුවන් ගමනකින් පසු ගිය 25දා හැන්දෑවේ ආකර්ෂණීය බීජිං නගරයට ළඟාවුණෙමු. චෙන්දු වලදී අපට මඟ පෙන්වූ ටිංටිං නතර විය. බීජිංවල මඟ පෙන්වන්නා වූයේ ඇන්ඩි හෙවත් ඇන්ඩි වොංග්ය. ඔහු ගැනද බොහෝ රස කතා තිබේ. සිංහලෙන් සුබ උදෑසනක් යයි කියා සුබ පතන්නේ කෙසේදැයි ඇන්ඩි මුලින්ම අපේ මාධ්‍ය සගයකුගෙන් විමසූ විට ඔහු විහිළුවට මෙන් කීවේ උදෑසන අතට අතදී උඹට පිස්සුද? කියා විමසන ලෙසයි. සුබ සන්ධ්‍යාවක් යැයි සිංහලෙන් කියන විට මට පිස්සු යයි කියනවා යැයිද කියා තිබිණි. හොඳට යමක් කරන විට එළකිරි මචං යයි කියා සුබපතන හැටි ඇන්ඩිට ඉගැන්වූ අපේ මාධ්‍ය සගයා ඊටත් වඩා දේ ඔහුට කියාදුන් නමුත් ඒවා මෙහි ලිවීමට උත්සාහ නොකරමි. කෙසේ හෝ මේ ඉගැන්නිල්ලෙන් පසුව කුටු කුටු ගාමින් ඒවා කටපාඩම් කරගත් ඇන්ඩි අපව කැඳවගෙන ගියේ නවාතැන් ගත් බීජිංහි සුප්‍රකට රෝයල් කුන්තායි හෝටලයටයි. සැන්දෑව උදාවී තිබිණි. කෑම බීමද සැපයිණි. චීනයේ ආහාර පිළිවෙත ලංකාවේ අපට ආගන්තුකය. රාත්‍රියට කෑම කන්නේ හැන්දෑවේ හයටය. හැන්දෑවේ හයට කෑම කන මේ දිනවල රාත්‍රී 8.00 වනතෙක් හොඳින් හිරුපායා ඇති බීජිංහි වීදිවල කරක් ගසා රාත්‍රී කුටියට පැමිණෙන විට නැවත කෑම කන්නට පිළිවන. කෙසේ හෝ කෑම වෙනුවට රෝයල් කුන්තායි හෝටලයේ 1219 කාමරයට අරක්ගත් මාධ්‍ය සගයකුගේ නවාතැනට එක්රැස්වී පැය දෙක තුනක සාජ්ජයක් දැමීමට අපි පුරුදු වීමු. මධුවිත සමඟ රසකතා මෙහි පිරී ඉතිරී ගියේය. මනමේ සිංහබාහුවල සිට ජෝතිපාල දක්වා ගී ගැයුනි. හැන්දෑව සුන්දරවිය. ඊටත් වඩා රසකතාව වූයේ අපගේ සුබපැතීමේ ක්‍රමය ඉගෙන ගත් අපේ බීජිං මග පෙන්වන්නා වූ ඇන්ඩි අපෙන් සමුගන්නා විට අපට අතට අත දී මහහඬින් මට පිස්සු යයි කීම නිසාය. ඒ අතර අපේ සගයකු යම් හොඳ දෙයක් කළවිට එළකිරි මචාං යයි මහ හඬින් කියන්නටද ඔහු අමතක කළේ නැත. 

26දා උදෑසන සමස්ත චීන මාධ්‍ය සංසදයේ මූලස්ථානයට යෑමට නියමිත විය. ඇන්ඩි උදෑසනින් පැමිණ අපට අතට අතදී සුබ පැතීය. කෙසේ හෝ මාධ්‍ය මධ්‍යස්ථානය වෙත කෙටි වේලාවකින් ගිය අප පිළිගත්තේ සමස්ත චීන මාධ්‍ය සංසදයේ අධ්‍යක්ෂ රැන්ග් චෙන්ග්හයි විසිනි. මෙයට වසර 37කට පෙර ආරම්භ කොට ලොව මාධ්‍ය සංවිධාන 100ක් සමඟ සබඳතා පවත්වමින් ඔවුන් කරනා සේවාව ඔහු විස්තර කළේය. චීනයේ තිබෙන්නේ රාජ්‍ය මාධ්‍ය පමණයි. පෞද්ගලික මාධ්‍ය නැහැ. ගූගල් වැනි අන්තර්ජාතික මාධ්‍ය ජාලවලට මේ රටේදී පිවිසෙන්න බැහැ. ඒ වෙනුවට අපේ මාධ්‍ය ජාලයක් තිබෙනවා. ඔහු අපට කීය. රාජ්‍ය පාලනය යටතේ ඇති මාධ්‍යයට වුවද රජය යම් පමණකට විවේචනයට අවසර ඇතැයි කී හෙතෙම දැවැන්ත චීනයේ රූපවාහිනී මධ්‍යස්ථාන 19,000ක් හා පුවත්පත් 2000 ඇතැයිද සඳහන් කළේය. පීපල්ස් ඩේලි එරට ජනප්‍රියම පුවත්පත වන අතර එරට පළාත් 34ම දිනකට පීපල්ස් ඩේලි පුවත්පත් ලක්ෂ 30ක් අලෙවි වන බව පැවසීය. පුවත්පතක මිල ලංකාවේ මුදලින් රු.45/- පමණය.

චීන මාධ්‍යයේ හතර මායිම් දැනගත් අපට එරට විදේශ අමාත්‍යංශයේ ආසියානු කටයුතු මෙහෙයවන දෙපාර්තමේන්තුවට යාමට තිබුණේද එදිනමය. එහි දකුණු ආසියාව භාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලාංකික මාධ්‍ය සගයන් සමඟ සාකච්ඡාවකට එක්වූයේ ස්වකීය මාධ්‍ය අංශ ප්‍රධානියාද කැටිවය. හැට වසරක චීන ශ්‍රී ලංකා සබඳතා ගැන මෙන්ම චීන රජය ශ්‍රී ලාංකාවේ කරන සංවර්ධන ව්‍යාපෘති ගැනද ඔහු අපට කරුණු කීය. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ගැන සිය රටේ උනන්දුවක් ඇතත් අවසන් ගිවිසුම් කෙටුම්පත ගැන අන්තිම තීන්දුවක් ගෙන නැතැයිද පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා චීනයට පැමිණ එකම මාවතක් එකම තීරයක් රාජ්‍ය නායක හමුවට එක්වී දෙරටේ සබඳතා තර කරගත් බව කී ඔහු චීනයේ අරමුණ ශ්‍රී ලංකාවට උපරිම වාසි ගෙන දෙන සංවර්ධන සහායකයකු ලෙස ක්‍රියාකිරීම බවද ප්‍රකාශ කළේය.

චීන ගුවන් විදුලියේ සිංහල සේවාව මෙරට ශ්‍රාවකයන් අතරද ජනප්‍රිය ගුවන් විදුලි සේවයකි. අප එහි කැඳවා තිබුණේ එදින සන්ධ්‍යාවේදීය. සිංහල නම්වලින් හඳුන්වන චීන තරුණ තරුණියන් පිරිසකුත් මෙරටින් ගිය තවත් මාධ්‍ය සගයන් පිරිසකුත් එහිදී අප හමුවූහ. සිංහල සේවා කාර්ය මණ්ඩල ප්‍රධානී සංගීතා මෙන්ම එහි උපදේශකයන් වන සුගත් රත්නායක, නිසංසලා රත්නායක, නයනී සදීශ ආදී මාධ්‍ය සහෘදයන් පිරිසක් අප වෙත තම සේවාව ගැන තොරතුරු කීහ. 1975 මෙම සේවාව ආරම්භ කෙරිණි. කෙටි තරංග විකාශයක් ලෙස මුලින් පැවැති සිංහල සේවාව 2010 දී එෆ්.එම්. විකාශයක් විය. දිනකට පැය 5කට වැඩි කාලයක් විකාශය සිදුකෙරේ. එම තොරතුරු කියන අතර චීන ගුවන් විදුලිය වෙනුවෙන් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ගෙන් මත විමසුමක්ද සිදුකළ ඔවුන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව තුළ චීනය ගැන හරි ප්‍රචාරයක් ලබාදෙන්නට උදව්වන ලෙසයි.

අපගේ චාරිකාවේ සුවිශේෂ අවස්ථාවක් වූයේ බීජිං නගරයේ සිට කිලෝමීටර් 150ක පමණ දුරින් පිහිටි ටියැන්ජින් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ගිය ගමනයි. පැයට කිලෝමීටර් 300ක වේගයෙන් දුවන අධිවේගී විදුලි දුම්රියකින් මේ ගමන සිදුවිය. එම සරසවියේ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසු සිසුවියෝ 600ක් පමණ අධ්‍යාපනය ලබති. ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා රජය එක්ව තෝරා එරටට යවන බව එහිදී අපට කරුණු දැක්වූ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය ෆෙයි+හන් මහතා කීය. ශ්‍රී ලාංකික සිසු සිසුවියන් අප මුණගැසී ඔවුන්ගේ අත්දැකීම් මෙන්ම අභ්‍යාස ගැනද බොහෝ දේ කීහ. එහි ඇති ආදර්ශ රෝහල හා සායනික සේවාවන් ගැනද විස්තර ‍කෙරිණි. ටියැන්ජින් වෛද්‍ය සරසවියේ අධ්‍යයනය වසර 5කට සීමා වන අතර වසරකට ඒ සඳහා රුපියල් දස ලක්ෂයකට වැඩි මුදලක් වැය කළ යුතුය.

චීනයේ ඉහළම සංචාරක ආකර්ෂණය සහිත ටියෙන් ආන්මින් චතුරශ්‍රය නැරඹීමට ගියේ පසුදාය. දස ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් ජනයා එය නරඹන්නට එති. අතීතයේ රජවරැන් එරට පාලනය කළ සමයේ ඉපැරණි ගොඩනැගිලි මාලිගා ගෘහභාණ්ඩ යනාදිය එහි ප්‍රදර්ශනය කෙරේ. රතු චීනයේ නායක මාඕ සේතුංගේ සංරක්ෂණය කළ මෘත දේහයද එහි කුටියක ඇතත් මේ දිනවල එය ප්‍රදර්ශනය නොකෙරේ. රතු චීනයේ නිර්මාතෘ මාඕ සේතුං, ඔහුගේ අගමැති චෞඑන්ලායි වැනි ප්‍රභූන් පවා ආගිය චීනයේ උසස්ම රඟහල ලෙස සැලැකෙන රෙඩ් තියටර් හි මනරම් කුංග්පූ දැක්මක්ද සංවිධානය කර තිබිණි. එහි එක් රංග වාරයක් සඳහා නිකුත් කෙරෙන ප්‍රවේශ පතක මිල ලංකාවේ මුදලින් රු.8500/-ක් පමණ වේ.

චීනයේ දේශපාලන පෙරළියට මුල පිරූ මහා පාගමන පටන් ගත් කඳුකර ගම්මානය වෙත ශ්‍රී ලාංකික මාධ්‍ය සගයන් සමග ගිය ගමන කිසිදා අමතක නොවන්නකි. ඒ සඳහා නැවතත් ගුවනින් අප මේ ගමන ආරම්භ කළ චෙන්දු වෙත පැමිණීම සිදුවිය. අපේ සුපුරුදු ගමන් සගයා වූ ටිංටිංට අපට මග පෙන්වන්නට නියමව තිබිණි. චෙන්දු ෂෙරටන් හෝටලයේ සිට පැය දෙකක පමණ ගමනකින් පසු රතු හමුදාව පා ගමන ආරම්භ කළ ගම්මානයේ සමරු මධ්‍යස්ථානයට පැමිණියෙමු. චීන රතු හමුදාවේ සිහිවටන රුසක් එහි තැන්පත් කර ඇත. මාඕසේතුං සිය යුද සෙනවියන් සමඟ ගමින් ගමට යමින් කළ මහ සටන ඇරැඹූ මේ තැන චීන දේශපාලනයේ සුවිශේෂී මර්මස්ථානයයි.

ශ්‍රී ලාංකික මාධ්‍ය ප්‍රධානීන් පුරා දින 7ක කාලයක් චීනයේ කළ චාරිකාව නිමාව අද්දරටම පැමිණ තිබිණි. අප චීනයේදී දැන උගත් දේ අත්විඳි දේ බොහෝය. අමතක නොවන සිදුවීම්ද බහුලය. අපේ සගයන් සැර කෑම ඕනෑ යයි මග පෙන්වූ ටිංටිංට කී විට ඇඬෙන්න දෙන්නම් කියා යහමින් මිරිස් දමා කටපුපුරු ගසන කුළුබඩුද ඇති තරම් දමා කෑම සකස් කරවා දුන්නේය. මොනවා වුණත් ඒ ආහාර රසවත්ය. රතු බලකොටුවට ගිය ගමනේදී අපට රසවත් ගමේ කෑම වේලක රස විඳින්නට ලැබිණි. සම්ප්‍රදායික ගමේ බීම වර්ගද අපූරුය.

අපේ චාරිකාව නිමවූ පසුගිය 30දා අප චෙන්දු ගුවන් තොටුපොළට කැඳවාගෙන ආ ටිංටිං අපට සමුදුන්නේ ලබන වසරේ සිදුවන ඔහුගේ විවාහයෙන් පසු මධුසමය ගත කරන්නට සුන්දර ශ්‍රී ලංකාවට එන බවට ප්‍රතිඥා දෙමිනි. අපි ඔහුට එළකිරි මචාං... කියා සුබපැතීමු. ඔහු සුරත ඇති පැන්ඩා කොඩිය ඔසවා සමාචාර දැක්වීය.

රන්ජිත් ආනන්ද ජයසිංහ