සංකීර්ණ සිද්ධිවලින් බහුල කාලපරිච්ඡේදයක තවත් අවසානයක් කරා ළඟා වී ඇත. 2023 වසරේ අවසාන පැය විසිහතර ගතවෙමින් පවතින අතර ලබන වසරේදී තවත් කාර්යබහුල, සහ අපේක්ෂිත තීන්දු ගැනීමට සිදුවන වකවානුවකට ඇතුළු වන බව දැක්විය යුතුය. පසුගිය වසර ගණනාව තුළ අවසන් නොකළ කාර්ය භාරයෙහි පීඩාකාරී ශේෂ පත‍්‍රය 2024 වසරේදීද ඉතිරිව පවතී. මහජනතාව පුරුදු ජීවන මටට්ම සඳහා බලකර සිටින අතර එය තාවකාලික අස්වැසිල්ලක් තුළ පහසු තත්ත්වයක් නොවේ.
ඉකුත් මාස දොළහක පමණ කාලය තුළ අනුගමනය කළ තද ආරක්ෂණවාදී ප‍්‍රතිපත්ති හේතු කොටගෙන වෙළෙඳපොළ ඉල්ලුම පාලනය වී ඇති අතර එය ආනයන සීමා කරන්නට හේතු වී තිබේ. සංචාරක කර්මාන්තය හා විදේශගත ශ‍්‍රමිකයන් එවන මුදල් රටට සැලකිය යුතු පිටිවහලකි. අපනයන ආදායම සීමා කරන්නට බලපෑ සාධක ගණනාවක් තුළ පවා, විනිමය උත්පාදනය ප‍්‍රශස්ත තැනකට කැඳවන්ට සමත්ව ඇත. මෙම සමබරතාව පදනම් කරගෙන ස්ථාවරත්වය අත්පත්කර ගැනීම ඊළඟ අරමුණ විය යුතුය.
ජාත්‍යන්තර පිටිවහල හා ඉන්දීය බිලියන හතර
නිදහසට පසු දැවැන්ත ආර්ථික කඩාවැටීමකට මුහුණ දුන් ශ‍්‍රී ලංකාව විදේශ සංචිත රහිත රටක තත්ත්වයට පත්ව සිටියේය. 2022 වසරේ අප්‍රේල් මාසයේදී සංචිත පිරිහීම පදනම් කරගෙන විදේශ රටවලට ගෙවිය යුතු ණය පියැවීම පැහැර හරින්නට සිදුවන බව නිල වශයෙන් ප‍්‍රකාශ කළ බවද සිහිපත් කළ යුතුය. එතැන් සිට ආනයන තදබල ලෙස සීමාකරන අතර ඉන්දියාවෙන් ලැබුණ බලවත් පිටිවහලද පදනම් කරගෙන ආර්ථිකයේ විශාල කඩාවැටීම වළක්වාගත හැකිවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම හේතු කොටගෙන මූල්‍ය අංශය ස්ථාවර කරන පියවර ගණනාවක් දේශීය හා විදේශීය වශයෙන් අනුගමනය කළේය. එම පියවර සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට යහපත් ලෙස බලපෑ බවක් සඳහන් කළ නොහැක. කෙසේ වෙතත් එම රාමුව නොවෙන්නට අභ්‍යන්තර, ව්‍යාකූල තීන්දු හේතුකොටගෙන ශ‍්‍රී ලංකාව තීව්‍ර ආර්ථික ව්‍යසනයකට ගොදුරුවීමට ඉඩ තිබුණි.
දැනට අත්පත් කරගෙන ඇති ජයග‍්‍රහණවල පදනම ඉන්දියාව හා චීනය යන රටවල ආධාර බව දැක්විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජගත් ප‍්‍රජාවට පිළිගත හැකි ස්ථායීකරණ සැලැස්මක් ප‍්‍රකාශයට පත් කළේය. ණය නොගෙවන සහ විදේශ සංචිත රහිත රටක් සමග ගනුදෙනු කළ නොහැකි තත්ත්වයෙන් ගලවා ගැනීමට එම සැලැස්ම සැලකිය යුතු සාධකයක් විය. ඉන්දියානු රජය ඇමරිකානු ඩොලර් බිලියන හතරකට ආසන්න ආධාර ප‍්‍රමාණයක් සපයන ලදී. චීනයද පාර්ශ්වික ණය සංචිතයක් සහ ණය ආපසු අය කරගැනීම සම්බන්ධයෙන් ප‍්‍රයෝජනවත් වැඩපිළිවෙළකට එකඟ විය.
විනිමය අනුපාතිකය අවප‍්‍රමාණය හේතු කොටගෙන ශ‍්‍රී ලංකාවේ අපනයනවලට ඉල්ලුමක් ලැබුණ අතර ඇඟලුම් කර්මාන්තය, තේ වෙළඳාම හා අලුතින් වර්ධනය වන පරිගණක මෘදුකාංග අපනයන අංශ මෙයින් පිබිදීමක් ලබාගත්තේය. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වන අතර විදේශ රුකියා සඳහා පිටත්ව යන ප‍්‍රමාණය වැඩිවීම හා එහි ප‍්‍රතිලාභද දැනට අත්පත් කරගෙන සිටින විදේශ සංචිත ප‍්‍රමාණය සලකන කල එය ඉතාම වැදගත් අංශයකි.
විදේශ සංචිත වර්ධන වාසිය
අලුත් වාර්තා අනුව 2023 වසර අවසන් වනවිට ඇමරිකානු ඩොලර් බිලියන හතරක සංචිත ශ‍්‍රී ලංකාවට ඇත. අර්බුද මැද පසුවන ශ‍්‍රී ලංකාවට සැනසිල්ලකට හේතුවන පරිසරයකි. ශ‍්‍රී ලංකා මහ බැංකුව දක්වන පරිදි දෙසැම්බර් මාසය උදාවන විට විදේශ සංචිත ප‍්‍රමාණය බිලියන 3.8 ක් වූ අතර එයට මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය මිලියන 337ක් ද ඇතුළත්ය. ලෝක බැංකුව සිය ආධාරවලින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් නිකුත් කරන්නේ මෙම අතරවාරයේය. ආසියානු සංවර්ධන බැංකුවද ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් සපයා ඇත. එයින් මිලියන 200ක් නිදහස් කරන්නට තීරණය කර තිබේ. දෙවැනි කොටස වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් විදුලිය ප‍්‍රතිසංවිධාන කටයුතු හා තවත් මිලියන 100ක් ජල සැපයුම සංවර්ධනය වෙනුවෙන් වෙන්කර ඇත. හා ඉතිරිය සංචාරක කටයුතු සංවර්ධනයට බව පැවසේ. ජාත්‍යන්තර ප‍්‍රජාව හා ජාත්‍යන්තර සංවිධානවල මෙම හවුල්කාරීත්වය ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළටම කැඳවා තිබේ.
විදේශ විනිමය සංචිතය වර්ධනය වීම පදනම් කරගෙන රුපියලේ අගය සුළු ප‍්‍රමාණයකින් ශක්තිමත් වීමද පසුගිය සතියේ නිරීක්ෂණය කළ හැකි විය. මහ බැංකුව සතු ප‍්‍රමාණවත් විනිමය සංචිත පවතින අවස්ථාවක වාණිජ බැංකුවලට ලැබෙන විදේශ මුදල් මිල දී ගැනීම පාලනය වේ. රුපියලේ අගය ශක්තිමත් වීම එහි ප‍්‍රතිඵලයකි. මෙම ශක්තිමත්භාවය සාධාරණ පදනමකින් භාවිතා කිරීමද වැදගත්ය.
මහ බැංකුව තවදුරටත් වෙළඳපොළ විනිමය අනුපාත ශ‍්‍රී ලංකාවේ රුපියල වේගයෙන් ශක්තිමත් වන උපායකට පත් කළහොත් ඇතැම් අංශ අධෛර්යවත් වේ. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය එවැනි සියුම් අංශයකි. මෙරටට එන සංචාරකයන්ට ඩොලර් මාරු කිරීමේදී ලැබෙන රුපියල් ප‍්‍රමාණය අඩුවුවහොත් වැඩි වාසි ඇති රටවල සංචාරය කරන්නට නැඹුරු වේ. රුපියල තාවකාලිකව ශක්තිමත් වීම හේතු කොටගෙන ඇතිවන ඩොලර් වටිනාකම අනුව ආනයනකරුවන් යුහුසුළුවීමට ඉඩ තිබේ. ඩොලර් වාසිය සලකා තොග ආනයනය කරන්නට පෙළඹෙන අතර එය පසුව වාසි ලබාගැනීමට ආනයනකරුවන් අනුගමනය කරන උපක‍්‍රමයකි. වෙළෙඳපොළ තුළ ඇතිවිය හැකි මෙවැනි උණුසුම් තත්ත්ව පාලනය කිරීමද මෙම සංචිත ඉහළ නැගීම තුළ උපායශීලීව කළ යුතුවේ.
අමතක කළ යුතු නැති පැති
රට තුළ ඇතිකරන ලද බදු ප‍්‍රතිපත්ති හා මිල සංශෝධන වක‍්‍ර ආකාරයකට විනිමය සංචිතයට ශක්තියක් වී තිබේ. ඉන්ධන මිල හා විදුලිය ගාස්තු අනුව බලශක්තිය පරෙස්සමෙන් පරිභෝජනය කරන්නට ජනතාව නැඹුරු වී ඇත. එය මෙරට පිරිවැය පාලනය කරන හේතුවකි. ලබන වසරේ සිට බලශක්ති ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවකට වැට් බද්ද සියයට දහ අටක අනුපාතියකින් පැනවේ. එය තවත් වටයකින් අරපිරිමැස්මකින් භාවිත කරන්නට ජනතාවට බලකිරීමක් වනු ඇත. භාවිතය අඩුවන විට ඉන්ධන ආනයන කළ යුතු ප‍්‍රමාණය අඩුවේ. ජලාශ පිටාර මටට්මේ පවතින අතර විදුලිය උත්පාදනයට දක්වන දායකත්වය ඉහළ මටට්මක තිබීමද ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයනය අඩුකරන සාධකයකි. එය ශ‍්‍රී ලංකාවේ ආනයන වියදම සීමා කරනු ඇත.
කෙසේ වෙතත් ආනයන පාලනය සම්බන්ධයෙන් පනවා තිබුණ ඇතැම් රෙගුලාසි ඉවත් කිරීම හේතුවෙන් ආනයන අංශ සංකීර්ණ විය හැකිය. සත්ව පාලන අංශ සඳහා අවශ්‍ය ආහාර ආනයනය, පොහොර හා කෘෂි මෙවලම් ගෙන්වීම, බිත්තර හා ලූනු ආනයනය සඳහා අලුතින් කරන සංශෝධන වෙළෙඳාම ඉදිරියේ වෙනත් පරාස නිර්මාණය කරන බවද දැක්විය හැකිය. විනිමය සංචිත වර්ධනය වන නමුත් ආනයන හා අපනයන මත ඇති කරන ක්ෂණික වෙනස්කම් මෙම වාසි තුනී කරන්නට බෙහෙවින් හේතු විය හැකිය
ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති විනිමය සංචිත ශක්තිය මෙතැනින් ඔබ්බට තවත් පියවරකට යා යුතුව තිබේ. ණය හා ණය සේවා ගෙවීම නතරකර ඇති ශ‍්‍රී ලංකාවට 2024 වසර තුළ නැවත ණය ගෙවීම ආරම්භ කරන්නට සිදුවේ. ගෙවන්නට ඇති ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 35ක් වන අතර 2022 මැද භාගයේ සිට නතර කර තිබුණු තත්ත්වය අනුව ලබන වසරේදී අලුතින් ආර්ථිකයට පීඩනයක් විය හැකිය. මෙම ණය ආපසු ගෙවිය හැකි ප‍්‍රමාණය හා සාධාරණ පදනමක් අනුව කපාදැමිය හැකි ප‍්‍රතිශත ගැන සාකච්ඡාවක දැනට පසුවේ. එම සාකච්ඡා සාර්ථක තැනකට පැමිණ රටට අස්වැසිල්ලක් ලැබුණහොත් වාසිදායකය. ණය ගෙවීමට අනිවාර්යයෙන් සිදුවන බව අමතක කළ යුතු නැත. ණය වාරික ගෙවන අතර රටට අවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය ගණන් බලා එයට සරිලන ශක්තියක් උත්පාදනය කරගැනීම සැලකිය යුතු වගකීමකි. අපනයන නංවන අතර ආයෝජන ලබාගැනීම කෙරෙහි විශාල අවධානයක් රටට අවශ්‍යය.
I සාරා කන්දෙගොඩ