2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

කැවුම්-කොකිස් මුංඅළුවා සල්ලිවලට ගනු බැරුවා

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 75

සෑම වසරකදීම නත්තල් සහ නව වසර උදාවන කාලයේදී රසකැවිලිවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. විශේෂයෙන් නත්තල් කාලයේදී රසකැවිලි වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන්ගේ ආදායම ඉහළ නැංවේ. නමුත් මෙවර ගෙවුණු නත්තල් සමයේදී පමණක් නොව උදාවන නව වසරේදීද වෙනත් වසරවල්වලදී මෙන් රසකැවිලි වෙළෙඳාමේ යම් අඩුවක් ඇත. මහා පරිමාණ රසකැවිලි කර්මාන්තයේ නියැලෙන නිෂ්පාදකවරුන් පමණක් නොව කුඩා පරිමාණයෙන් මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වෙන නිෂ්පාදකවරුද අර්බුදකාරී තත්ත්වයට මුහුණ පා සිටිති.

මේක අපේ පවුලේ ව්‍යාපාරයක්. උත්සව සමයේදී විතරක් නෙවෙයි වසරේ සෑම කාලයේදීම අපි රසකැවිලි නිෂ්පාදනය කරනවා. කැවුම්, මුං කැවුම්, අතිරස, ආස්මී, කොකිස්, පැණි වළලු, අග්ගලා, තල ආදී බොහෝ රසකැවිලි ඇති නිෂ්පාදනය කරනවා. මේක මුලින්ම පටන් ගත්තේ මගේ අම්මයි තාත්තයි. දැන් අපි පවුලේ ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා. අපි ලොරි දෙක තුනක කොළඹ අවට වෙළෙඳාමේ නිරත වෙනවා. ගිය වසරවල්වල උණු කොණ්ඩ කැවුමක් අපි රුපියල් තිහකට හතළිහකට විකුණුවත් මේ වසරේදී එහෙම අලෙවි කරන්න අමාරුයි. උණු උණුවේ කැවුම් කන්න ගොඩක් පාරිභෝගිකයින් කැමැතියි. නමුත් මේ වසරේදී අපි කොණ්ඩ කැවුමක් රුපියල් අසූවකටවත් තමයි විකිණුවේ. ඒකට ප්‍රධාන හේතුව වුණේ අසීමිත ලෙස බඩු මිල ඉහළ යාමයි. තෙල්, ගෑස්, සීනිවල මිල ගිය වසර වලට සාපේක්ෂව ඉහළ ගිහින්. මෙහෙම ගියොත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය නතර කරන්න තමයි වෙන්නේ.'' යැයි රසකැවිලි නිෂ්පාදනයේ නිරත වන මානෙල් ජයකොඩි මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ දිනවල රටේ පවතින සීනිවල විශාල මිල ඉහළ යාම මෙම නිෂ්පාදකවරුන්ගේ නිෂ්පාදන කර්තව්‍යයට තදින්ම බලපා ඇති කරුණකි. සාමාන්‍ය වෙළෙඳපොළට වඩා යම් අඩු මිලකට සීනි, සතොස වැනි අලෙවිසල්වලින් ලබාගැනීමේ හැකියාව තිබුණද එවැනි අලෙවිසල්වලින් ලබාදෙනු ලබන්නේ එක් පාරිභෝගිකයකුට සීමිත ප්‍රමාණයක් පමණි. මේ හේතුවෙන් එදිනෙදා පාරිභෝජනය සඳහා ලබාගන්නා පාරිභෝගිකයන්ට මෙය යම් අයුරකින් ගැටලුවක් නොවූවද රසකැවිලි වැනි නිෂ්පාදනයේ නියැලෙන නිෂ්පාදකවරුන්ට එම ප්‍රමාණය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත. මේ අතර පසුගිය කාලයේදී සාමාන්‍ය වෙළෙඳ පොළේ සීනිවල දැඩි හිඟයක් පැවතුණි. එයද රසකැවිලි නිෂ්පාදකවරුන්ට තදින්ම බලපෑවේය. මේ නිසාම උත්සව සමයේදී ඇතැම් රසකැවිලි නිෂ්පාදකවරු තම නිෂ්පාදන කටයුතුවලින් ඈත්වූහ. ඔවුහු වෙනත් රැකියාවල නිරත වෙති.

• සේවකයන්ට වැටුප් ගෙවන්නෙත් හරිම අමාරුවෙන්

''කොච්චර බඩු මිල ඉහළ ගියත් උත්සව සමයේදී ඒ බඩු මිල ඉහළ යාම හේතුවෙන් අපි සංගමයේ කිසිදු රසකැවිලි සමාගමක් ඔවුන්ගේ නිෂ්පාදනවල මිල වැඩිකළේ නැහැ. ඒ රසකැවිලිවල මිල තිබුණු ගාණටම අපි දුන්නේ අපේ පාරිභෝගිකයින් වෙනුවෙන්මයි. හැම උත්සව සමයේදීම අපේ රසකැවිලිවලට විශාල ඉල්ලුමක් ලැබුණා. යම් හෙයකින් මේ උත්සව සමයේදී රසකැවිලිවල මිල වැඩිකළොත් ඔවුන්ට එය දරාගන්නට නොහැකිව ඔවුන් රසකැවිලි මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන බව අපිට තේරුණා. නමුත් මෙවර උත්සව සමයේදී අපේ වෙළෙඳම වෙනත් උත්සව සමයන්ට සාපේක්ෂව 15%-20% ප්‍රතිශතයකින් අඩුවක් තිබෙනවා. සීනි මිල ඉහළ යාම ඇතුළු විවිධ බදු වැඩිවීම හේතුවෙන් අපේ නිෂ්පාදන වියදම් සෑහෙන ප්‍රමාණයකින් වැඩිවීමක් තිබෙනවා. අපි මොන යම් විදිහකින් මෙය වැඩිකළොත් 50%ක පමණ අඩුවක් සිදුවී නැති බව අපි දන්නවා. අපේ නිෂ්පාදන ධාරිතාවය ගොඩක් අඩුවූ විට තවත් වියදම අඩුවෙනවා. ඒ නිසා අඩුම වශයෙන් දින පහේදීත් සේවකයින් වැඩකරමින් ඔවුන්ගේ වැටුප් ලබාදෙමින් මේ කර්මාන්තය පවත්වාගෙන යන්නට උත්සාහ ගන්නවා. වෙනත් වසරවල්වලදී  කර්මාන්තයේ නියැලෙන නිෂ්පාදකවරුන් තම සේවකයින්ට අමතර දීමනා ලබාදෙමින්, අමතර සේවක සේවිකාවන්ට ඒ උත්සව සමයේදී රැකියාවක් ලබාදෙමින් මෙම කර්මාන්තය පවත්වාගෙන ගියා. පසුගිය කාලයේදී උත්සව සමයේදී බොහෝ සේවක සේවිකාවන් මූලික වැටුපට අමතරව තවත් අමතර විශාල මුදලක් තම වැටුපට එකතු කරගත්තා. නමුත් මෙවර මේ පවතින තත්ත්වයත් එක්ක ඇතැම් කර්මාන්ත හිමිකරුවන් තම සේවක සේවිකාවන්ට මූලික වැටුප පවා ලබලා දුන්නේ ගොඩක් අමාරුවෙන්. යම් හෙයකින් මෙම රසකැවිලිවල මේ පවතින තත්ත්වයත් එක්ක මිල වැඩිකළේ නම් වෙළෙඳාමේ අඩුවීමෙන් නිෂ්පාදනයද අඩු කිරීමක් කරන්නට වෙනවා. එහෙම වුණොත් සතියකට දින දෙකකින් තුනකින් අඩු සේවක පිරිසකගෙන් එම කාර්යයන් ඉටුකර ගැනීමට හැකිවෙනවා. එවිට විශාල සේවක පිරිසකට රැකියාද අහිමි වී යනවා.'' යැයි රසකැවිලි නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඔහු පවසන පරිදි මේ වනවිටත් බොහෝ ආයතනවල සේවකයන් මාසිකව ලබාගන්නා වැටුපේ අඩුවක් පවතී. නමුත් සේවකයන් රුකගැනීමේ අභිලාෂයෙන් නිරන්තරයෙන්ම එම සේවකයන් හැකි අයුරින් රැකබලා ගැනීමට එම ආයතනවල හිමිකරුවෝ නිරන්තරයෙන් උත්සාහ දරති. කොවිඩ් වසංගත සමයේදීවත් නොතිබුණු පීඩනය මේ වනවිට මෙම කර්මාන්තයට අත්ව ඇති බව ඔවුහු පවසති. එසේම ප්‍රධානතම හේතුව වන්නේ බදු ඉහළ යාම හා භාණ්ඩවල මිල ඉහළ යාමය. 2024 වසරේ මුල් කාලයේදීම නැවතත් දැරිය නොහැකි ලෙසින් පැනවීමට බලාපොරොත්තුවෙන් සිටින බදු හේතුවෙන් මේ තත්ත්වය දරුණු ලෙසින් මෙම කර්මාන්තයටද බලපානු ඇතැයි ඔවුහු පවසති.

• රසකැවිලි කර්මාන්තය ලොකු අවදානමක

''මේ මුළු කර්මාන්තයම අද හරිම අමාරුවකින් තමයි කරගෙන යන්නේ. රසකැවිලි නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සාමාජිකයින් තිස් අට දෙනෙක් සාමාජිකත්වය දරනවා. දිවයින පුරා විහිදී සිටින රසකැවිලි නිෂ්පාදකවරුන් මේ සංගමයේ ඉන්නවා. ඔවුන් හැමෝටම කර්මාන්තයක් ලෙසින් මෙම ගැටලුවලට මුහුණපානවා. මෙම සංගමයේ කුඩා, මධ්‍යම, මහා පරිමාණ කර්මාන්තකරුවන් සාමාජිකත්වය ලබනවා. ඒ හැමදෙනාටම මෙම උත්සව සමයේදී මෙම ගැටලුවලට මුහුණ දුන්නා. ලංකාව පුරා විහිදී සිටින රසකැවිලි නිෂ්පාදකවරුන්ගෙන් 90%ක් පමණ අප සංගමයත් සමඟ සාමාජිකත්වය ලබනවා. දේශීය රසකැවිලි විදෙස් රටවලටත් යවනවා. නමුත් එයටත් ගැටලුවක් වෙලා තිබෙනවා. ඒ තරගකාරී මිලට අපිට දැන් සපයන්න හරි අමාරුයි. ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල මිලත් සමඟ අපේ රසකැවිලිවලට මිලක් ලබාදීම විශාල ගැටලුවක් වෙලා තිබෙනවා.'' යැයිද සූරියකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

''මීට පෙර අපි බිස්කට් නිෂ්පාදකවරුන් විදිහට එකට එකතු වෙන්න විශාල උත්සාහයක් ගත්තා. අපි එකට වාඩිවෙලා අපේ තිබෙන ගැටලු ගැන කතා කළා. නමුත් බිස්කට් නිෂ්පාදනයේ සිටින මධ්‍යම කර්මාන්තකරුවන් කිහිප දෙනෙකුට මේ ගැටලු විසඳාගන්න උවමනාවක් නැහැ. ලංකාවේ මහා පරිමාණයේ රසකැවිලි නිෂ්පාදවරුන්, මහා පරිමාණයේ බිස්කට් නිෂ්පාදකවරුන්ට මේ කර්මාන්තය රුකගන්නට උවමනාවක් තිබුණත් මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ගෙන් ඇතැමුන්ට ඒ උවමනාව නැහැ. ඒක තමයි ඇත්ත. අද මේ කර්මාන්තයේ බිඳ වැටීමට ඒකත් එක්තරා හේතුවක් වෙනවා. ඔවුන් එකමුතුකමට කැමැති නැහැ. හරිම ආත්මාර්ථකාමියි. මොවුන්ගෙන් සමහරු හිතුමතේට මිල වැඩි කරනවා. එයින් පාරිභෝගිකයින් මෙම කර්මාන්තයෙන් ඈත් වෙනවා. එය කර්මාන්තයට විශාල හානියක් වගේම විශාල පාඩුවක්.'' යැයි රසකැවිලි නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සාමාජික චමින්ද හපුගස්කුඹුර මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න