
කතරගම දේවාලයට පූජාකරන ලද රත්‍රන් පවුම් 38ක් බර රන් තැටියක් දේවාල ගබඩාවෙන් අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වූ සොමිපාල ටී. රත්නායක මහතාටය. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූවේ දින ගණනාවක් අතුරුදන්ව සිටි පසුබිමකය. අනතුරුව තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරනු ලැබීය. එහෙත් සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තරිඳු ද සිල්වා මහතා ඉකුත් 27 වැනිදා නියෝග කළේය.
අතුරුදන්ව ඇතැයි කී කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වූ සොමිපාල ටී. රත්නායක මහතා සිය දියණිය හා බෑනා සම පැමිණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවී තිබුණේ පසුගිය 27දා උදේ 7.30ට පමණය. එහිදී පැයකට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු නීතිමය පියවර ගෙන තිබුණි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ මෑතකදී ඉන්දියාවේ සිටියදී මියගිය අංගොඩ ලොක්කා නැමැත්තාගේ බිරිය වන අබේසිංහගේ නිසංසලා නැමැත්තිය විසින් මෙම රන්තැටිය පූජාකොට ඇතැයි පැවසේ. සිය පුතුගේ අපල දුරුවීම සඳහා දරුවාගේ නම කොටා සැමියාගේ වයසට සමානව පවුම් 38ක බරක් සහිතව මෙම රන් තැටිය කරවාගෙන ඇති බව කියැවේ. මේ පිළිබඳව තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කර අනතුරුව නීතිපති උපදෙස් ඉල්ලා තිබුණි. ඒ අනුව නීතිපති උපදෙස් ලැබී තිබුණේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ පසුගිය 7 වැනිදාය. මේ අනුව පසුගිය 11 වැනිදා සැකකාර කපුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීහු කතරගමට ගියහ. නමුත් සැකකරුවන් පදිංචි නිවෙස්වල ඔවුන් නොසිටි අතර සෙසු නිවැසියන් පවසා තිබුණේ එම දෙදෙනාම ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ ගිය බවත් ආපසු පැමිණි වහාම ඒ බව දැනුම් දෙන බවය. ඒ නිසා නිලධාරීන් නැවත හැරී පැමිණ තිබුණි.
ඉන් සතියකට පසුව කතරගම දේවාලයේ ගබඩා භාරකරු වූ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා නීතිඥවරයකු මගින් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසුව දෙසැම්බර් 19 වැනිදා තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත නිදහස් කොට තිබිණ. ඔහු සොමිපාල ටී. රත්නායක මහතාගේ මුණුපුරාය. නමුත් ප්‍රධාන කපු මහතා වූ සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් තත්ත්වයේ සිට පසුව භාර වී තිබේ.
2019 වසරේ ජූලි මාසය කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර පැවැත්වූ සමයයි. එම කාලය තුළ පූජා භූමියට පිට පළාතකින් පැමිණි බැතිමතෙක් කතරගම දේවාලයේ කපු මහතා හරහා දේවාලයට වටිනා රත්තැටියක් පූජා කළේය. මේ ගැන තොරතුරක් දත් පිටස්තර කෙනකු නොවීය. ඉන් දෙවසරකට පමණ පසු කතරගම අවට පදිංචි කිහිපදෙනකුට අයත් ෆේස්බුක් පිටුවල සංසරණය වෙමින් තිබූ සටහනකි. කතරගම දේවාලයට 2019දී පූජා කළ පවුම් 38ක් වටිනා රන් තැටිය අතුරුදන්..... සිදුවූයේ කුමක්ද? එහි ප්‍රශ්න කර තිබිණ.
අන්තර්ජාලයේ සංසරණය වූ එකී රහස් තොරතුර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා වෙත කෙනකු විසින් යොමුකර තිබුණේ පැමිණිල්ලක් ලෙසය. බස්නායක නිලමේ ගිෂාන් ගුණසේකර මහතා තනතුරට පත්ව ඇත්තේ 2020 වසරේදීය. ඒ අවස්ථාවේ ඔහු වෙත ලැබුණු දේවාලයේ භාණ්ඩ ලේඛනය තුළ එවැනි රත්තැටියක් ගැන සඳහන්ව නොතිබිණ. එවැනි රන් තැටියක් ඔහු දැක නොතිබූ හෙයින් එම තොරතුර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත වාර්තා කළේය. ඒ පසුගිය 2021 ඔක්තෝබර් 17 වැනිදාට ආසන්න දිනකය. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා උපදෙස් දී තිබුණේ වහාම සිදුවීම පොලීසිය වෙත පැමිණිලි කරන ලෙසය. එහිදී රන් තැටිය අතුරුදන් වීම පිළිබඳව හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරිණ.
විමර්ශන ආරම්භ කර තිබියදී කතරගම දේවාලයේ කපු මහතකුගේ ඥාතියකු දේවාලය වෙත පැමිණ “මේක ලොකු කපු මහත්තයා දුන්නා.... පරිපාලන ලේකම්තුමාට බාරගන්න කීවා.” යැයි කියා ඇත. එහිදී අදාළ අයට රන් තැටිය ලැබුණු ආකාරයත් නැවත රැගෙන ආ විදියත් ඇතුළු තොරතුරු සඳහන් කොට ඔහු වෙත රන්තැටිය දේවාලයට බාරගත් බවට ලියවිල්ලක් නිකුත් කර ඇත. එම අවස්ථාවේ ආරක්ෂක අංශයේ ගණකාධිකාරී, පරිපාලන ලේකම් ඇතුළු පිරිසක් එය විමසා බලා දේවාලයේ භාණ්ඩ ලේඛනයට ඇතුළත් කර ඇත. රන්තැටිය බාරදුන් තැනැත්තාද ඔහු විසින් බාරදුන් වගට ලිපියකින් දන්වා පිටව ගොස් තිබුණි. අනතුරුව රන්තැටිය මුද්‍රා තබා දේවාලයට අයත් සේප්පුවට දැමීමට එම නිලධාරීන් පියවරගෙන තිබුණි.
එම රන් තැටිය දේවාලයෙන් අතුරුදන් වූ රන්තැටියද? නැතිනම් වෙනත් එකක්ද? පැහැදිලි නොවුණි. පොලිස් විමර්ශනය අනුව 2019 ජූලි මාසයේ කතරගම දේවාලයේ පෙරහර පවත්වා ඇත. 2019 ජූලි 3 වැනිදා එකී දිනයකි. කතරගම පූජා භූමියට නුදුරුව තිබූ රුවන් ගෙස්ට් හවුස් නැමැති නවාතැන් සපයන ස්ථානයකි. එදින නවාතැන් ගැනීම සඳහා එහි පැමිණි පවුලකි. ඔවුන් අතර මැදිවියේ කාන්තාවකි. මෙම නවාතැන් පොළේ කෝකියා පූජිත් නැමැත්තෙකි. ඔහු හා කුළුපග වූ කාන්තාව ආගිය විස්තර කියන ගමන් “අපි හෙට දේවාලයට රන් තැටියක් පූජා කරනවා.” කියා තිබිණි.
එහිදී කෝකියා “ආ... ඇත්තද? මම නම් එහෙම දෙයක් දැකලාවත් නෑ'' යැයි කියා ඇත. මේ කතාව අතරතුර එම කාන්තාව විසින් කෝකියා වෙත රන්තැටිය පෙන්වා පූජා භාණ්ඩයක් වශයෙන් වැඳ ආශීර්වාද ලබාගැනීමට සලස්වා ඇත. එහිදී රන්තැටියේ ඡායාරෑපයක් ජංගම දුරකථනයෙන් ලබාගැනීමට කෝකියා ක්‍රියාකර තිබුණි.
කෝකියාට හිතවත් පූජා නගරයේ තවත් නවාතැන් පොළකි. එය කතරගම පිහිටි වෙනත් දේවාලයක කපු මහතකුට අයත්ය. එහි සේවය කළ කෝකියාගේ නොපැමිණීම නිසා පෙර කී කෝකියා එහි ගොස් තිබුණි. එතැනදී දෙවසරකට ඉහතදී ලබාගත් ඡායාරෑපය පෙන්වා විස්තර කියා තිබුණේ පත්තිනි දේවාලයේ කපු මහතා වෙතය. පසුව එම පුද්ගලයාගේ හැකියාව මත අදාළ රන්තැටිය දේවාලය සතුව ඇතිදැයි පරීක්ෂාවට ලක්කර ඇත. එම රන්තැටිය දේවාලයට පූජා කිරීම සත්‍ය වුවද මෙතරම් වටිනා රන්තැටියක් පරිත්‍යාග කළේ කවුද? කුමකටද? යන්න සඳහනක් කතරගම දේවාලයේ ලේඛනගතව නොතිබුණි.
මේ රන්තැටිය පූජාකළ සමයේ දේවාලයේ තේවාව භාරව සිට ඇත්තේ සොමිපාල ටී. රත්නායක කපු මහතා බවට පොලීසිය අනාවරණය කරගෙන ඇත. පූජා කළ රන් තැටිය දෙසතියකට පමණ පසු කපු මහතාගේ කාර්යාලයේ තිබී ඇති බවද හෙළි වී ඇත. පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමඟ රන් තැටිය හා සමාන එකක් එය නිර්මාණය කළ රන්කරුවා ලවාම ලක්ෂ 41ක් ගෙවා සාදවා දේවාලයේ තබා තිබෙන බව පැවසේ. එය පොලීසිය නොමග යැවීමේ අරමුණෙන් කළ එකක් බව කියැවේ. තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර මෙහි ඉදිරි නඩු වාරය ලබන මැයි මස 15 පැවැත්වීමට නියමිතය.
I සමන්ත ප්‍රදීප් විල්තෙර