“මගේ නත්තල දුගියා බත් කන දාය
මගේ නත්තල වැරහැලි නැති වන දාය
මගේ නත්තල ඔබේ අත සැනැසෙන දාය
මගේ නත්තල පව පල්ලිය යන දාය''
නත්තල ගැන එසේ කවි ගී ලිව්වේ මර්සලින් ජයකොඩි පියනමය. මෙවර නත්තල් සමය උදාවී ඇතත් දුගියාට තබා රැකියාවක් කරන මැද පන්තියේ ජනතාවටත් නත්තල් දවසේත් කුසගින්නේ සිටීමට සිදුවන තත්ත්වයක් උදාකරමිනි. බංකොලොත් රටේ දුගියාගේ පිටට ඔරොත්තු නොදෙන තරම් බදු ගසමින් යන ආණ්ඩුව ජනතාව අසරණ කර ඇත්තේ හිතක් පපුවක් නැති අයුරිනි. මේ වනවිට ලක්ෂ ගණනකගේ රැකියා අහිමි වී ඇත්තේය. හාල් කිලෝවක් රුපියල් 230ට වැඩිය. බී ලූනු කිලෝවක මිල රු.500 ඉක්මවා තිබේ. එළවළු ගිනිගණංය. මෙවන් සමයක වෙනදා දැකගත හැකි නත්තල් සැරසිලි, උත්සව පවා දියාරු වී ගොසිනි.
නත්තල යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපන් මංගල්‍යයයි. නත්තල් යන වචනය පැමිණෙන්නේ ලතින් භාෂාවෙන් natale යන ලතින් වචනයෙනි. එහි අරුත උපත යන්නයි.
මෙලොව මිනිසුන් විසින් කරන පව් සමාකරමින් ඔවුන් යහමඟට ගැනීමේ අරමුණින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් ස්වරෑපයෙන් නත්තල් දා මෙලොවට එවූ බව කිතුනුවෝ අදහති. ආදරයේ, සාමයේ අරුත ලෝකයට කියා දෙමින්, බෙදා හදා ගැනීම ගැන මිනිසුන්ට පවසමින් කන්‍යා මරියතුමියගේ ගැබින් ජේසුස් වහන්සේ දිළිඳු ගවලෙනක් තුළ උපත ලැබුහ. ඒ අදින් වසර 2023කට පෙර දෙසැම්බර් 25දා වර්තමාන ඊශ්‍රායලයේ බෙත්ලෙහෙමේදීය. අද බෙත්ලෙහෙමත් යුද ගින්නෙන් බියට පත් පෙදෙසක් බවට පත්ව අවසන්ය.
පුරාණයේ සිට ලෝකාවසානය තෙක් කාල පරිච්ඡේදය යුග දෙකට බෙදා වෙන් කළේ ජේසු බිළිඳුන්ගේ උප්පත්තියයි. ඒ ක්‍රිස්තුන් වහන්සේගේ උපතට පෙර යුගය ක්‍රිස්තු පූර්ව හා කිතු උපතට පසු යුගය ක්‍රිස්තු වර්ෂ යනුවෙනි.
ලෝකයේ සියලු රටවලට නත්තල මහා මංගල්‍යයක් වුවත් ලංකාවට එය සැමරීමට සිදුව ඇත්තේ නමට පමණි. අතමිට මුදල් නැති නිසා නගර හා මංමාවත්වල නත්තල් සාප්පු සවාරි දැකගත හැක්කේ යාන්තමිනි. වෙනදා ගජරාමෙට අලෙවි වන නත්තල් ගස් පදික වේදිකාවල වේලෙමින් තිබේ. ඒත් සුළුවෙන් හෝ නත්තල සැමරීමට කිතුනුවෝ උත්සාහ කරමින් සිටිති.
කිතුනුවන්ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන ශුද්ධ බයිබලය ඒ ඒ වකවානුවල ජීවත් වූ ලේඛනගත කරන්නන් විසින් තමන් දුටු අත්දුටු දෑ ඒ කාලය තුළදීම ලියනු ලැබු කෘතියකි. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කාලයේදී සිදුවූ සියලු සිදුවීම් ඒ කාලය තුළදීම ලේඛන ගත කළ සතර දෙනෙක් සිටියහ. ඔවුන් හඳුන්වන්නේ ශුවිශේෂකවරුන් ලෙසයි. ඔවුන් වෙන් වෙන්ව ග්රන්ථ හතරක් ලියා තිබෙන අතර ක්‍රිස්තු චරිතයේ සියලු සිදුවීම් හා උන් වහන්සේගේ උපත, මරණය හා උත්ථානයත් උත්ථානයෙන් පසු උන්වහන්සේ ශ්‍රාවකයන් කිතු දහම ලොවපුරා යෑමට පිටත්කර යැවූ සැටිත් එහි විස්තර වේ.
නත්තල්දා මැදියම් රෑ උපන් ජේසුතුමන් මෙලොව ජීවත් වුණේ අවුරුදු 33ක් වැනි කෙටි කාලයකි. ඊටපසු කුරුසියේ ඇණ ගසා මරණයට පත් කළහ. යේසුස් වහන්සේගේ බාල කාලය ඉතාම කීකරු සෞම්‍ය ගති ඇති බුද්ධිමත් දරුවකු ලෙස මාපිය ඇසුරේ ගෙවුණි. වයස අවුරුදු 12දී ඔහු මාපියන්ගෙන් දින තුනකට අස්ථාන ගත විය. ඒ දින තුන උන්වහන්සේ ජෙරුසලමේ මහා දේව මන්දිරයේ පූජකයන් හා වාද විවාදවල එක්වී සිටියදී දෙගුරුන් විසින් පසුව සොයාගනු ලැබිණි. නැවත මාපියන් හා එක්වූ ජේසුතුමා තුරුණු වියේදී එවකට සමාජය පෙළූ අසාධාරණ පාලනය වෙනුවට අලුත් දහමක් දේශනා කිරීම පටන් ගත්තේය. විශාල පිරිසක් ඔහු වටා රොක්වූහ. ජෙරුසලම හා අවට නගරවල උන්වහන්සේ දෙපයින් බොහෝ දුරක් ගමන් කරමින් තම අදහස් පැවසූහ. මිනිසුන්ට ධර්මය ඉගැන්වූ අතර උපතින්ම අන්ධ වූ, බිහිරි වූ, ගොළු වූ අයව සුවපත් කළ බවත් බයිබලයේ සඳහන් වේ. ගණන් නැති තරම් ප්රාතිහාර්ය කළ උන්වහන්සේ මිනිසුන් අතර ප‍්‍රසිද්ධියටම පත්වූහ. මෙම ප්‍රසිද්ධිය ඉවසිය නොහැකි වූ එවකට සිටි පාලකයෝ යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා ඝාතනය කිරීමට අණ කළහ. ''නොදැන පව්කරන මේ මිනිසුන්ට සමාව දෙන්න'' යැයි පවසමින් අවසානයේදී කුරුසිය මතදී යේසුස් වහන්සේ මරණයට පත්වූයේ ඔහුට එසේ කළ මිනිසුන්ට පවා වෛර නොකරමිනි.
යේසුස් වහන්සේගේ ආදරය ගැන අග රදගුරු පදවි ජනසන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියනම මාධ්‍යයට මෙසේ සඳහන් කර තිබේ.
''ක්‍රිස්තුස් වහන්සේ අපට ආදරය කරන්නේ උන් වහන්සේගේ ජීවිතය දානය කරමින්. ඒ අනුව ආදරය කියන්නෙ පරිත්‍යාගයයි. පරිත්‍යාගයෙන් තොර ආදරයක් දැකගැනීමට බැහැ. අප මුළු මිනිස් සංහතියටම ආදරය කළ යුතුයි. එසේ ආදරය කළ යුත්තේ කැපවීමෙන් සහ පරිත්‍යාගයෙන්. නත්තල අපට ආරාධනා කරනවා මේ ලෝකයේ ප්‍රශ්නවලින් තැළිලා පොඩිවෙලා අසාධාරණයට ලක්වෙලා නොයෙක් ආකාරයේ දුක් වේදනාවලට පත්වෙලා ඉන්න හැමෝටම ආදරය කිරීමට. සමාජයේ අපරාධකාරයන්, පව්කාරයන් ආදී වශයෙන් හංවඩු ගැසී සිටින හැම කෙනාටම අසීමිතව ආදරය දැක්වීමට. ඒ ආදරය හැමවිටම දැක්විය යුත්තේ පරිත්‍යාගය තුළිනුයි.''
අද පරිත්‍යාග කිරීමට පවා අපහසු වී ඇත්තේ එදා වේල සොයා ගනිමින් තම ජීවිතය රැක ගැනීමට කටයුතු කිරීමට සිදුව ඇති නිසාය. පාසල් දරුවන්ගේ අධ්‍යාපනයද අවුල් වී ඇත්තේ විභාග සියල්ල කල් දමන්නට සිදුව ඇති පසුබිමකය. අප රටේ ජනතාවට ජීවන බර දරන්නට බැරි වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉතා අධික ලෙස ඉහළ ගොසිනි. මෙවැනි අභියෝග රාශියක් තම කරමතට කඩාවැටුණු සමයක අපි නත්තල සමරමු.
ඒ අතර ඉවක් බවක් නැති වර්ෂාව, කඳු නායයෑම්, ගංවතුර වැනි ස්වභාවික විපත්ද බහුල වී තිබේ. එය ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීමකි. ඒ අතර පරමාධිපත්‍ය බලය අතට ගෙන ජනතාව විසින් පත්කළ රාජ්‍ය නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාව ගොනාට අන්දවමින් නත්තලත් විකුණාගෙන කෑමට දත කති. නත්තලේ අරුත කුළුගැන්වීමට නම් එය නත්තල් දිනට හෝ සතියේ දින කීපයකට පමණක් උත්සව පවත්වා පලක් නැත. ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ දෙසූ දහමට අනුව, දස පනතට අනුව ජීවිතය හැඩගස්වාගෙන පවත්වාගෙන යාමට කවුරුත් ඉටාගත යුතුය.
මේ අවස්ථාවේ අපට සිහිපත් වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලනී ගයන ගීයක කොටසකි.
''පැල්පතේ හඬද්දි සාදුකින් ළමෝ
මන්දිරේක සාදයක්ය මිහිරි නන්තලේ
ඒ නොවේය ස්වාමීනි ඔබ දෙසූ දහම්
ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා...''
I කුසුම්සිරි විජයවර්ධන