ඉන්දියානු රූපවාහිනී නාළිකාවක රියැලිටි ගීත තරගයකින් ප්‍රථම ස්ථානය මුල්වරට ශ්‍රී ලංකාවට දිනා දීමට යාපනයේ උපන් දක්ෂ දියණියක් සමත් වූයේ ඉකුත් සතියේය. ඉතා ජනප්‍රිය දෙමළ රියැලිටි වැඩසටහනක් වන එය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ 14 හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක වන කිල්මිෂා යාෂිසායි උදයසීලන් ය. මෙහි ජයග්‍රාහකයා ප්‍රේක්ෂක ඡන්ද මත තීරණය කරන ලද අතර අනෙකුත් අවසන් තරගකරුවන්ට වඩා කිල්මිෂා ඉහළම ඡන්ද දිනා ගත්තාය.
ඉන්දියාවේ සී ටැමිල් නාළිකාවේ රියැලිටිය වූ මෙම සරිගමපා, දෙමළ ලිට්ල් චැම්ප්ස් ජයග්‍රාහකයා ලෙස කිල්මිෂා තේරී පත්වූයේ තවත් ශ්‍රී ලාංකික තරගකාරියක වන අෂානි ද ඇතුළු තවත් අවසන් තරගකරුවන් 45 දෙනකු සමඟ අති විශිෂ්ට තියුණු තරගයකට මුහුණ දෙමිනි.
Zee Tamil ‘Sa Re Ga Ma Pa’ Little Champs යනු දෙමළ රූපවාහිනී කර්මාන්තයේ ඉතා ජනප්‍රිය ගායන රියැලිටි වැඩසටහනක් වන අතර තරගකරුවන්ට ඡන්දය ප්‍රකාශ කරන්නට එයටම කැපවූ විශාල රසික පිරිසක් සහිත ජනප්‍රිය වැඩසටහනකි.
ශ්‍රී ලංකාවට සුවිශේෂී කීර්තියක් ගෙන ආ මේ දැරිය කිල්මිෂා උදයසීලන් යාපනයේ අරියාලේ පදිංචි ගායනය සහ වාදනය දෙකටම සහජ දස්කම් දැක්වූ දැරියකි. යාපනය සුන්ඩිකුලී පාසලේ ඉගෙනුම ලබන ඇය වයස අවුරුදු 3 සිටම තමන් ඇසූදුටු ගීත මුමුණමින් අනුකරණය කරමින් ගායනයේ දස්කම් දැක්වූ තැනැත්තියකි. කෝවිලේ පැවැති උත්සවයකදී සිය මුල්ම ගායනය ඉදිරිපත් කළ ඇය තවමත් සංගීතය හදාරන්නියකි.
කිල්මිෂාගේ කටහඬ ඉතා මිහිරිය. අසන්නන් ආකර්ෂණය කරන්නකි. ඇය ගායනා කරන විට, ඒ සුන්දර ස්වර කාගේත් නෙතට කඳුළක් ගෙන එන්නේ නොදැනුවත්වමය. කුඩා කල ඇගේ ගීත ඇසූ සියල්ලන්ම ඇයට පැවසුවේ ඇගේ මිහිරි ගායන කටහඬ භාවනාවක් බඳු බවය.
ඒ ප්‍රශංසා නිසාම තමන්ට උපතින්ම ලැබුණු මේ හැකියාව නිවෙසේ කොණකට සීමා කිරීමට මේ පුංචි දැරියගේ සිත ඉඩ දුන්නේ නැත. මුල සිටම පාසල තුළින්ද ලද සංගීත පසුබිම ඇයට තෝතැන්නක් විය. පාසලේ පැවැති සෑම ප්‍රසංගයකටම ඇය සහභාගි වී තිබුණි.
‘ඔබේ හැකියාව අද්විතීයයි. ඔබට තව බොහෝ දුර යා හැක...’ යනුවෙන් ඒ හැම විටෙකම ඇගේ මිහිරි හඬට සවන් දුන් පාසල් ගුරුවරුන්, හිතවතුන් පමණක් නොව ලංකාවේ දමිළ කලාකරුවන් ද ඇයට නිතර ආශිර්වාද කර තිබුණි. මේ පිළිගැනීම මගින් උද්‍යෝගිමත් වූ ඇය තම පියාගේ මව සහ ඔහුගේ බාල සොහොයුරාගේ උපකාරයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ දෙමළ සංගීත තරග සඳහා ද ඉල්ලුම් කළාය. අන්තිමේ පුංචි පුංචි සංගීත තරගවලට සහභාගී වෙමින් ජනකාන්ත බවක් දිනාගත් කිල්මිෂා ඉන්දියාවේ තමිල්නාඩුවේ පැවැත්වෙන ජාත්‍යන්තර සංගීත තරග මාලාවකට සහභාගී වීමට තරම් වාසනාවන්ත විය.
එදා මේ ජාත්‍යන්තර තරගයේ දී ඇගේ විස්මිත හැකියාව දුටු තරගය විනිශ්චය කිරීමට පැමිණ සිටි බොහෝ කලාකරුවෝ තම අසුන්වලින් නැඟිට කිල්මිට ඉතා උද්‍යෝගයෙන් අත්පොළසන් දුන්හ. ඇය වෙනුවෙන් හද පිරි ආදරය චමත්කාරය වගුරවන්නට බොහෝ ප්‍රවීණයන් නොපැකිලව ඉදිරිපත් වූහ.
‘ඔව් දෙයියනේ මෙන්න සරිගමපා ලිට්ල් චැම්ප්ස් වෙනුවෙන් සින්දු කියන්න ලංකාවේ යාපනේ ඉඳන් ඇවිදගෙන එන හැඩකාර පුංචි කෙල්ලෙක්. ඇත්තටම අපිට මේ දුව ගැන ආඩම්බරයි...’
කිල්මිෂා ජූරි සභාව හමුවේ ඇගේ විස්තර පවසන විට, ජූරියේ අසුන්ගෙන සිටි කොලිවුඩ් සිනමාවේ ප්‍රවීණ පසුබිම් ගායක ශ්‍රීනිවාස් දොරේස්වාමි ඇයව උණුසුම් ලෙස පිළිගත්තේ අත්පුඩි ගසමිනි. ඇය ලස්සන දෙමළ ගීතයක් මියුරු හඬින් ගායනා කරද්දී හැට තුන් හැවිරිදි සිරිනිවාස් අසුන මතින් එහා මෙහා පැද්දෙමින් ඇගේ ගීතයට සුසර වූවේ භාවනා කරන්නාක් මෙනි.
‘ඔබ නියමයි කිල්මිෂා. කියන්න වචන නෑ. ඔබ ඔබේ මව් රටට ආඩම්බරයක්...’
ගීතය අවසානයේ සිරිනිවාස්, කිල්මිෂාට පැවසුවේ දෑසේ කඳුළු පිස දමමිනි. සිරිනිවාස්, කිල්මිෂාට කළ ඇගැයීම ඇසූ රියැලිටි තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකාගාරයේ සිටි සියල්ලන්ම අසුන්වලින් නැගිට ඇයට විනාඩි කිහිපයක් අත්පොළසන් දුන්නේ ශාලාව දෙදරුම් කන තරමටය.
කිල්මිෂාව ඒ තරම් අගය කළේ ප්‍රවීණ පසුබිම් ගායක ශ්‍රිනිවාස් දොරේස්වාමි පමණක් නොවේ. ජූරියේ අසුන්ගෙන සිටින තවත් සුපිරි තරු මට්ටමෙ පසුබිම් ගායකයකු වූ හතළිස් හත් හැවිරිදි විජය ප්‍රකාශ්, සහ මලයාලම්, කන්නඩ, තෙළිඟු සහ දෙමළ චිත්‍රපට නිළියක වන හතළිස් දෙහැවිරිදි නිළි අභිරාමිගේ මහත් ගෞරවයට පැසැසුමටද කිල්මිෂා පාත්‍ර වූවාය.
‘කිල්මිෂා, ඔබේ කටහඬ පුදුම සහගතයි. ඔබ සිටින්නේ සුපිරි ගායකයෙක් වීමේ සිහිනයක නම් කිසිදා ඒ සිහිනයෙන් අවදි නොවන්න. ඒ හීනය එක්කම ජීවත් වෙන්න. කවදා හරි දවසක ඔයා ඒ හීනය හැබෑ කර ගනීවි...’
‘වාව් වාව්...’ කියමින් කිල්මිෂාගේ ගීතය රසවිඳි අභිරාමි ඒ ආකාරයේ විවරණයක් කිල්මිෂාට දුන්නාය. අභිරාමි අසලින් වාඩි වී සිටි විජය ප්‍රකාශ් මෙසේ කීවේය.
“වචන නාස්ති කරන්නේ ඇයි? මටත් කියන්න තියෙන්නේ අභිරාමි මැඩම් කියපු දේට සමාන වචන ටිකක්...” ඔහු දකුණු අත ඔසවා ඇයට ආචාර කළේය.
මේ සියලු පැසසුම් සහ ඇගයීම් හමුවේ මේ දහහතර හැවිරිදි නව යොවුන් ආධුනික ගායිකාව, මිහිරි කටහඬක් ඇති පුංචි තරුව, මුලින්ම සිනහ පෑවාය. ඉන්පසු ඇය සතුට නිසා හැඬුවාය. ඉන් පසු ඇය තම දෙමාපියන් වෙත ගොස් ඔවුන් වැළඳ ගත්තාය.
චෙන්නායි හි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ප්‍රේක්ෂකයන් විනෝදාස්වාදයට පත් කරමින් මේ අවසන් මහා තරගයේදී හොඳම අවසන් තරගකරුවන් හය දෙනා එක්ව රඟ දැක්වූහ. ඒ අතර කිල්මිෂාගේ ආකර්ෂණීය ගායන-රංගනය මෙලෙස සමස්ත ජූරියේ මෙන්ම ප්‍රේක්ෂක ජනතාවගේද සිත් සොරා ගන්නට සමත්ව තිබුණි.
රික්ෂිතා ජවාර් Rikshitha Jawahar, කිල්මිෂා Kilmisha, සංජානා Sanjana, රුත්‍රෙෂ් කුමාර් Ruthresh Kumar, කණිෂ්කර් Kanishkar සහ නිෂාන්ත් කාවින් Nishanth Kavin යන සුපිරි දක්ෂයන් 6 දෙනා අවසන් වටයේ SRGMP 2023 හි ජයග්‍රාහකයන්ගේ කුසලානය සඳහා තරග කළහ. අවසන් තරගකරුවන් හය දෙනා ඔවුන්ගේ ආකර්ෂණීය රංගනයෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් එක සේ ඇද බැඳගත් අතර වේදිකාව උණුසුම් කළහ. අවසානයේ කිල්මිෂා අනෙකුත් හොඳම අවසන් තරගකරුවන් පස්දෙනා පරාජය කරමින් ජනකාන්ත යෝධ රියැලිටි කුසලානය දිනාගත්තාය.
මේ සමඟ ඇයට ත්‍යාග මුදල් ලෙස ඉන්දීය රුපියල් ලක්ෂ 10ක් ද හිමි විය. කිල්මිෂා යාෂිසායිගේ ජයග්‍රහණය ඉන්දීය රියැලිටි රූපවාහිනී වැඩසටහනක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට ඉතිහාස ගතවනු ඇත. ඒ රටේ නිල X ගිණුමෙහි (කලින් ට්විටර් ලෙස හැඳින්වේ) ද 14 හැවිරිදි කිල්මිෂාගේ ජයග්‍රහණයට සුබ පතා තිබුණි.
මීට පෙර ඉන්දියානු ශ්‍රාවකයන් සංගිතයෙන් වසඟ කළ ශ්‍රී ලංකාවේ යොහානි එදා පෙන්වූ දස්කමටත් වඩා කැපීපෙනෙන සේ ආකර්ෂණීය බවක් දිනාගන්නට මෙදා කිල්මිෂා සමත්ව සිටියාය. එදා යොහානිට වඩා ෆේස්බුක් පිටුවල මෙදා කිල්මිෂා වෙනුවෙන් සුබ පැතුම් වැසි-වැස තිබුණි.
ශ්‍රි ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ දක්ෂ දැරියගේ කීර්තිමත් ජය වෙනුවෙන් ඇය දිරිමත් කරමින් සුබපතා තිබුණි. කිල්මීෂා උදයසීලන් දැරියගේ සුවිශේෂී දක්‍ෂතා අගය කිරීමට සහ ඇය ජාතියට ලබාදුන් ගෞරවය ඇගයීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා පෞද්ගලිකවම ඇය වෙත දුරකථනයෙන් සම්බන්ධ වී තිබුණි.
ඇයගේ ජයග්‍රහණ ඇගයීමට අමතරව, ඇයගේ අඛණ්ඩ අධ්‍යාපන කටයුතු සඳහා තම ආශිර්වාදය පළ කළ ජනාධිපතිවරයා, සංගීත ක්ෂේත්‍රයේ ඇයගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය ප්‍රසාදය පළ කළේය.
ශ්‍රිනිවාස්, අභිරාමි, විජේ ප්‍රකාශ් සහ සයින්දවි ප්‍රකාශ් මේ ගායන සංදර්ශනය විනිශ්චය කළ අතර අර්චනා චන්දොකේ Sa Re Ga Ma Pa 2023 Tamil Little Champs සත්කාරකත්වය දැරීය.
I සුගත් පී. කුලතුංග ආරච්චි