2017 ජුනි 10 වන සෙනසුරාදා

කවුද ඒ “මෑන්?”

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 195

මහා බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම සති දෙකක දීර්ඝ නිවාඩුවකින් පසුව පසුගිය සඳුදා නැවත රැස්විය. එදින පළමුවෙන්ම මෙම ගැටලුකාරී ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබුවේ ආර්ථික විශ්ලේෂකයකු මෙන්ම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.

එහිදී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට විරුද්ධව කොටස් වෙළෙඳපොළ තුළ විශාල චෝදනා එල්ල වී ඇති බවය. ඒ බව තමන් සාමාජිකත්වය දැරෑ කෝප් කමිටුවේ වාර්තාවේද සඳහන් කළ බව හෙතෙම කියා සිටියේය.

එසේම ද්විතීයක වෙළඳ පොළේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් මෙන්ම වර්තමාන අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන්ද ඉල්ලා සිටියත් තවමත් ඒ තොරතුරු ලබාදී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එම වාර්තාව නොමැතිව වෝහාරික විගණනයන් සිදුකිරීමට නොහැකි වී ඇති බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.

කෝප් කමිටුව මගින් මෙම බැඳුම්කර වංචාව හරහා සිදුවූ දෙය අවාසියක් නොව අලාභයක් බවත් එම අලාභය උපකල්පනය මත සිදුකර ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය. මෙම ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රාථමික ගැනුම්කරුවෙක් තමාට විස්තර කියූ බවත් ඒ ගැන අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් විමසූ විට ඔහු ලබාදුන් පිළිතුර මතකයක් නොමැති වුවත් මිනිස්සු විවිධ කතා කියනවායැයි අර්ජුන් එක් අවස්ථාවක කියූ බවට මතකයක් ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එදින හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රශ්න කිරීම් නිමාවිය.

නැවත පසුගිය අඟහරුවාදා කොමිසම රැස්විය. එදින කැඳවා තිබුණේ මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික නීතිඥ මනෝහරි රාමනාදන්ය.

ඇය සඳහන් කරන ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් වැඩ කටයුතු කර ඇත්තේ අධිපති ස්වරයෙනි. එසේම මූල්‍ය මණ්ඩලය තුළ සංවාදශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරෑපයක් තිබුණේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ වත්මන් අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ කාලයේ බව අපට මෙහිදී පිළිගත්තහ. එසේම මෙම සිදුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් මූල්‍ය මණ්ඩලය පරීක්ෂණයක් සිදුනොකළ බවත් එයට හේතුවුනේ ගාමිණී පිටිපන කමිටුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම බවත් ඇය මෙහිදී පැවසුවාය.

එසේම ඍජු ස්ථානගත ක්‍රමවේදය නතර කිරීම පිළිබඳව මූල්‍ය මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුනොකළ බවත් එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015 මාර්තු 06 පැවති මූල්‍ය මණ්ඩල රැස්වීමේදී ඍජු ස්ථානගත ක්‍රමය නතර කර දැමූ බවට දැනුම් දුන් බවත් ඇය සඳහන් කළාය. එම තීරණය මූල්‍ය මණ්ඩලයේ තීරණය නොවන බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

රාමනාදන් මහත්මියගේ සාක්ෂි විමසීමෙන් පසුව එදින නැවත කැඳවනු ලැබුවේ ලංකාවේ අවදානම් කළමනාකරු ජේ.කේ. ධර්මපාල මහතාය.

එහිදී ඔහු සඳහන් කළේ පර්පර්චුවල් ට්‍රෙෂරිස් සමාගම ලංකා බැංකුව හරහා ලංසු ඉදිරිපත් කළ ප්‍රාථමික ගැනුම්කරුවකු බව කියාය. ඒ සඳහා ආවරණ අනුමැතිය ලැබුණ බවද හෙතෙම සඳහන් කළේය. එසේම පර්පචුවල් සමාගම ලංකා බැංකුව සමඟ නිතර ගනුදෙනු කරන සමාගමක් බවත් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිගැනුම් ගිවිසුම් රුපියල් බිලියන 106ක් විතර ලබාගෙන ඇති බවත් ඔහු පැවසීය.

එහෙත් 2015 වසරේ සිදුවූ මෙම සිදුවීමත් සමඟ ලංකා බැංකුව සහ එම සගාම අතර සිදුකළ ගනුදෙනු නතර කළ බවද ඔහු පැවසීය. එය නතර කළේ ඉහළින් ලැබුණු උපදෙස් මත බවත් ඔහු පෙන්වා දුන්නේය.

එදින සාක්ෂි විභාගය නිමවූ අතර නැවත සාක්ෂි කැඳවීම ඊට පසුදිනට කල්තැබීය. ඊට පසුදිනද කැඳවූයේ ලංකා බැංකුවේ අවදානම් කළමනාකාර ජේ.කේ. ධර්මපාල මහතාය.

කෙසේ වෙතත් එදින විශේෂ සිද්ධියක් කොමිසම තුළ සිදුවිණි. එනම් පර්පර්චුවල් ට්‍රෙෂරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන කසුන් පළිහේන නමැත්තා රහසිගතව කොමිසම ඇතුළට පැමිණ තිබීම ගැන මෙහිදී ගැටලුවකට භාජනය විය. දිවා ආහාරයෙන් පසුව කොමිසම කැඳවීමේදී එහි සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි චන්ද්‍රසිරි මහතා සභාව අමතමින් පවසා සිටියේ ට්‍රෙෂරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා කසුන් පළිහේන නැමැත්තා කොමිසමට පැමිණ ධර්මපාල මහතාගේ සාක්ෂිය අසා සිටීම ගැන සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා දැනුම් නොදීම බරපතළ වරදක් නිසාය.

එහෙත් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා සිටියේ තමන්ට අවශ්‍ය හරස් ප්‍රශ්න ඇසීම සඳහා උපදෙස් ගැනීමට ඔහු රැගෙන ආ බවත් ඒ රුගෙන ඒමෙන් කොමිසමට අපහසුතාවයක් වූවා නම් සමාවෙන ලෙසත්ය. ඉන් අනතුරුව කොමිසමේ සභාපතිවරයාගේ නියෝග පරිදි කසුන් පළිහේන නැමැත්තා කොමිෂන් ශාලාවෙන් පිටකරනු ලැබීය.

කෙසේ හෝ මෙහිදී ධර්මපාල මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී විශාල තොරතුරු රැසක් හෙළිවිය. එනම් ඔහු සිදුකළ දුරකතන සංවාද කිහිපයක් ඔහු එහිදී අසන්නට සලස්වන්නට ලැබීය.

එහිදී ට්‍රෙෂරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිහේන මහතා සමඟ සිදුකළ සංවාදයක් අසන්නට ලැබීය. එහිදී කසුන් විසින් (මෑන් කතා කළා) යැයි කියනු ලැබේ. එවිට විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විමසන්නේ ඒ මෑන් කවුද යන්නය. එහෙත් ඒ පිළිබඳව නොදන්නා බව ධර්මපාල මහතා පැවසීය. පසුව ට්‍රෙෂරි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතාගෙන් (මෑන්) කවුදැයි විමසනු ලැබීය. එවිට ඔහු සඳහන් කළේ මෑන් ලෙස ඇමතුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ටෙරිල් ප්‍රනාන්දු මහතා බවය.

එවිට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පවසන්නේ ඔය (මෑන්) කියන (පොර) කවුද යන්න දන්නා බව කියාය. එයට පිළිතුරු සපයමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පවසන්නේ (මේකේ පිස්සු පොරකුත් ඉන්නවා) යන්න කියාය.

ධර්මපාල මහතා සඳහන් කරන ආකාරය ට්‍රෙෂරි සමාගම වෙනුවෙන් ලංකා බැංකුව රුපියල් බිලියන 03ක බැඳුම්කර අයැදුම් කළ බවය. මේ නිසා ලංකා බැංකුවට රුපියල් 234,000ක ලාබයක් ලැබුණු බවත් ඔහු කීය. ට්‍රෙෂරි සමාගම වෙනුවෙන් මුදල් ලංකා බැංකුව ලබාදී ඇති අතර සවස එම මුදල් බේරා බැඳුම්කර ට්‍රෙෂරි සමාගමට ලබාගෙන ඇති බවද මෙහිදී හෙළිවිය.

එසේම ලංසු ආරම්භයට පෙර කසුන් නැමැත්තා ධර්මපාල මහතාට ඇමතුම් ලබාදී ලංසුව ආරම්භ කළාද යන්න විමසා ඇත. පසුව ට්‍රෙෂරි සමාගම මගින් ලංසු මිල වශයෙන් රුපියල් 12.00, 12.50, 13.00 යනුවෙන් ගණන් ඉදිරිපත් කළ බවත් එම ගණන් දැක තමන් මවිතයට පත්වූ බව ඔහු සඳහන් කළේය. එම ගණන්වලට මහබැංකුව එකඟ වෙන්නේ නැතිවෙතැයි සිතුවත් මහබැංකුව රුපියල් 13ක මිලදී ගැනීමට අවසර දුන් බව ඔහු මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් ප්‍රශ්න කිහිපයක් ඇසුවත් ඔහු ඒවාට උත්තර නොදී නිශ්ශබ්දව සිටි අවස්ථාද තිබුණේය.
එදින සාක්ෂි කැඳවීම කල්තැබූ අතර නැවත බ්‍රහස්පතින්දා කැඳවනු ලැබුවේය. එදිනද ධර්මපාල මහතා කැඳවනු ලැබ සිටියේය.

කෙසේ වෙතත් එදින ඔහු හෙළිකළේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලංසු ඉදිරිපත් කරන්න කියා ඉල්ලමින් විද්‍යුත් තැපෑලට පණිවිඩය එවා ඇත්තේ උදේ 10.48ට බවය. එහෙත් ලංසුව උදේ 10.55ට එනම්, විනාඩි හතක් ඇතුළත ඉදිරිපත් කිරීම ගැන විනිසුරුවරයා විමසීය. එවිට ධර්මපාල මහතා පවසන්නේ විද්‍යුත් තැපෑල පණිවිඩයට පෙර කසුන් පලිහේන දුරකතනය ඔස්සේ මේ පිළිබඳ දැනුම් දුන් බවය.

කෙසේ වෙතත් මේ වෙන්දේසියේ ප්‍රතිඵල සවස 2.00 වන විට දැනගන්න ලැබුණු බවත් එය දැනගැනීමෙන් පසුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ස්ටෙෆ්නි මහත්මිය සමඟ සිදුකළ දුරකතන සංවාදයේදී (11 වැනි කුප්පියත් එවන්න) යැයි තමා කියූ බවත් ඔහු මෙහිදී පිළිගත්තේය. එලෙස කීවේ ඇතිව තිබූ අපහසුතාවය නිසා බවත් ඔහු සඳහන් කළේය. මෙම සංවාදයේදී ස්ටෙෆ්නි මහත්මිය පවසා සිටියේ (මෑන් බිලියන 10ක් ගන්න කිව්වා) යනුවෙනි. මෑන් කවුරුන්දැයි ධර්මපාල මහතාගෙන් විමසූ විට ඔහු පැවසූයේ අර්ජුන මහේන්ද්‍රන් මහතාව එලෙස හැඳින්වූ බවය.

කෙසේ වෙතත් මහ බැංකුවේ මෙම වෙන්දේසිය සම්බන්ධයෙන් වේලාසනින් ට්‍රෙෂරි සමාගම දැනුම්වත්ව සිටි බවට තමාට සැකයක් ඇතැයිද ධර්මපාල මහතා පිළිගත්තේය. එපමණක් නොව මෙය ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවූ ගනුදෙනුවක් බව හෙතෙම සාක්ෂි දෙමින් කීය.

ඒ අනුව එදින සාක්ෂි කැඳවීම නිමාවිය.

මේ වන විට පුද්ගලයන් බොහොමයකගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදු වී ඇති අතර දැනට මේ ගනුදෙනුවේ ඇති සැක සහිත තැන් ගණනාවක්ද හෙළි වී ඇත. මේ නිසා ඉතිහාසගත මේ ගනුදෙනුව ගැන ඇත්ත වැඩි කල් යන්නට මත්තෙන් නියත වශයෙන්ම හෙළිවනු ඇත.

ගයාන් ගාල්ලගේ