මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම ආවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙතිනි. ඉකුත් සෙනසුරාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් අනතුරුව එහි GMOA ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත් අලුත්ගේ කියා සිටියේ ඉදිරි මාසවලදී රෝහල්, සායන සහ වෛද්‍ය ඒකක 400කට ආසන්න ප්‍රමාණයක් වසා දැමීමේ අවදානමක් පවතින බවකි. වාර්ෂික සෞඛ්‍ය බුලටිනය - 2020ට අනුව දැනට ක්‍රියාත්මක රජයේ රෝහල් සංඛ්‍යාව 646 කි. ඉන් 400ක් වැසී යාම යනු බරපතළ සමාජීය ගැටලුවකි. මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය තවදුරටත් තීව්‍ර කරමින් තවත් වෛද්‍යවරුන් 5000කට අධික සංඛ්‍යාවක් ඉක්මනින්ම රට හැර යාමට නියමිත බව ඔහු පෙන්වා දෙයි.
දැනටමත් වසා දමා ඇති රෝහල් බොහොමයක් උතුරු පළාතේ දිස්ත්‍රික්කවල සහ පුත්තලම සහ නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල දක්නට ලැබේ. බොහෝ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත වීමට අවශ්‍ය සියලු අවශ්‍යතා මේ වන විට සම්පූර්ණ කර ඇති බවත් එම වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර ගියහොත් තත්ත්වය තවත් උග්‍රවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
♦ වැසී ගොස් ඇති රෝහල් සාංඛ්‍යාව 20
♦ ඉදිරියේදී වැසී යාමට නියමිත රෝහල්/ විශේෂඥ වෛද්‍ය ඒකක සංඛ්‍යාව 95
♦ සේවා අඩපණ වී ඇති රෝහල්/ විශේෂඥ වෛද්‍ය ඒකක සංඛ්‍යාව 150 ♦ ඉදිරියේදී සේවා අඩපණ වීමට නියමිත රෝහල්/ විශේෂඥ වෛද්‍ය ඒකක සංඛ්‍යාව 16
දැන් නව බදු ක්‍රමයට අනුව “ස්වාධීන සේවා සපයන්නන්” ලෙස තෝරාගත් සෞඛ්‍ය සේවා සපයන වෛද්‍යවරුන් ඇතුළු තෝරාගත් වෘත්තිකයන්ට 5% ක රඳවා ගැනීමේ බද්දක් ගෙවිය යුතු බවට රජය ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස වෛද්‍ය වෘත්තිකයෝ ඉල්ලා සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගත් එකඟතාවයෙන් පසුව ඇතිවූ මෙම නව බදු රෙගුලාසිය, තීරණාත්මක ආර්ථික අර්බුදයක් මධ්‍යයේ පැනවීම අසාධාරණ බව පවසමින් බොහෝ පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්විය. එම ප්‍රශ්නවලට අමතරව ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය, හදිසි ඖෂධ මිලදී ගැනීම් (රජයට අනුව එය නවතා දමා ඇත.) සහ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට රජය දරන ප්‍රයත්නය වැනි කාරණාද වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කලකිරීමට හේතු වී තිබේ.