උදේ හවස පිච්චි පිච්චි දිවිගෙවන ජනතාවගේ හදවත ඇවිළෙන කතාවක් පසුගියදා ඇසුණේ රට හදන තැනින්ය. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ තත්ත්වයෙන් බාල බවට රසායනාගාර වාර්තා දෙකකින් අසමත් වූ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් හොර පාරෙන් මෙරටට ගෙන්වා ඇති බවයි. මහජනතාවගේ පරිභෝජනය සඳහා ලැබෙන ප්‍රමිතියෙන් තොර තෙල් සම්බන්ධයෙන් අප පුවත්පත පසුගිය කාලයේ දිගින් දිගටම අනාවරණ රුසක් කළේය. එහෙත් අහන්නට දකින්නට ලැබෙන දේ අනුව මේ සෙල්ලම නැවතී ඇති බවක් පෙනෙන්නට නැත. යළිත් කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රුගත් නෞකාවක් පැමිණ ඇති අතර එම ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වයෙන් නොමැති බවට රසායනාගාර වාර්තා 2 කින් තහවුරු කර ඇත. එසේ තිබියදී එම ඉන්ධන කොළොන්නාවේ සිට පාරිභෝගිකයන් වෙත යොමු කිරීමට සූදානමක් ඇති බව විපක්ෂ නායකවරයා මැතිසබේදී අනාවරණය කළේය.
මෙරට මුල්ම පෙට්‍රල් කාර් රථය වන්නේ 1904දී ගෙන්වූ ඕල්ඩස් මොබිල් වර්ගයේ කාර් රථයකි. අශ්වබල පහක ඇන්ජින් ධාරිතාවකින් සපිරි මෙම කාර් රථය ගෙන්වා ඇත්තේ ජී. සිග්නපා නමැති සුදු ජාතිකයකු බව මෙරට ඉතිහාසය සාක්ෂි දරයි. අපේ රටට මුලින්ම පෙට්‍රල් ගෙන්වා ඇත්තේද මේ වාහනය වෙනුවෙනි. ලංකාවට මුලින්ම පෙට්‍රල් ගෙන්වූ පුද්ගලයා ලෙස මෙම සුදු ජාතිකයා ඉතිහාස ගතවී සිටී. ඒ ඉන්ධන ගෙන්වා ඇත්තේද ඕල්ඩස් මොබිල් ආයතනයෙන්මය.
රටට තෙල් දෙන්නට ආනයනික සමාගම්වලට බැරි වූ නිසා මුදල් ඇමැති ඇන්.ඇම්. පෙරේරා සහ වෙළෙඳ ඇමැති ටී.බී. ඉලංගරත්න එක්වී තෙල් සමාගම් ජනසතු කිරීමට කළ ඉල්ලීම එවක අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනුමත කළාය. සිරිමා රජය 1961 අංක 28 දරන විධිවිධාන යටතේ තෙල් සමාගම් සියල්ලටම වන්දි ගෙවමින් රජයට පවරා ගත්තේය. එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරම්භයයි.
ෂෙල්, කැල්ටෙක්ස්, එසෝ මොබිල් හා ස්ටෑඩඩ් ඔයිල් ඇතුළු බහුජාතික සමාගම් 13ක් ලංකාවට තෙල් ආනයනය කිරීම මෙන්ම ඒවා රට තුළ බෙදාහැරීමේද ඒකාධිකාරය අත්පත් කරගෙන සිටියහ. විදෙස් සමාගම් රජයට පවරා ගනිද්දී දැඩි විනිවිද භාවයකින් යුතු ඉන්ධන බාරගැනීමේ ක්‍රියාවලියක් සැකසිණි. එහිදී යම් රටකින් තෙල් නැවක් ගෙන්වීමේදී, තෙල් නැව ගොඩබෑමේදී මෙන්ම අවස්ථා කිහිපයක නියැදි පරීක්ෂණ මගින් තත්ත්ව පරීක්ෂණ සිදුකරයි.
සිංගප්පූරුවේ සිට කොළඹ වරාය වෙත ඉන්ධන මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රුගෙන ආ Fos Power නමැති නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත පිරිවිතරවලට නොමැති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින් තහවුරු වී තිබිණ. මෙම නෞකාව සිංගප්පූරුවේ සිට ඔක්තෝබර් 30 පිටත් වී ඇති අතර කොළඹ වරායට සේන්දු වී ඇත්තේ නොවැම්බර් 05 දායි. ගොඩබෑ ඩීසල් තොගය සහ පෙට්‍රල් තොගය ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් මගින් පරීක්ෂාවට ලක්කර ඇත. එසේම රසායනාගාර පරීක්ෂණවලින් ලබාගත් නියැදි පරීක්ෂණ වාර්තා දෙකකින් පෙට්‍රල් තොගය සමත් වුවද ඩීසල් තොගයේ සාම්පල අසමත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් ජාතික සේවක සංගමය, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා මෙසේ පැවසුවේය.
''ඉන්දීය ලංකා ඔයිල් සමාගම ඩීසල් මෙට්‍රික් ටොන් 31,000ක් සහ 92 පෙට්‍රල් 6500ක් නැවක් ආවාම පැහැදිලි ක්‍රමවේදයක් තියෙනවා. මෙම තොගයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 11,000ක් සහ 92 පෙට්‍රල් 6500 යන්නේ කොලොන්නාවට. ඉතිරි 20,000 යන්නේ චීනවරායට. කොලොන්නාවේත් සපුගස්කන්දේත් ඉන්ධන පරීක්ෂණාගාර 2ක් තියෙනවා. මේ තෙල් පටවන්නේ සිංගප්පූරුවෙන්. එහෙන් මේ තෙල් නැවට පටවන්න කලින් පරීක්ෂණ වාර්තාවක් ගන්නවා. ඉන්දීය ලංකා තෙල් සමාගමේ අනුමැතියෙන් පසු නැවට පටවලා නැවත පරීක්ෂණයක් කරනවා. නැවට පිටත්වීමට අවසරය ලැබෙන්නේ ඒ පරීක්ෂණය සමත් නම් පමණයි. කොලොන්නාවේ සහ සපුගස්කන්දේ ඉන්ධන පරීක්ෂණාගාර දෙකක් තියෙනවා. ඒකෙනුත් කොළොන්නාවේ තියෙන්නේ 2009 ගෙනාපු නවීනතම පරීක්ෂණ කට්ටලයක්. ලංකා ඉන්දීය තෙල් සමාගමට ත්‍රිමලේ චීනවරායේ වෙනම පරික්ෂණාගාරයක් තියෙනවා. මුලදී මෙරට ගොඩබාන සියලු තෙල් පරීක්ෂා කළේ කොළඹදී. තෙල් නැවක් මෙරටට පැමිණි පසු තත්ත්වය පරීක්ෂාවක් කරනවා. ඉන්පසු නියැදි පරීක්ෂණයකුත් කරනවා. තෙල් ඇණවුම්කාර සමාගම සහ තෙල් නිකුත් කළ සමාගම යන සමාගම් දෙකම නියෝජනය කරමින් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මේ සඳහා සහභාගි වෙනවා. රසායනාගාර නිලධාරීනුත් සහභාගි වෙනවා. මේ 5 වැනිදා ආපු නැවේ තෙල් නියැදි පරීක්ෂණයේදී අසමත් වෙනවා. එයට මූලිකම කොන්දේසිය වී ඇත්තේ තෙල්වල පිරිසුදු බව නොමැතිවීම. මේ අසමත් වීමත් සමඟ රසායනාගාරයේ දෙවැනි නිලධාරියාත් මේ ස්ථානයට ගොස් තිබෙනවා.
මේ නැවේ තෙල් ගොඩබාලා කොළොන්නාවේ ටැංකි දෙකකට දමා තියෙනවා. මේ වෙලාවේ එක ටැංකියක ඩීසල් මෙට්‍රික් ටොන් 6000 කුත් තව ටැංකියක මෙට්‍රික් ටොන් 6500 කුත් තිබී තියෙනවා. ඒකට මේ 11,000න් අරන් තියෙන්නේ ටොන් 8500යි. අපිට දිගින් දිගටම මේ ක්‍රියාවලිය ගැන තොරතුරු වාර්තා වුණා. මේ අක්‍රමිකතාව ගැන ආයතන බලධාරීන්ට අපි දැනුම් දුන්නා. 2011 ජූනි මාසයේත් මේ වගේම තෙල් නැවක් ආවා. එහෙම ඇවිත් කොළොන්නාවේ හොඳ තෙල් තියෙන ටැංකිවලටම බානවා. ඒ දවස්වල පාරේ තැන තැන වාහන නැවතුණා. ඒ කාලයේ අපේ දැඩි විරෝධය මත නැව හරවා යැව්වා. සිංගප්පූරුවට ගිහින් පරීක්ෂා කරල බලද්දී එතැන අනාවරණය වුණා මේ තෙල් වාහනවලට නුසුදුසුයි කියලා. දැනටත් සමාගම් තුනෙන් වෙන වෙනම තෙල් ගෙනාවාට ගෙනත් මෙහෙ දාන්නෙ එකම ටැංකිවලට. ඉතින් කොච්චර හොඳ තෙල් ගෙනාවත් මෙහෙ කලවම් වෙනවා. සිංගප්පූරුවේ පිරිපහදු නෑ. සිංගප්පූරුව කියන්නෙ අතරමැදි තෙල් අලෙවි මධ්‍යස්ථානයක් විතරයි. ලෝකෙ ලොකුම තෙල් නිෂ්පාදන රට ඉන්දියාව. ඒක අසල්වැසි රට විදිහට තියාගෙන සිංගප්පූරුවෙන් වැඩි ගාණට තෙල් ගන්නවා. ඉන්දියාවේ රිලයන්ස් එකෙන් තමයි ඇමෙරිකාවත් තෙල් ගන්නෙ. ලෝකයේ හොඳම තෙල්. ඒත් අපි ගන්නෙ නෑ. මේ වනතුරු ඇමැතිවත් කිසිම බලධාරියෙක්වත් කියා නෑ අපිරිසුදු ඉන්ධන නැව හරවා යැව්වා කියලා. රසායනාගාර වාර්තා දෙකකින් අසමත් වෙලත් තවම එහෙම තීරණයක් නෑ. මේ තෙල් වෙළෙඳපොළට ආවාම මේකට මුහුණදෙන්න වෙන්නෙ ජනතාවටමයි. මේ තෙල් නැව සම්බන්ධයෙන් බලධාරීන් ජනතාවට නිවැරුදි ප්‍රකාශයක් කරන්න ඕනෑ.''
මේ සම්බන්ධයෙන් කොළොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ පෙට්‍රල් 92 තොගය නිසි ප්‍රමිතියට තිබෙන හෙයින් එම තොගය ගොඩබාන බවයි. එසේම ඩීසල් තොගය නිසි ප්‍රමිතියට පවතිනවාදැයි පරික්ෂණ සිදුකරන බවත් එම පරීක්ෂණවලින් පසු එම තොගය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙන බවත් එම නිවේදනයේ සඳහන් වෙයි. එසේම කිසිදු අවස්ථාවක පිරිවිතරයන්ට නොගැලපෙන හෝ නොසැසඳෙන ඉන්ධන ගොඩබෑමක් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවේදනය කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනුයේ ප්‍රමිතියෙන් බාල ඩීසල් තොග වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. මේ ආකාරයට ජනජීවිතවලට දැඩි තර්ජනයක් වන බාල ඉන්ධන සම්බන්ධයෙන් එල්ලවන බරපතළ චෝදනාවට අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශයක් නිකුත් කළේද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කිරීමෙන් පසුව වීමත් දෙවරක් සිතිය යුතු කරුණක් වන්නේය.
පසුගිය කාලයේදීත් නිසි ප්‍රමිතියට නොමැති ඉන්ධන හේතුවෙන් වාහන පාරේ තැන තැන නැවතිණි. බොහෝ වාහනවල එන්ජින් මුළුමනින්ම විනාශ විය. අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් නිසි ප්‍රමිතියට නොමැති ඉන්ධන බෙදාහැර ජනතාව බිල්ලට නොදිය යුතුය.
I සසංක චලන ගිම්හාන