2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

’’කරන්ට්’’ අල්ලන්නත් සේවකයන් නැතිවන හැඩයි!

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 81

මේ රට සෞඛ්‍ය සේවාව රඳවාගෙන සිටින තවත් බල කණුවක් ඇදවැටීමට නියමිතය. ඒ විකිරණ විද්‍යා තාක්ෂණ අංශයයි. පරිපූරක වෛද්‍ය සේවාවට අයත් බල කණු 5න්, 1ක් වන මේ තාක්ෂණ අංශය රෝගීන්ගේ ජීවිතයත් මරණයත් තීන්දු කිරීමට සමත් බරපතළ සේවා දායකත්වයක් සපයන්නකි. නමුත් දැන් ඒ අංශයේ බරපතළ කඩා වැටීමක් සිදුවීමට නියමිත බවත් ඉදිරි මාස කිහිපය තුළ මේ සේවාවේ පුහුණු පළපුරුදු තාක්ෂණවේදීන් රුසක් රට හැර යාමට නියමිත බවත් “දේශය”ට වාර්තා විය.

මේ අසුබ ආරංචිය අපට කීවේ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රමය. මේ ඇදවැටීම පිළිබඳව ආසන්නතම නිදසුන වන්නේ ජාතික රෝහලේ PET ස්කෑන් යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය ඇණහිටීමය. ඔහුට අනුව ඉදිරියේදී මේ තත්ත්වය දිවයින පුරා රෝහල් සඳහා පොදු තත්ත්වයක් බවට පත්විය හැකිය.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් යනු එක්ස් කිරණ යන්ත්‍ර, පෙටි කැට් සහ එම්.ආර්.අයි වැනි ස්කෑන් යන්ත්‍ර ක්‍රියාකාරීත්වයට දායක වන ශෛල්‍ය විකිරණ කටයුතු, වකුගඩු ගල් කුඩු කිරීම, කැතීටර, අස්ථි ස්කෑන්, මෙන්ම විශේෂයෙන්ම පිළිකා විකිරණ ප්‍රතිකාර හෙවත් ‘කරන්ට් ඇල්ලීම’ ගැන වගකීම භාර පුහුණුවලත් තාක්ෂණවේදීන් පිරිසය. මේ පිරිසගේ දායකත්වය නොමැතිවීම නිසා රෝගීන්ගේ රෝග විනිශ්චය කටයුතු සහ ප්‍රතිකාර යන අංග දෙකම අක්‍රිය මට්ටමකට ඇද වැටෙනු ඇත. මේ සඳහා යොදාගන්නා පිරිස රජයේ ඩිප්ලෝමා හෝ විධිමත් උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලැබූ මාස 6ක පරිවාස පුහුණුව සැපිරූ කණ්ඩායමකි. මේ අය සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය තුළ සුළු පිරිසක් ලෙස පෙනී ගියද ඔවුන්ගේ දායකත්වය අතිශය ඉහළ වැදගත්කමකින් යුතුය. ඔවුන් වත්මන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍යම වූ කණ්ඩායමකි.

මේ කියන විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන ආකාරයට අවශ්‍ය පමණ පුහුණු නිලධාරීන් සේවයට බඳවාගෙන නොසිටීම නොබෝ දිනකින්ම ඒ අංශයේ බරපතළ කඩා වැටීමක් සිදුවීමට ප්‍රධාන හේතුවක් වනු ඇත.  සෞඛ්‍ය සේවාවන් අතර අනුමත සේවක සංඛ්‍යාව අනුව සලකා බැලුවහොත් වැඩිම නිලධාරී හිඟයක් පවතින්නේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සඳහා බව ඔහු පෙන්වා දෙයි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 38ත් 40ත් අතර අගයක් බව ඔහු කියයි. 2016 අනුමත සේවක ගණනට අනුව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 1100කට ආසන්න පිරිසකගේ අවශ්‍යතාව පවතින නමුදු මේ වනවිට විවිධ හේතු නිසා සක්‍රිය සේවයේ සිටින්නේ 600-700කට ආසන්න පිරිසක් බව ඔහු පෙන්වා දෙයි. ඉතිරි පිරිසද කඩිනමින් අඩුවී යාමේ ප්‍රවණතාවක් මතුව ඇති බව ඔහු පෙන්වා දෙයි. අනෙක් අතට දැන් අලුතෙන් භාවිතයට ලැබෙන යන්ත්‍ර උපකරණ අනුව සේවක මණ්ඩලය අඩු තරමේ 2500ක්වත් අවශ්‍ය ඔහු කියයි.

2023 මැයි මස 01 වන විට පැවැති කාර්ය මණ්ඩල දත්ත එකතුවට අනුව රෝහල් 54ක සිටිය යුතු අනුමත විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සංඛ්‍යාව 1057ක් වුවද ඒ වනවිට වාර්තා වී ඇත්තේ 717ක් පමණි. ඒ අනුව 340කට ආසන්න පිරිසකගේ හිඟයක් මතුව තිබේ. මේ අනුව ජාතික රෝහලේ අනුමත විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගණන 104ක් වුවද දැන් ඇත්තේ 75 කි. මහරගම අපේක්ෂා රෝහලේ 79ක් සිටිය යුතු වුවද සිටින්නේ 35 කි. මේ අන්දමට රට පුරා රෝහල් ආශ්‍රිත පුහුණු සේවක මණ්ඩල හිඟය ඉහළ යමින් පවතී.

සභාපතිවරයාට අනුව මේ පුහුණු සේවක මණ්ඩල හිඟයට හේතුව වී ඇත්තේ නිසි කලට සේවකයන් බඳවා නොගැනීමය. කලින් ඩිප්ලෝමා පුහුණුව ලද පිරිස අතරට දැන් විශ්වවිද්‍යාල 2ක උපාධිධාරීහු එක්වෙමින් සිටිති. ඒ පේරාදෙණිය සරසවියෙන් සහ කොතලාවල සරසවියෙනි. මේ වසරේ සිට කොළඹ සරසවියද උපාධිධාරීන් එකතු කරයි. මේ අන්දමට වසරකට උපාධි ලබන සහ ඩිප්ලෝමා දරන 150-200ක් පමණ රුකියා පෝලිමට එක්වුවද ඒ හා සමගාමීව බඳවා ගැනීම් සිදු නොවේ. සැමවිටම වසර 1ත් 2ත් අතර කාල පමාවකට පසු මේ බඳවාගැනීම් සිදුවන බව සභාපතිවරයා කියයි. මේ හේතුවෙන් නිතර සේවක හිඟයක් පවතින අතරම සිටින සේවකයන් හට අමතර සේවා මුරවල යෙදීමටද සිදුව තිබේ. ඒ අතරම සේවා ඇගයීම් සහ උසස්වීම් පමාවද මේ සියලු කාරණා මැද එල්ලවන විනය චෝදනා සහ දෝෂාරෝපණ ආදියද නිසා හටගෙන ඇති ආතතිය සේවා හැර යාම සඳහා පුහුණු සේවකයන්ට බල කර තිබේ.

දූෂණ වංචා හෙළිදරව් කළ සහ ඒවාට විරෝධය දැක්වූ අයට මේ වන විට විනය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුව ඇත. කාර්ය මණ්ඩලයට අයත් 13 දෙනකුට මෙලෙස අභූත විනය චෝදනාවලට ලක්වන්නට සිදුව තිබේ. පොළොන්නරුව රෝහලට කෝටි ගණනක් ගෙවා ඒක පාර්ශ්වික තීන්දු මත ස්කෑන් යන්ත්‍රයක් ගෙන්වීමට එරෙහිව කරුණු දැක්වීම සහ පසුව ඒ යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම නිසා හටගත් තත්ත්වය මේ සුදු අලියා ගෙන්වීමට එරෙහි වූ සේවකයන් මතම පැටවීම එක් නිදසුනකි. ජාතික රෝහලේ පෙට් යන්ත්‍රයේ පුහුණු නිලධාරීන් 3න් 1 අයකු විශ්‍රාම ගිය අතර තවත් අයෙක් විදෙස්ගත විය. ඉතිරි නිලධාරියාටද අයුතු විනය චෝදනාවකට මුහුණදීමට සිදුවීම නිසා ඔහු ද සිටින්නේ කලකිරීමකින් යුතුවය. 

මේ අන්දමට නිලධාරීන් අධෛර්යමත් කරන සහ වෙහෙසට පත් කරන ප්‍රතිපත්තියක් තුළ බොහෝ දෙනා දැන් පිටරට අවස්ථා සොයා යාමට පෙළැඹී තිබේ. බොහෝ විට පහසුවෙන්ම ලියාපදිංචිය ලද හැකි සහ ලක්ෂ 15ක පමණ සරු වැටුපක් ලබා දෙන මෙන්ම පොදු සේවයේදී දැඩි බෙදීමක් දක්නට නැති මෙරට මෙන් නොව සමානාත්මතාවයෙන් සැලකිලි ලබා දෙන එංගලන්තය වැනි රටවල් බලා යාමට දැන් පුහුණුව ලද විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් පෙළඹි ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි. 

මේ වනවිට මසකට 4-5 දෙනකු පමණ ඉවත්ව යන අතර ඉදිරියේදී මේ තත්ත්වය දැඩි ලෙස ඉහළ යාමට නියමිත බව ඔහු කියයි. මේ හා සමඟම සේවාවේ දැඩි වෙහෙසකර දිගු සේවා මුර නිසා අපහසුවට පත්වූ පිරිසද සේවය හැර යමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. මේ තත්ත්වය සමනය සඳහා සිය සංගමය ලෙස ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ඔහු පෙන්වා දෙයි. ඒ අතර උපාධි ලබා පිටවෙන ඒ ඒ කාලසීමාවට අනුව බඳවා ගැනීම ගැසට් කිරීමට කටයුතු කිරීමත්, රජයේ ප්‍රතිපත්ති සැකසීමේ සේවා හිදැස පුරවන තුරු දැනට සිටින නිලධාරීන් හට සෞඛ්‍ය අංශයේ ඇතැම් වෘත්තිකයන්ට මෙන් වයස අවුරුදු 63 වනතුරු සේවයට අවස්ථාව සැලසීමට කටයුතු කරන ලෙසත් යන ඉල්ලීම් වෙයි.

I සුගත් පී. කුලතුංග ආරච්චි