ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ විවිධ න්යායාචාර්යවරුන් විසින් විවිධ පුරෝකථන ඉදිරිපත් කෙරෙයි. ආණ්ඩුව පවසන්නේ ලබන වසර වනවිට රටේ ආර්ථිකය සංවර්ධන මාවතකට ප්‍රවිෂ්ට කරන වගය. ඒ අතර ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ අද රට ගමන් කරන දිසානතිය අනුව සලකා බලන විට බලධරයන් කියන ආර්ථික ප්‍රසාරණය ලබන වසරේ තබා තව වසර ගණනාවකට හෝ ලබාගත නොහැකි මිරිඟුවක් බවය. එයට හේතුව ඒ පිළිබඳ කිසිදු සැලසුමක් නැති වීමය.
මේ අතර ඉකුත් වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මේ වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය සියයට 3.1කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් අනාවරණය කරයි. මේ වසරේ දෙවැනි කාර්තුවේදී කෘෂිකර්ම අංශය සියයට 3.6ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති නමුත් කර්මාන්ත, ආර්ථික කටයුතු සහ සේවා ආර්ථික කටයුතුවලින් සියයට 11.5ක සහ 0.8ක හැකිලීමක් සිදුව ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත අනුව පැහැදිලි වෙයි.
කර්මාන්ත ආර්ථික කටයුතුවලට අයත්වන රබර් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය 26.5ක ප්‍රතිශතයකින් සහ කඩදාසි සහ ඒ ආශ්රිත නිෂ්පාදන අංශ 25කින් හැකිලී ඇති බව එහි දැක්වේ. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඉහළ පොලී අනුපාතික, කෙටි හා දිගුකාලීන ආයෝජන මත ඇතිකරන ලද පීඩනය දෙවන කාර්තුවේදී දක්නට ලැබුණු අතර ජනතාවගේ ආදායම අඩුවීම නිසා එදිනෙදා භාවිත කරන භාණ්ඩ වෙත වැඩි නැඹුරුවක් දක්නට ලැබුණ බවද එම වාර්තාව කියයි.
ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. දැනට රටේ ඇත්තේ අක්‍රිය ආර්ථිකයකි. 2018දී අපේ දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 95ක් වුවද 2022 එය බිලියන 77 දක්වා පහළට වැටී තිබේ. 2022 වසරේදී රටේ ආර්ථික සංකෝචනය සියයට 7.8 වන නිසා 2023 වසරේදීද ආර්ථිකය තවදුරටත් පහළ යනු ඇත යන්න බොහෝ දෙනාගේ මතය වෙයි.
රටේ ජනතාවගේ දුප්පත්කම වසරින් වසර ඉහළ යන අතර, 2019දී දිළිඳු අය ජනගහණයෙන් සියයට 14ක් වූ අතර, 2022 වනවිට ජනගහණයෙන් සියයට 25ක් දිළිඳුන් වී තිබේ. මේ වනවිට රටේ දේශීය හා විදේශීය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 80කි. රාජ්‍ය ආයතන ජනතාවට සුදු අලියකු වී ඇති අතර ක්‍රියාත්මක රාජ්‍ය ආයතන 55ක 2006 සිට 2015 දක්වා පාඩුව රුපියල් බිලියන 636ක් වේ. එය ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර 2007 සිට 2021ට පාඩුව බිලියන 1500කි. 2022 පළමු මාස 4 දී පාඩුව රුපියල් 860ක් ලෙස ගණන් බලා තිබේ. මේ තත්ත්වය මත රටේ ආර්ථිකය සංකෝචනය වීම අරුමයක් නොවේ.
රටේ දළ දේශීය නිෂ්පාදනය වසරින් වසර පහළ යන අතර, 1990දී ජාතික ආදායමින් සියයට 19 වූ එය 2022 දී සියයට 7.3 දක්වා පහළ බැස ඇති බව වාර්තා වෙයි. අපේක්ෂා කරන රාජ්‍ය ආදායම ලබා ගැනීමට කිසිදු දිනක හැකියාවක් ලැබී නැති අතර, 2023 වසරේ අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3456ක් වූ නමුත් ණය සේවාකරණ ගෙවීම් බිලියන 7879ක් වේ. මේ ගෙවීම් සඳහා දළ වශයෙන් බිලියන 4979ක් ණයට ගත යුතුයි. මෙහිදී පෙනී යන්නේ ඉපයීමට අපේක්ෂිත ආදායමට වඩා බිලියන 1523ක් ණය විය යුතු බවය. ඉලක්කගත ආදායමද සියයට 75 හෝ ලබාගත නොහැකි වන නිසා මෙම තත්ත්වය වඩාත් උග්‍රවෙන බවට ආර්ථික විද්‍යාඥයෝ මත පළකරති. බදු ගෙවන අයටම යළි යළිත් බදු පටවන අතර නොගෙවන අයට දිගටම එසේ සිටීමට අවස්ථාව ලබාදී තිබේ. අලුතෙන් බදු පනවන බවට අයවැයේදී ප්‍රකාශ කළද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකෙරේ.
මෙම තත්ත්වය හමුවේ ආර්ථිකයේ හැකිලීම දිගින් දිගටම වර්ධනය වන නමුත් බලධරයන් ඒ පිළිබඳ වැටහීමක් නැතිවා සේ සිටින අතර ප්‍රතිකර්ම යෝජනා කරන්නෙක්ද නැත. මේ නිසා දැනට පවතින සියයට 3.1ක් වූ ආර්ථිකයේ හැකිලීම තවදුරටත් වැඩිදියුණු වනවා හැර අඩුවන බවක් පෙනෙන්නට නැති අතර බලධරයන් ආර්ථිකය ප්‍රසාරණය කරන බව පැවසීම හුදු සුරංගනා කතාබවට පත්ව ඇති සැටියකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසන්නේ ආණ්ඩුව බලාපොරොත්තු වන ආර්ථික ප්‍රසාරණය ළඟාකර ගැනීම සැබැවින්ම දුෂ්කර කාර්යයක් වන බවය. 2048 වසරේදී ලංකාව සංවර්ධිත ඉලක්කය කරා යොමු කිරීමට හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවද එසේ සංවර්ධිත රටක් වීමට නම් ලෝක බැංකු නිර්ණායක අනුව රටේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 12,000ට වැඩි විය යුතුය. එහෙත් 2022 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව රටේ ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3475කි. එය ඩොලර් 12,000 දක්වා ඉහළ නැංවීම බොඳ වූ සිහිනයක් බවට පත්වනු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
&අපේ රටේ පසුගිය කාර්තු 6 හෙවත් වසර 1 ½ තිස්සේම පැවතුනේ ඍණ ආර්ථිකයක්. 2020 වසරේ කාර්තු 4ම සම්පූර්ණයෙන් ඍණ වෙලා තිබුණා. 2027 වසරේ 1,2 හා 4 කාර්තු පිළිවෙළින් ධන අගයක් පෙන්වුවද 3 කාර්තුවේ ආර්ථිකය ඍණ 3.2ට පහළ බැස තිබුණා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2022 වසරේ කාර්තු හතරේම ආර්ථිකය ඍණ වුණා. පළමු කාර්තුව -.5, 2 කාර්තුව -7.4, 3 වන කාර්තුව -11.5 හා 4 කාර්තුව -12.4 වශයෙන්. මෙහිදී පෙනෙන දෙයක් තමයි ආර්ථිකය සංකෝචනය වීම ඍණ .5 සිට 4 කාර්තුවේදී ඍණ 12.4 දක්වා ඉහළ ගිය බව. 2023 වසරේ මුල් කාර්තු දෙක හෙවත් වර්ෂයේ මුල් අඩ පිළිවෙළින් ඍණ 11.5 හා ඍණ 3.1 වශයෙන් පහළ බැස තිබෙනවා. මෙලෙස කාර්තු 6ක් එකදිගටම ආර්ථිකය සංකෝචනය වූ රටක් ඔය කියන හැටියට තව අවුරුදු 25 තුළදී අධි සංවර්ධිත රටක් කිරීමට හැකිනම් එය ආශ්චර්යයක්.
ආසියානු කලාපයේ ලෝකයේ සෙසු රටවල් 2020, 21 හා 22 වසරවල ධන ආර්ථිකයකට හිමිකම් පෑවා. ඒ අතරින් ඍණ වුණේ අපේ රට විතරයි.
2022 වසරේ එම රටවල ආර්ථිකය තත්ත්වය මෙසේයි.
රට ආර්ථිකය සියයට
ඉන්දියාව +7
නේපාලය +5.61
බංගලිදේශය +7.09
පකිස්තානය +6.19
චීනය +2.99
අපේ රටේ 2022 වසරේ සමස්ත ආර්ථික වර්ධනය ඍණ සියයට 7.82ක් වෙලා තිබෙනවා. මෙතැනදී හොඳහැටි පෙනෙනවා අපේ රටට අත්ව ඇති ඉරණම. එහෙම තියෙද්දී තමා රට මෙච්චර දියුණුයි අච්චර දියුණුයි කියලා පුරසාරම් දොඩන්නේ. අපේ රට තමා ආසියානු කලාපයේ ඍණ ආර්ථිකයක් පෙන්වූ එකම රට. ඉදිරියේදීත් අපට තවදුරටත් පහළ බසින ආර්ථිකයක් තමා උරුම වන්නේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත පරිදි 2023 වසරේදී කෘෂිකර්මය ධන සියයට 3.6ක වර්ධනයක් පෙන්නුම් කරන අතර කාර්මික කටයුතු ඍණ සියයට 11.5ක් ද සේවා අංශය ඍණ .8ක්ද වෙනවා. කෘෂිකර්ම අංශය තුළ ධාන්‍ය වගාව හා වී වගාව පිළිවෙළින් සියයට 49.4 හා 19.8 වශයෙන් ප්‍රසාරණය වීමක් පෙන්නුම් කරනවා. එසේම තේ සහ එළවළු වගාවල්ද සියයට 7.1 හා 6.9 වශයෙන් ධන අගයන් පෙන්නුම් කරනවා. එහෙත් මිරිදිය ධීවර කටයුතු සියයට 14ක ඍණ අගයක්ද, දැව ආශ්රිත නිෂ්පාදන ඍණ 11.6ක් හා පොල් සහ තෙල් සහිත පළතුරු ඍණ 8.4ක අගයක්ද වාර්තා වෙනවා.
එසේම කර්මාන්ත අංශය හා සේවා අංශයද මුළුමනින්ම බිඳ වැටී ඇති බව සංඛ්‍යා දත්ත අනුව පැහැදිලියි. අමුද්‍රව්‍ය සහ උපකරණ හිඟය නිසා ඉදිකිරීම් කර්මාන්තය සියයට 23.1 හා පතල් හා කැණීම් කර්මාන්ත 24.3ක හා කඩදාසි කර්මාන්තය සියයට 25කින්ද හැකිලී තිබෙනවා. අනිත් අංගද එලෙසමයි. එසේම මූල්‍ය සේවා සියයට 18.6කින්, වෘත්තීය සේවා 9.3කින් තොරතුරු තාක්ෂණ විෂය 8.5කින්ද සංකෝචනය වී තිබෙනවා. එහෙත් සංචාරක කර්මාන්තය වර්ධනය වීම නිසා සේවා අංශයේ නවාතැන් හා ආහාර සැපයීම් ධන 34.2ක වර්ධනයක් පෙන්නුම් කරනවා. මගී ප්‍රවාහනය හා තැපැල් සේවා අංශ පිළිවෙළින් 5.4 හා 3.2 වශයෙන් සුළු වර්ධනයක් ඇතිව තිබෙනවා. එහෙත් බහුල වශයෙන් පෙන්වන්නේ ආර්ථිකය බිඳ වැටුණු ස්වභාවයක් 2022 පැවැති මෙම අයහපත් තත්ත්වය 2023 වනවිටද නරක අතට හැරෙමින් පවතිනවා. එම තත්ත්වයට රටේ අභ්‍යන්තර හේතු මෙන්ම බාහිර ලෝකයේ සාධකද බලපාන බව කිවයුතුයි.
ආර්ථිකය දිගටම හැකිලීමට අපේ රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය බොහෝදුරට හේතු වී තිබෙනවා. 2023 වර්ෂය ආරම්භ වනවිට රටේ විනිමය අනුපාතිකය දුර්වල මට්ටමක පැවතුණා. අද වුවද කැපී පෙනෙන වෙනසක් දක්නට නැහැ. විනිමය අනුපාතිකය දිගටම උච්ඡාවචනය වෙමින් තමා පවතින්නේ. මේ නිසා දැඩි ආර්ථික අවිනිශ්චිතතාවක් උද්ගතව ඇත. මේ තත්ත්වය රටේ ආයෝජනවලට බලපානවා. ආනයන හා අපනයනවලදී අපට පාඩු සිදුවෙනවා. රටේ අධි උද්ධමනයක් තමා පවතින්නේ. දුරකථන විදුලිය ආදිය ඉහළ උද්ධමන තලයකයි පවතින්නේ. අද සිදුවන්නේ මිල ගණන් අඩුවීම නොවෙයි. මිල ගණන් ඉහළ යාම අඩු වේගයකින් සිදුවීමක්. විශාල ලෙස ඉහළ ගිය මිල ගණන් යළි වැඩිවීම සිදුවන්නේ සෙමෙන්. ඒ නිසයි පසුගිය කාලයට සංසන්දනය කරලා උද්ධමනය අඩුවෙලාය කියලා කියන්නේ. එහෙත් භාණ්ඩ හා සේවා මිල අඩුවෙලා ජනතාවට සහන ලැබිලා නැහැ.
අපේ රටේ ඉහළ පොලී අනුපාතිකයක් පවතිනවා. මෙම තත්ත්වය ව්‍යාපාරික පරිසරයට අයහපත් ලෙස බලපානවා. ණය අරගෙන ව්‍යාපාර කරලා ලාබ ලැබීමට අමාරුයි. ඒ නිසා පාරිභෝජන ණය තමා ලබාගන්නා පෙළෆඹන්නේ. අන්තිමට ඒවා ගෙවන්න බැරිවෙනවා. රුපියලේ අගය ස්ථාවරව නොතිබීමද ව්‍යාපාරවලට අහිතකරයි. රජය ආර්ථිකය ස්ථායිකරණය කළාය කියලා කියනවා. එහෙත් ආර්ථික වර්ධනයට අවශ්‍ය පසුබිම සකසන්නේ නැහැ. එය එකතැන පල්වෙන ස්වරෑපයක් තමා තිබෙන්නේ. ආර්ථික ස්ථායිකරණය වගේම ආර්ථික වර්ධනයක් තිබිය යුතු වෙනවා. දෙකම එකටයි යා යුත්තේ. ස්ථායිතාවයද සෙමින් තමා සිදුවන්නේ.
දැනට ඇතැම් කාර්තුවල ආර්ථිකය ඍණවීම අඩුවෙලා තියෙන බව පෙනෙනවා. එය සිදුවන්නේ රජයේ ප්‍රතිපත්ති අනුව නොව ස්වභාවිකවයි. රජය හුවා දක්වන්න යන්නේ එය ඔවුන්ගේ ප්රතිපත්තිවල සාර්ථකභාවය නිසා සිදුවන දෙයක් ලෙසටයි. ඒ කතාව නිවැරදි නැහැ. ජනාධිපති කියන පරිදි අවුරුදු 25කදී ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය නම් ඒ සඳහා දැන් සිටම ප්‍රතිකර්ම යෙදිය යුතුයි. එසේ නොකර ඉටු කිරීමට දුෂ්කර අනාවැකි පැවසීමෙන් වැඩක් නැහැ. ජනතාව මුලා කිරීම පමණයි සිදුවන්නේ.
I යසවර්ධන රුද්‍රිගු