''අංකල් මොකද තට්ටේ ගාලා.''
''මැච් එකට ඔට්ටුවක් ඇල්ලුවා. මම පරාද වුණා.''
''ඇත්තද?''
''ඒක නම් මට දුක නෑ... දුක මගේ තට්ටේ ගාන්න මුන් අවුට් වෙනවට වඩා වෙලාවක් ගියා... ඒකයි ලැජ්ජාව...''
මේ මුහුණු පොතේ පළවුණු වීඩියෝවක්. ඇත්ත තට්ටේ ගාන්න වෙලා යන්න ඇති අපේ ලංකාවේ ක්‍රිකට් ටීම් එක අවුට් වෙන්න ගිය වෙලාවට වඩා. අපි බලමු ඒ අඳුරු දවසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර.
''අපි තවම පෑලියගොඩ. ග්‍රවුන්ඩ් එක ඇතුළට එනකන්වත් ඉඳපල්ලා අල්ලගෙන.''
''ග්‍රවුන්ඩ් එකට එද්දී විකට් තුනයි. ඇතුළට ඇවිල්ල වාඩිවෙන්න තැනක් හොයද්දී විකට් හයයි. වාඩිවෙද්දී ඕල් අවුට්.''
''අපේ ටීම් එකේ උන් එනවා යනවා විතරයි දැක්කේ. සෙල්ලම් කරනවා දැක්කෙම නෑ.''
''මැච් එක බලන්න කියලා පෙඟෙන්න දාපු කඩල ටික ලිපේ තියන්න ගියා. යකෝ මෙන්න එනකොට ඉන්දියාව ගහනවා.''
''ටිකට් එක 40000යි. එක ලකුණකට 800 ගාණේ අපි ගෙවලා යකෝ.''
පහුගිය ඉරිදා පැවති 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට බොහෝ දෙනාගේ කතාවට, විවේචනයට සහ වේදනාවට පාත්‍ර වූ තරගයක් බවට පත්ව ඇත. විශේෂයෙන් එම තරගය ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයා අන්ද මන්ද කළා පමණක් නොව ක්‍රිකට් තිත්ත කළ තරගයක් බව අවිවාදයෙන් කිවයුතුය.
හැමදාම පම්පෝරි ගහන ජාතියක් වන අප එදා ඉඳන්ම කියමින් ඉන්නේ දියුණු අතීතයක් අපට තිබූ බවය. ඒත් වර්තමානය ගන්න දෙයක් නැත. ක්‍රිකට් ක්‍රීඩාව ගැනද අපට කියන්නට ඇත්තේ ඒ දේමය. ලස්සන ක්‍රිකට් ක්‍රීඩා අතීතයක් ඇති අපට අද ක්‍රිකට් ගැන නම් මතක් කරන්නවත් අකමැති තැනට ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කෙරුවාව ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ඇද වැටිණි.
අපි දක්ෂ ක්‍රිකට් විචාරකයෝ නොවෙමු. එහෙත් අපි ආදරණීය ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ වෙමු. ඒ නිසා අපට අවසන් මහා තරගය මතක් වෙන මොහොතක් පාසා ඇඬෙන්න තරම් දුකක් ඇතිවෙන එකත්, ක්‍රීඩකයන්ගේ පරම්පරාවම මතක් වෙන එකත් සාමාන්‍ය දෙයකි. එහෙත් අපි ඉන්දියානු ප්‍රේක්ෂකයන් සේ නොවෙමු. ග්‍රවුන්ඩ් එක තුළට යාමටත් පෙර මැච් එක ඉවර වුණු මොහොතක ''මොනවා කරන්නද ක්‍රිකට් ක්‍රීඩාව එහෙම තමයි'' යැයි කියමින් දොර ගාවින් හැරී ගෙදර යන්න තරම් ඉවසිලිවන්න ප්‍රේක්ෂකයෝ වෙමු. ඒ නිසා මේ අකුරු ටිකේ පළමු ගෞරවය සහ ආදරය එකී ඉවසිලිවන්ත ප්‍රේක්ෂකයන් හට අපි පුදකරමු.
පසුගිය ඉරිදා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හෙවත් කොළඹ මැද පිහිටි ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේය. කිසිවකුත් අපේක්ෂා නොකළ අවසන් මහා තරගයක් නැරඹීමට ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයෝ අවාසනාවන්ත වූහ.
මේ තරගාවලිය ආරම්භයේ පටන්ම දෙස් විදෙස් බොහෝ විචාරයකයන් වැඩිම බර තිබ්බේ ඉන්දියාව සහ පාකිස්ථානය මෙම අවසන් මහා තරගය නියෝජනය කරනු ඇතැයි කියාය. එහෙත් අපේ ක්‍රිකට් කණ්ඩායමේ අවසන් පූර්ව තරගයේදී කෙස් ගහෙන් පාකිස්ථානය පරදා අවසන් මහා තරගයට ඇතුල් වූයේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයාට මහා බලාපොරොත්තු ගොන්නක් ලබා දෙමිනි. එක් පැත්තකින් එය ඉන්දියාවට පවා යම් අභියෝගයක් විය. ඒ ඔවුන් පවා නොසිතූ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට පැමිණි නිසාය.
මේ අනපේක්ෂිත සිදුවීම නිසා ලහි ලහියේ අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් අවසන් මහා තරගය නැරඹීම සඳහා ටිකට් මිලදී ගත් අතර ඇතැම් පිරිස් කළු කඩ හරහාද විශාල ගණන් වලට ටිකට් මිලදී ගත් බව ප්‍රසිද්ධ රහසකි. ''ගාණ කීය වුණත් අපේ කොල්ලන්ට චියර් එකක් දාන්න යන්න ඕන'' යන්න එකී ටිකට් ගත් බොහෝ දෙනාගේ අදහස විය. එපමණක් නොව නිවෙස්වල සිට රෑපවාහිනිය හරහා නරඹන්නන්ද උදෑසන සිට සියලු වැඩ නිමාකොට තුන වනවිට රෑපවාහිනිය ඉදිරියට රොක් වූයේ හදවතින් ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආශීර්වාද කරමිනි. ගැහැනුද පිරිමිද කියා නැතිව සාදාත්මක ස්වරෑපයක් හැම නිවෙසකම එදින සූදානම් වී තිබුණේය. මත්පැන් රසමසවුළු සියල්ල අඩුවැඩිය මේසයක් මත තබා ගහන ගහන පාරට චියර්ස් කියන්නට බොහෝ දෙනා ඇස් දල්වා බලා සිටියෝය. එසේම හැමදාම මදුවිත තොලගාන රෙස්ටුරන්ට් එදින මහා තිර අමුණා අවසන් මහා තරගය නැරඹීමට වෙනම පැකේජ් හැදුවේය. මේ සියල්ල සූදානම් කළේ ජයග්‍රහණය මහා ඉහළින් සැමරීමටය. නැතහොත් ඉතා උද්වේගකර අවසන් මහ තරගයක ආශ්වාදය විඳීමටය.
තරගය ආරම්භක වේලාවට විනාඩි 45ක ප්‍රමාදයකින් ආරම්භ වූයේ ක්‍රීඩාංගණයට වැස්සෙන් බාධා එල්ලවීම නිසාය. ක්‍රීඩාංගණයේ සිටිය උන් මෙන්ම, ගෙදර හිටිය ඈයෝද අත් දෙක එකතු කර ''වහින්න එපා දෙයියනේ'' කියා කෝටි ගණනින් ඉල්ලීම් දෙවියන්ට යන්නට ඇත. අවසානයේ විනාඩි 45කින් තරගය ආරම්භ විය. කාසිය වාසිය උරගා බැලිණි. බොහෝ වෙලාවට කාසිය වාසිය අහිමි වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් චානකට එදින කුමක් හෝ හොඳකට හෝ කරුමයකට වාසිය තමන් පැත්තට වැටුණේය. ගත් කටට පන්දුවට පහර දෙන බව කීවේය. ගත් කටට කෙසේ වෙතත් දසුන් එය නිකම් කියූ දෙයක් නොවේ. ඔහු ක්‍රීඩාගාරයේ සිට පැමිණියේද පිරිසගේම එකඟත්වය මත කාසිය වාසිය ලැබුණොත් අපි ගහමු යැයි එකඟත්වයක් ඇතිව බව පෙනෙන්නට තිබිණි.
කාසියේ වාසියට අනුව පන්දුවට පහරදීම තෝරා ගැනීම බොහෝදෙනා ගැස්සී ගියා හා සමාන විය. පසුගිය කාලය පුරාම පසුපස එළවා පන්දුවට පහර දී ජයගත් කණ්ඩායම හදිසියේම මුලදීම ගහන්න පටන් ගැනීම ගොඩක්දෙනාට ගැටලුවක් විය. ඒත් ක්‍රිකට් සම්බන්ධයෙන් අවබෝධයක් ඇති බොහෝ දෙනාගේ මතය වූයේ කලින් පන්දුවට පහරදී යම් සැලකිය යුතු ප්‍රමාණයක ලකුණු රුස් කර ගැනීමෙන් රාත්‍රියේ වැසි වැටුණොත් එහි වාසිය ශ්‍රී ලංකා පිලට එනු ඇතැයි යන අදහසයි. එහි යම් සාධාරණයක් ඇත. තරගය ආරම්භයේද යම් වැසි සහිත කාලගුණයක් ඇති වූ නිසා රාත්‍රියේ අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දීමට සූදානම් වීම නුවණට හුරු ක්‍රියාවක් වනු ඇත. එසේම රාත්‍රියේ වර්ෂාව වැටුණහොත් ක්‍රීඩාංගණයේ තණ පිස්ස තෙත නිසා බෝලය ඇදී යාමේ වේගයද අඩුවන බව සාමාන්‍ය දැනීමට අනුව නිවැරදිය. ඒ නිසා ක්‍රීඩාවේ හැඩතල අනුව දසුන් ඒ ගත් තීරණය ඒ මොහොතේ නිවැරදි බව ඇතැමුන්ගේ මතය විය.
එහෙත් දසුන් ගත් තීරණය මොනතරම් කණ්ඩායම් කළමනාකාරීත්වයේ එකඟත්වය මත ගත්තාද යන්න සැකය එල්ල වන්නේ ක්‍රීඩකයන් පහර දීමට පැමිණීමෙන් පසුවය. කුසල් ජනිත්ගෙන් ආරම්භ වන පළමු විකට්ටුවෙන් ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විකට් පෙරහර අවසන් වන්නේ 16 වැනි ඕවරයටත් කලිනි. සියල්ලන් පැය එකහමාරක් යන්නටත් පෙර දැවී ගියේ ශ්‍රීලංකීය ප්‍රේක්ෂකයන් පමණක් නොව ලෝකවාසී ක්‍රීඩාලෝලීන් පවා අන්ද මන්ද කරමිනි. කුසල් ජනිත්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, දසුන් ශානක, මතීෂ පතිරණ මේ සියලු දෙනාම දැවී ගියේ බින්දුවට වීම විශේෂත්වයකි. මුල් පෙළ පිතිකරුවන් වු කුසල්, සධීර සහ චරිත් දැවී ගිය පසුව නායකත්ව ඉනිමක් ක්‍රීඩා කිරීම සිදුවිය යුතු මොහොතක දසුන් පවා තම බර අත්හැරීම ඇත්තටම කනගාටුව ගෙනෙන සිදුවීමක් විය. කුසල් ජනිත් වෙත වැටුණු පන්දුව ඉතාම අසීරු පන්දුවක් වුවත් අනෙක් සියලු දෙනාගේම දැවීයාම් වගකීමෙන් තොරව තම පහරවල් තෝරා ගැනීම බව බැලු බැල්මට පෙනෙන දෙයකි.
ක්‍රීඩකයන් පස් දෙනෙක් දැවී ගිය පසුව ක්‍රීඩාංගණයට පැමිණි දසුන්ගේ මුහුණ සිනහවෙන් පිරී තිබිණි. අඬන්නට නොහැකිව සිනාසීම හොඳ දෙයකි. එය පීඩනය මග හරවා ගැනීමට හොඳම බෙහෙතකි. ඒත් දසුන් කිසිදු තැකීමකින් තොරව ක්‍රීඩා කිරීම් නිසා සියලු බලාපොරොත්තු සුණු විසිණු වී ගියේ ''අද නම් 50ක්වත් ගහගත්තොත් ඇති'' යන අදහස ක්‍රීඩාලෝලීන්ගේ හිත්වල සටහන් කරමිනි.
කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක්ද, හේමන්ත ලකුණු 13ක්ද, වෙල්ලාලගේ ලකුණු 8ක්ද, වශයෙන් ලබා නොගත්තා නම් අද ශ්‍රී ලංකාව මීට පෙර පිහිට වූ ලකුණු 43කට සියල්ලන් දැවී යාමේ අඩුම ලකුණු වාර්තාව ඔවුන් විසින්ම බිඳහලනු ඇත. එහෙත් කුමක් හෝ වාසනාවකට එය නූලෙන් බේරි ගියේය.
අප මේ උඩින් පේන කාරණය ගැන කතා කළත් ක්‍රිකට් න්‍යායාත්මක කාරණා සමඟ සාකච්ඡා කිරීමේදී පළමු පන්දු ඕවර කිහිපය සාමාන්‍යයෙන් ඕනෑම එක්දින තරගයකදී ඉක්මන් පහරවල් සඳහා යොමු නොවන න්‍යායක් ඇත. ඊට හේතුව විචාරකයන් පවසන්නේ පළමු පන්දුවාර 10 තෙක් වාසිය පන්දුව දෝලනය කළ හැකි වේගපන්දු යවන්නන්ට තිබෙන නිසාය. ඒ නිසා ඉතා සෙමින් පළමු පන්දුවාර 10 මගහැරීම ඕනෑම කණ්ඩායමක මූලික අරමුණයි. විශේෂයෙන් එදා ප්‍රේමදාස ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අනාවැකි පළ කළ බොහෝ දෙනාද කීවේ මේ දෙයමය. එනම් ඉතාම කල්පනාවෙන් පළමු පන්දුවාර දහය වෙත මුහුණ දියයුතු බවත් ඉන් අනතුරුව පහරදීම ආරම්භ කළයුතු බවත්ය. ඒ බෝලය ඉපිලීමේ ප්‍රවණතාවය සහ දෝලනය වීම වැඩි නිසාය. මේ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම විස්තර විචාරකයකු වන රවී ශාස්ත්‍රීද පවසා තිබූ බව සඳහන්ය.
එහෙත් පළමු පන්දුවාර 11 යනතෙක් එය තඹ සතයකට මායිම් කළ බවත් කිසිවකුගෙන් පෙනෙන්නට තිබුණේ නැත. කුසල් මෙන්ඩිස් හැර අන් සියලුදෙනාම පන්දුවට පහරදීමේ කාල පරතරයත්, අවදානම්කාරී පහරදීම් තෝරාගැනීම නිසාත් පළමු පන්දු වාර දහය වනවිට හයදෙනකු දැවී ගොස් තිබිණි. සැබැවින්ම එම පහර දීම් හමුවේ අපට දැනුණු දේ නම් කඩුල්ල ආරක්ෂා කරගැනීම වෙනුවට ලකුණු ලබාගැනීමේ වේගය පමණක් ක්‍රීඩකයන්ගේ මනසේ ක්‍රියාත්මක වූ නිසා මෙම තත්ත්වය ඇති වුණු බවයි. කෙසේ වෙතත් එය කිසිදු ආකාරයක වගකීම් සහගත පහරදීමේ ස්වරෑපයක් පෙන්නුම් නොකෙරුණු අවස්ථාවක් විය.
ශ්‍රී ලංකා පිලේ නිත්‍ය පන්දු යවන්නන් පස්දෙනකු නැතිව කණ්ඩායම මේ තරම් හෝ දුර පැමිණීම ගැන අපට සතුටක් ඇත. එහෙත් මෙම තරගාවලියේම කුසල් මෙන්ඩිස්, අසලංක, සධීර සහ වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයන් ඉතාම හොඳ මට්ටමක සිටි බව නොරහසකි. ඔවුන්ගේ ක්‍රීඩා කිරීමේ විලාසය යම් ආකාරයක් අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු සහගත හැඟීමක් තබාගත හැකි බවද කිව යුතුය. එහෙත් ඒ මොන දක්ෂතා පෙන්නුම් කළත් අවසන් මහා තරගය තුළ ඔවුන් ඉතාම ආධුනික ක්‍රීඩා විලාසයක් පෙන්වූ බවද කිව යුතුමය. මේ සියලු අඩුපාඩු හමුවේ උපරිම ඵල නෙලාගත් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ මොහොමඩ් සිරාජ් සහ හර්දික් පාන්ඩේ සියල්ලන් ඕවර 16ක් ඇතුළත දවාගත්තේ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් හට තරු පෙන්වමිනි.
අවසන් මහා තරගයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අඩු ලකුණු ප්‍රමාණයක් ජීවිතයට ලබාගෙන සිටියේ නැත. දුර්වල පිතිකරණය හමුවේ මෙවර එය සිදුවුණේය. මෙය ඉතාම දරුණු තත්ත්වයක් බව පැහැදිලිවම කිවයුතුය. බොහෝදෙනා මෙම දැවීයාම් සඳහන් කළේ විවේචනය කළේ මැච් එක වික්කාද යන සැකය දල්වාගෙනය. එහෙත් අප එය හරියටම දන්නේ නැත. මැච් එක විකුණන්න වුවත් මේ ආකාරයෙන් දැවීයාමක් සිදුවිය නොහැක. මෙය විකිණීමට වඩා වගකීමෙන් තොර ක්‍රීඩා විලාසයක් බව පැහැදිලිය.
මෙම පරාජය හමුවේ භූගෝලීය දේශපාලන බලපෑම්ද ඇතැයි සමහරුන් අදහස් ඉදිරිපත් කර තිබිණි. එනම් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන්නේ 34 හැවිරිදි ජේයි ශාය. ඔහුගේ පියා අමිත් ශාය. ඔහු ඉන්දියානු රාජ්‍ය බලය හිමි භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ කලක් ස්වදේශ කටයුතු අමාත්‍යවරයාය. දැන් සමුපකාර අමාත්‍යවරයාය. ඔහු නරේන්ද්‍ර මෝදිගේ ළඟම හිතවතෙකි. ඒ නිසා ඔවුන්ට බලය වැඩි බව බොහෝදෙනාගේ මතය වී තිබේ. දවස් කිහිපයකට පෙර මෙරටට පැමිණි ජේයි ශා අවසන් මහා තරගය දක්ෂ රංගන ශිල්පියකු මෙන්ම නැටුම් ශිල්පියකු වූ මාස්ටර් ප්‍රභූ දේවා සමඟ නරඹමින් සිටින අයුරු දැකගත හැකි විය. ඒ නිසා බොහෝ දෙනා ලංකාවත් ඉන්දියාවත් අතර ඇති මිත්‍රත්වය හොල්ලමින් මෙය පාවා දුන්නාද යන්න ප්‍රශ්න කරමින් සිටී. එහෙත් අප එලෙස සිතන්නේ නැත. එලෙස පාවා දුන්නත් ලකුණු 50කට දැවී යාමට තරම් සැලසුමක් හදාගන්න සක්කරයටත් බැරිය. ඒ නිසා මෙය තරගය පාවාදීමක්ද කියා ඇතිවන සැකය පැත්තකින් තැබිය හැක.
කෙසේ වෙතත් මෙම ක්‍රිකට් තරගය නිසා අසාධාරණයට ලක්වූ පිරිස සුළු පටු නැත. අධික මිලට ටිකට් පත් මිලදී ගත් ප්‍රේක්ෂකයාට එහි මුල් තැන හිමිය. ඇතැම් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයට ඇතුළු වනවිට මැච් එක අවසන්ය. එපමණක් නොව මැච් එක නිසා වක්‍රාකාරයෙන් ආදායම් ලබන්න සිටි රෙස්ටුරන්ට් සහ හෝටල්වල එදින පාඩුව ලක්ෂ ගණනින්ය. ඇතැම් පිරිස් ස්ථාන වෙන්කළත් පැමිණියේ නැත. ලියුම්කරුගේ මිත්‍රයෙක් අවසානයේ මුහුණු පොතේ මෙවැනි පෝස්ටුවක් පළ කළේය.
''8 ඉඳලා දෙමළ ෆිල්ම් එකක් පෙන්නනවා. අද කෑම බයිට් වලට 15%ක් ඩිස්කවුන්ට්''
මේ නම් පෙනෙන කතාය. එහෙත් නොකී කතාද ඇත. ඒවා කියන්නට මේ පිටු මදිය.
කොහොම වුණත් අවසානයේ කියන්නට ඇත්තේ එක දෙයකි. දසුන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුණේ එදින ප්‍රේමදාස ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් තිබූ අනවබෝධය නිසාය. ඉතාම වියලි තණතිල්ලක එකක පළමු පන්දුවාර දහය එතරම් සෙල්ලම් නොදැමිය යුතු බව හැමෝම දන්නා තියරියකි. ඒ පන්දුව ඉක්මනින් ඉපිලීමත් දෝලනයත් තිබීම නිසාය. ඒ බව නොදත් ක්‍රීඩකයන් දන්න සෙල්ලම් උපරිමයෙන් දාන්න ගොස් ඉල්ලන් කෑවේ 35000ක පමණ ප්‍රේක්ෂකාගාරයක් මෙන්ම ලක්ෂ ගණන් ක්‍රීඩාලෝලීන් ඉදිරියේය. මේ නිසා ක්‍රිකට් නම් අනේ අපොයි කියන ගාණට වැටුණේය.
එසේම අනෙක් කාරණය නම් තවත් දක්ෂ ක්‍රීඩකයන් වැට එහා පැත්තෙන් කණ්ඩායමේ දොරට තට්ටු දමමින් සිටීමය. අද ඉන්දියාවේ කෝලිලා නොගැහුවත් ගහන්න ඊළඟ පෙළේ ඇති තරමට ඇත. ඒත් අපට එහෙම ක්‍රීඩකයන් නැත. ඉන්නේ එළියේය. ක්‍රිකට් බෝඩ් එකත් ඔවුන් ගැන තවම උනන්දු නැත. ක්‍රිකට් බෝඩ් එක පවා හිතන්නේ මේ ඉන්නේ හොඳම ටීම් එක යැයි කියා ය.ටීම් එක පිස්සු නටද්දී විවේචනය කරන්නට ක්‍රිකට් බෝඩ් එක ඉඩදෙන්නේ නැත. ක්‍රිකට් බෝඩ් එකට අවශ්‍ය වන්නේ ගුණ කීමටය. ඒත් ගුණ කියන්නට වගේම විවේචනයටත් අපට ඉඩ තිබිය යුතුය. ඒ අප ප්‍රේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටින නිසාය.
කෙසේ වෙතත් කාලයක් මහින්දානන්ද අලුත්ගමගේ කීවේ 2011 ලෝක කුසලානය විකුණා ඇති බවය. මේ වනවිට සචිත්‍ර සේනානායක තරග පාවා දීමේ චෝදනාවට සැකකාරයෙක් වී අවසන්ය. මෙවන් මොහොතක මේ ආකාරයෙන් අවසන් මහා තරගයක් අන්ත ලෙස පරාජය වූ විට ජනතාවට නොයෙකුත් සැක සංකා ඇති විය හැක. එසේ නොවේ නම් පුදුමයකි. එහෙත් ඒ සියල්ලට පිළිතුරු ඇත්තේ කණ්ඩායමේ සහ ක්‍රිකට් බෝඩ් එක තුළය. පුදුමය නම් තවමත් ඔවුන් නිශ්ශබ්දව සිටීමය. එහෙත් දැන් උත්සාහ කරන්නේ දසුන්ගෙන් නායකත්වය ගලවා කුසල් මෙන්ඩිස්ට දීමටය. එය ''අතීසාරයට අමුඩේ ගැසීමක් හා සමානය.'' ප්‍රශ්නය හරි හැටි හඳුනා නොගෙන ඉත්තෝ ඇද්දාට තේරුමක් නැත. මොකද ඉන්න සියල්ලෝම පරණ ඉත්තෝමය. ඒ නිසා ක්‍රීඩකයන් හැදෙන තෙක් ඔලුගෙඩි මාරු කළාට කිසිසේත් වැඩක් නොවනු ඇත.
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ එක දෙයකි. එන්න එන්න රට කඩා වැටෙන මොහොතක ජනතාවගේ සතුට හෝ රුඳුණේ මේ ක්‍රිකට් ක්‍රීඩාව මතය. එහෙත් ඒකත් රටේ අනෙකුත් කසිකබල් වැඩ මෙන් විනාශ වී යන්නේ නම් ක්‍රීඩාලෝලීන්ට එය දරාගත නොහැක. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලන්නේ එක දෙයකි.
''ඔබලා රැකියාවට කරන්නේ ක්‍රිකට් ගැසීම නම්, ඒ රැකියාව හරියට කරන්න'' කියාය.
I ගයාන් ගාල්ලගේ