2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

සංජීව වමාරයි

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 303

''කොට්ටෝරුවා කොටලා කොටලා කෙහෙල් ගහට කෙටුව දවසට හොට පැටලෙනවා'' යැයි පරණ කියමනක් ඇත. එසේම ''කකුළුවා නටන්නේ වතුර හැලිය නටනකල්'' යනුවෙන්ද කතාවක් ඇත. මේ සියල්ලෙන් කියන්නේ අවසානයේ සිදුවන හිතාගත නොහැකි ඉරණම ගැනය. අපි අද කියන්නේද එවන් හිතාගත නොහැකි ඉරණම්කාරයෙක් ගැනය.

පසුගිය කාලය පුරාම අපි ඔහුගේ කෙරුවාව ගැන එකින් එක ලියා තැබුවෙමු. ඔහුගේ කතාව අවසන් කළේ ජීවත්ව ඉන්නවාද? නැද්ද? යන සැකය මතය. කෙසේ වෙතත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබුණත් ඒ සියල්ලම නොලිව්වේ තව තවත් ඔහු සම්බන්ධයෙන් තොරතුරු අප විසින් සොයාබලමින් සිටි නිසාය. ඒ වෙනින් කවුරුත් නොව සංජීව සමරතුංග හෙවත් ගණේමුල්ල සංජීව නොහොත් මාකිලංගමුවේ සංජීවය. අප කළ සියල්ල හෙළිදරව්ව සනාථ කරමින් අවසානයේ එකී සංජීව පසුගියදා කටුනායක ගුවන්තොටුපලේදී කොටුවිය. දැන් මේ වනවිට බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය භාරයේ සියල්ල වමාරමින් සියලු දෙනාවම පාවා දෙමින් සිටියි.

ඉස්සර සමාජයේද චණ්ඩි සිටියහ. අතින් පයින් බැරිනම් ඕන එකෙන් කියා යුක්තිය සාධාරණය වෙනුවෙන් ගැටුණු මිනිස්සු මේ රටේ සිටියෝය. කාලයත් සමඟ පාතාලය නැමැති විනාශය රට තුළ ආරම්භ වූ අතර එකී පාතාලය ආරම්භයේද බොහෝ පාතාලයන් චණ්ඩිකම් පෑවේ මේ රටේ සිට තමන්ගේ ප්‍රදේශයේ දේශසීමා මායිම් ලකුණු කරමිනි.

එහෙත් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වර්තමානයේ තුවක්කු කෑලි තබාගෙන රඟන පිරිස් මේ පාතාලය තුළ ගෝඩ් ෆාදර්ලා වීමේ මේනියාවෙන් පෙලෙන්න පටන් ගැනීමත් සමඟ වෙනත් රටකට පැන, හැංගී ගෝලබාලයන් ලවා ''බළලුන් ලවා කොස් ඇට බාවන'' වැඩ ගොඩක් මොවුන් අතින් පසුගිය කාලය පුරාම සිදුවුණේය. ඒ අනුව දැන් බොහෝදෙනාගේ නැවතුම වී ඇත්තේ ඩුබායි රාජ්‍යයයි. මහා පරිමාණ පාතාල නායකයන් යැයි කියා ගන්නා මේ පිරිස් කුඩා දරුවන් සේ ජීවිත රැකගැනීමට හැංගී මෙරට ජනතාව තුළ බිය වපුරමින් සිටිති.

අපේ කතා නායකයා වන ගණේමුල්ල සංජීවද එලෙස මහා කෙරුමකු ලෙස නම් කළත් රටින් රටට පැන නැතහොත් බන්ධනාගාරය තුළ සැඟවී චණ්ඩිකම් කළ අයෙකි. 2007 සිට අපරාධ ආරම්භ කළ සංජීවගේ අපරාධ ඉතිහාසයේ ලොකුම සිදුවීම වන්නේ පෞද්ගලික බැංකුවක් කොල්ල කා කෝටි 7ක් සොරා ගැනීමය.

ඉන්පසුව සිරගත වන සංජීව, බ්ලුමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් සමඟ එක්වී දෙමටගොඩ චමින්ද ඝාතනය සඳහා අවස්ථා කීපයකදී උත්සහ කරන්නේ තමන්ට කොළඹ පාතාලයේ බලය අල්ලා ගැනීමේ අරමුණ ඇතිවය. ඒ අනුව 2016 වසරේදී චමින්ද ගමන්ගත් බස් රථයට වෙඩි තැබුවේද මෙකී සංජීව ඇතුළු කල්ලිය විසිනි. ඉන් අනතුරුව බන්ධනාගාර ගතවන සංජීව එතැන් පටන් බන්ධානාගාරයේ සිට කොන්ත්‍රාත්තුවට මිනීමැරුම් ආරම්භ කරන්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් වීමේ අරමුණු ඇතිවය. ඒ සඳහා රණාලේ සමයංගේ හොඳම ගෝලයා වූ ගොත අසංකද එකතුවන අතර දෙදෙනාම බන්ධනාගාරයේ සිට ඝාතන වැලක් මෙහෙය වූහ. වේයන්ගොඩ සමරේ ඝාතනය, බණ්ඩාර ඝාතනය, ඩුබායි පැන සැඟව සිටින පද්මේගේ පියා වන නොයෙල් ඝාතනය ඇතුළු ඝාතන රැසක් ඔවුන් අතින් සිදුවිය. ඒ සියල්ල සඳහා වෙනම ආයුධ ගබඩාවක් ඔවුන් සතුව තිබුණු අතර එම ආයුධ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ඒවා බව අනාවරණය විය. එහිදී වැඩිදුරටත් අනාවරණය වුණේ සංජීව එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ගනුදෙනු කරන බවටය.

මේ අතර සංජීව තමන්ගේ බලප්‍රදේශය ඇල්ලීමේ සටනක්ද ගියේය. ඒ පස් ජාවාරම සහ කප්පම් ලබාගැනීම සඳහාය. ඒ සඳහා ගම්පහ අල්ලා ගැනීමේ අරමුණින් සංජීව ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීම සඳහා පිඹුරුපත් සැකසුවේය. ඒ අනුව ඇතැම් පොලිස් නිලධාරීන් සමඟ එක්ව විවිධ චෝදනා නගමින් කීපවතාවක් ඔස්මන් ඝාතනය කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කළේය. ඉන් එක් වතාවක් වන්නේ 2018 වසරේදී කිරිඳිවිට වල්පොළ ප්‍රදේශයේදී ඔස්මන් ගමන්ගත් වාහනයට වෙඩි තැබීමයි.

මේ සියල්ල සිදුවන අතරතුර සංජීවට 2021 වසරේදී ගම්පහ මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට හැකිවිය. කෙසේ වෙතත් ඒ ඇප ලැබීමෙන් පසුව සංජීව ගෙදර බලා පිටත්වූයේ නීතිඥ මඬුල්ලකගේ පූර්ණ ආරක්ෂාව මැදය. එසේ නිවෙසට ගිය සංජීව අතුරුදන් වන අතර සංජීව ගැන නැවත තොරතුරු එන්නේ ඔහු 2021 වසරේදී ඉන්දියාවේ සැඟව සිටින බවටය. ලියුම්කරුට ඒ සම්බන්ධයෙන් දැනගන්නට ලැබෙන්නේ ඔහුගේ මිත්‍රයකු හරහාය.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත්වූ සංජීව පවසන්නේද ඔහු 2021 වසරේදී බෝට්ටුවක් හරහා ඉන්දියාවට පැනගිය බවය. තොරතුරු වාර්තා වන ආකාරයට ඉන්දියාවට යන සංජීව බැංගලෝර් ප්‍රදේශයේ සැඟවී ජීවත්වන අතර එසේ සිටින අතරතුර ඕමානයේ ජීවත්වන මොහොමඩ් සිද්ධික් හරහා කුඩු ජාවාරමට අත තැබීය. එහෙත් අනෙක් පාතාලයන් මෙන් සංජීවට ඩුබායි යන්නට හැකියාවක් නැත. ඊට හේතුව සංජීවට එරෙහිව ඉන්ටපෝල් වරෙන්තුවක් තිබෙන නිසාය.

කෙසේ වෙතත් සංජීව එලෙස සැඟවී සිටිමින් ඝාතන රැසක් සිදුකරන අතර තම පාළුව මකා ගැනීම සඳහා ගොත අසංක, සංඛ ඇතුළු පිරිසද තමන් ළඟට ගෙන්වා ගනු ලබයි. කෙසේ වෙතත් මීට සති දෙකකට පෙර වැඩේ කනපිට පෙරළෙන්නේ ඉන්දීය රෝ සංවිධානය සහ ජාතික ආරක්ෂක ඒජන්සිය කරන පැමිණිල්ලකට අනුව වරෙන්තුවක් මත මොහොමඩ් සිද්ධික් අත්අඩංගුවට ගැනීම හරහාය. කෙතරම් පාතාලයේ කෙරුමන් වුවත් ජීවිත බේරාගැනීමේ අරමුණ නිසා අනුන් පාවා දෙන්න මේ හැමදෙනාම දක්ෂය. ඒ නිසාම සිද්ධික් විසින් සංජීව ගැන පාවාදෙනු ලැබීය. ඒ අනුව සංජීව සහ පිරිස නේපාල පොලීසිය විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබූහ.

සංජිවද ගෝඩ්ෆාදර් වීමේ හීන දැක්කාට ජීවිතය ගැන පුදුම බයකින් ඉන්නා එකෙකි. ඒ නිසා කෙසේ හෝ පැනයාම සංජීවගේ අරමුණ විය. ඒ අනුව සංජීව සල්ලි විසි කරන්නේ පැනයාම සඳහාය. තොරතුරු අනුව සංජීව විසිකළ මුදල කෝටි 80 කි. ඒ සඳහා කෝටි 25ක් මෙරට තවත් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් විසින් ලබාදී තිබූ අතර අනෙක් ටික තවත් අයකු විසින් ලබාදී තිබේ. කෝටි 25ක් දුන් පුද්ගලයාට පසුගියදා මෙරට අධිකරණයකදී මරණීය දණ්ඩනයට නියම විය.

දවස් 30ක සංචාරක වීසාවකින් නේපාලයට ගිය සංජිවට තවදුරටත් එහි සිටීමට හැකියාවක් නොලැබිණි. මෙහි හොඳම කතාව වන්නේ සංජීවට දවස් 30ක වීසා ලබාදී ඇත්තේ අගෝස්තු 30 සිට ඔක්තෝබර් 3 දක්වා වීමය. ඒ වීසා සහතිකය නිකුත් කර ඇත්තේ මෙරට හරහාය. එපමණක් නොව ව්‍යාජ ගුවන් බලපත්‍රයක් සකසා තිබූ අතර එහි නම වූයේ සේනාධීරගේ කරුණාරත්න නමයි. මේ ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කර තිබුණේ 2022 ජනවාරි 10 වෙනිදාය. ඊට පෙර මන්නාරමින් පැනගිය සංජීවට මෙම ගුවන් බලපත්‍රය ලැබුණේ කෙලෙසද, එපමණක් නොව සංචාරක වීසා බලපත්‍රය මෙරටින් ලැබුණේ කෙසේද? මේවා හතරබීරි කතාය. ඒවා සෙවිය යුතුම කතාය.

කෙසේ වෙතත් නේපාලයේ තවදුරටත් සිටිය නොහැකි නිසාත් තමන් සතුව ව්‍යාජ බලපත්‍රයක් ඇති නිසාත් පසුගිය සතියේ සංජීව ලංකාවට ආවේය. ඒ ආවේ ලංකාවට එන බවට තොරතුරු ලැබුණත් පාතාලයෙන් එන තොරතුරු අනුව ආරංචි වන්නේ සංජීව මෙලෙස පැමිණ ඇතුළෙන්ම මාලදිවයිනට පැනයාමට සූදානම් වී සිටි බවයි. ඒ සඳහා මෙරට ඇතැම් නිලධාරීන් සමඟද ගනුදෙනුවක් තිබූ බවට දැන් දැන් තොරතුරු ගලාගෙන එයි. කෙසේ වෙතත් පාතාලය තුළ පැතිර යන්නේ මේ වැඩේ සඳහා සංජීව කෝටි 2ක් ලෑස්තිකරගෙන සිටි බවය. ඒත් ඒවා ඇත්ත නැත්ත දන්නේ නැත. මේ සියල්ල පොලීසියේ පරීක්ෂණ මත හෙළිවනු ඇත.

සංජීව කියා නොදැන සිටි ආගමන නිලධාරීන්‍ට මෙම පුද්ගලයා ගැන සැකයක් එන්නේ කාන්තාවකගේ නමින් අදාළ ගුවන් බලපත්‍රය තිබූ නිසාය. ඒ අනුව නවත්වාගෙන ප්‍රශ්න කරන විට ඉහමොළ රත්වෙන සංජීවට යකා ඇවිස්සී කෑගසන්නේ තමන් ගණේමුල්ලේ සංජීව බව දන්වමිනි. එක පැත්තකින් එය තර්ජනයකි. අවසානයේ කොට්ටෝරුවා කෙහෙල් ගහේ පැටලෙන්නේ ඒ හරහාය.

දැන් මේ වනවිට පොලීසිය බාරයේ සිටින සංජීව සියල්ලෝම පාවා දෙමින් සිටියි. නේපාලයේ සිටද එකට සිටි උන් පාවා දී පැන්න සංජීවට තවත් කෙනෙක් පාවාදීම එතරම් අමාරු නැත. සංජීව නේපාලයේ අත්අඩංගුවට ගත්දා ඔහුගේ නිවෙසට වෙඩි තැබීම නිසා එයට කෝපව ලංකාවට පැමිණි බව ඇතැම් මාධ්‍ය ලියා තිබුණි. එය සංජීව ඇත්තටම කියා ඇත්නම් අමූලික බොරුවකි. හැංගි හැංගී නැටුම් නැටූ සංජීවට මේවා ලොකු වැඩ නොවේය. එපමණක් නොව ගෙදර ආරක්ෂකයන් ඉන්න මොහොතක මෙලෙස වෙඩි තැබීමද විහිළුවකි. ඇත්තටම මෙය සංජීව විසින්ම තම ජීවිත ආරක්ෂාව වෙනත් රටකදී ලබාගැනීම සඳහ කළ වැඩක් යැයි බොහෝ දෙනා කියති. සංජිව යනු රඟපෑමටද දක්ෂ අයෙකි.

කෙසේ වෙතත් අවසන් වශයෙන් කියන්නට ඇත්තේ සංජීව ලංකාවට පැමිණීම හොඳද නරකද යන්න දන්නේ සංජීවම පමණක් බවය. එහෙත් මෙවැනි අපරාධකාරයෙක් කොටුවීම රටේ අපරාධ වැලක අවසානය දැකීමකි. මේ සියල්ලේම අවසානය හෝ ආරම්භයද යන්න සනිටුහන් වන්නේ සිදුකරන පරීක්ෂණවලට අනුවය. ඒ නිසා රටේ ජනතාවගේත් ජාතික ආරක්ෂවේත් අයිතිය ආරක්ෂා වනු ඇත්තේ සංජීව බාරව සිටින සියලුදෙනා යටතේය.

I ගයාන් ගාල්ලගේ

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:04