2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

හොඳ අරක්කුද? නැතිනම් කසිප්පුද?

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 113

ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූල නොවන මත්පැන් (කසිප්පු) අලෙවිය 500% කින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. නීත්‍යානුකූල මත්පැන් පානය 50% කින් වර්ධනය වෙද්දී මෙලෙස නීත්‍යානුකූල නොවන මත්පැන් 500% කින් වර්ධනය වීම බරපතළ සමාජ ගැටලුවක් නිර්මාණය කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් දේශය කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ මෙතරම් ප්‍රමාණයකින් නීති විරෝධි මත්පැන් අලෙවිය ඉහළ ගොස් ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී නොමැති වුවද මෙරට ඇති පොලිස් ස්ථාන 607න් බොහෝ පොලිස් ස්ථානයන්හි සිටින නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගන්නා කණ්ඩායම් මගින් දෛනිකව එවැනි ස්ථාන වටලා හොර මත්පැන් සහ ඒවා නිපදවන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවයි.

නීත්‍යානුකූල නොවන මත්පැන් විශාල ලෙස ව්‍යාප්තවීම බරපතළ සමාජ ප්‍රශ්නයකි. මාර්ග අනතුරු සහ අපරාධ වර්ධනයට නීති විරෝධී මත්පැන් නිසා බලපෑමක් ඇතිව තිබේ. මද්‍යසාර භාවිතය වර්තමානයේ සමාජ අවශ්‍යතාවක් වී තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට බොහෝ පිරිසකගේ ආදායම බින්දුවට බැස තිබේ. එසේ වුවද මත්පැනට ලොල් පුද්ගලයන් කෙසේ හෝ තම අවශ්‍යතාව ඉටුකරගැනීමට පෙළඹේ. ආණ්ඩුව වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා නීත්‍යානුකූල මත්පැන් මිල විශාල ලෙස ඉහළ දමමින් සිටී. එහි ප්‍රතිඵලය වී ඇත්තේ මත්පැන් ලෝලීන්ට ඒවාට වැය කිරීමට මුදල් නොමැති වීමයි. එවිට  ඔවුන් විකල්ප කරා යොමුවන අතර නීති විරෝධි අඩු මිල මත්පැන් පානයට යොමු වීමට ඔවුනට සිදුවේ. විශේෂයෙන්  නීති විරෝධි මත්පැන් වලට අඩු ආදායම්ලාභී අඩු වරප්‍රසාද සහිත පිරිස වැඩි වශයෙන් යොමු වී ඇති බව පෙනෙන්නට තිබේ. නාගරික ප්‍රජාව තුළ මෙන්ම ගම්බද ප්‍රදේශවලද නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇතැයි විවිධ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. 
බොහෝවිට ලඳු කැලෑවල, බඩවැටිවල, කළපු ආශ්‍රිතව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුවන අතර මේ වනවිට ඇතැම් ධනවත් ව්‍යාපාරිකයන් තම නිවෙස්වලද හොර මත්පැන් නිෂ්පාදනය කරන බැව් විටින් විට වාර්තා වේ. එවැනි පුවතක් පසුගියදා වාර්තා වූයේ මීගමුව මහ හුණුපිටිය ප්‍රදේශයෙනි. සුවිසල් නිවෙසක් තුළ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර එම ජාවාරම මෙහෙයවා තිබුණේ කෝටිපති බේකරි නිෂ්පාදකයකු විසිනි. මෙහිදී රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා කසිප්පු ස්ප්‍රීතු බෝතල් 90ක් ගෝඩා බෝතල් 2171ක් සහ පෙරුම් උපකරණ අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය. ගම්පහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් සිදුකළ වැටලීමකදී නිවාස දෙකක මුළුතැන්ගෙවල පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාර දෙකක් වටලා රුපියල් ලක්ෂ තුනකට අධික මත්පැන් මිලිලීටර් 7500ක් ගෝඩා මිලිලීටර් 20,000ක්  පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මේ ආකාරයෙන් දිනපතාම පාහේ හොර මත්පැන් අත්අඩංගුවට ගැනීම් වාර්තා වුවද කෙතරම් අත්අඩංගුවට ගත්තද ඒවායේ නිෂ්පාදනය නතර වන බවක් පෙනෙන්නට නැත.

පොලීස් ස්ථාන මගින් අනාවරණ වන දෛනික සංඛ්‍යා‍ලේඛන මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා අනුව පසුගිය කොරෝනා සමයේ පැවැති සංචරණ සීමා නිසා රටේ කසිප්පු පෙරීමේ ප්‍රවණතාව 75%කින් පමණ වර්ධනය වී තිබේ. සංචරණ සීමා පැවැති සමයේ සුරාසල් වසා තැබීම හේතුවෙන් ගෘහස්ත වශයෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ යෑමට බලපෑවේය. පසුගිය කාලයේ සිල්ලර වෙළෙඳසල්වලින් අසීමිත ලෙස සීනි අලෙවි වී තිබෙන බවද පැවසේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වරක් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ඇතැම් ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට වඩා සීනි සඳහා දැඩි ඉල්ලුමක් ඇති බවයි. ඇතැම් පුද්ගලයන් සීනි මිටි ගණන් රුගෙන යන බව නිරීක්ෂණය වී ඇති බවත්, ඒ තේ පානය සඳහා නොවන බවත් ඔහු කියා සිටියේය.

නීති විරෝධී මත්පැන් අලෙවිය විශාල ලෙස ඉහළ යෑමට රජය මත්පැන්වලින් අයකරන අධික බද්ද ද බලපා තිබේ. අතිවිශේෂ අරක්කු හෙවත් ගල් අරක්කු බෝතලයක නිෂ්පාදන වියදම වන්නේ රුපියල් 294කි. එහෙත් අතිවිශේෂ අරක්කු බෝතලයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 3200 කටය. මෙම රුපියල් 3200න් මත්පැන් බෝතලයේ අඩංගු මත්පැන්වල වටිනාකම අඩු කළ විට රුපියල්. 2906ක මුදල බදු සහ නිෂ්පාදන සමාගම්වල ලාභයයි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයේ නීත්‍යානුකූල මත්පැන්වල අලෙවිය 40%කින් පමණ අඩු විය. නීත්‍යානුකූල මත්පැන් අලෙවිය එම ප්‍රමාණයෙන් අඩු වුවද මත් ලෝලීන් මත්පැන් පානය අඩු කර නොමැති බව පෙනෙන්නේ නීති විරෝධී මත්පැන් අලෙවිය ඉහළ ගොස් ඇති බැවිනි. 

දැනට මත්පැන් බලපත්‍ර වර්ග 25 ක් යටතේ ශ්‍රී ලංකාව තුළ මත්පැන් අලෙවිසල් 4570 ක් පමණ ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. මෙයින් බලපත්‍ර 538 ක්ම මෘදු මත්පැන් අලෙවිය සඳහා ලබාදුන් බලපත්‍ර බවද සඳහන්ය. මෙලෙස අලෙවි කරන එක් මත්පැන් බෝතලයකින් 75%ක බදු මුදලක් අයකෙරෙන අතර ව්‍යාජ මත්පැන් අලෙවිය වැළැක්වීම සඳහා ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. එහෙත් මෙම ස්ටිකර් ව්‍යාජ ලෙස අලවන ලද මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. එයින් මත්පැන් බෝතල් 43776 ක් මිලිලීටර් 180 (කාල බෝතල්) බව තහවුරු කරගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. ඒවායේ අඩංගු වන්නේ නීත්‍යානුකූල මත්පැන් නොවන බව පැහැදිලිය.

මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කින් හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 600ක් මෙතෙක් ලැබී නොමැති බවට අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පසුගියදා දේශයට ප්‍රකාශ කළේය. මෙම කෝටි 600 න් කෝටි 200 කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුය. ප්‍රමාද ගාස්තු සඳහා වසරකට 36%ක පොලී අනුපාතයක් අයකෙරෙන අතර එම පොලී අනුපාතය අසාධාරණ බවට මත්පැන් නිෂ්පාදන ආයතන විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට පෙන්වා දී තිබේ. 

ජනතාව නීතිවිරෝධී මත්පැන් සඳහා යොමුව ඇත්තේ නීත්‍යානුකූල මත්පැන් සඳහා අයකරන දැවැන්ත බදු ප්‍රමාණය නිසා බැවින් මත්පැන් මිල අඩුකරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ  පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ බදු වැඩි කිරීම නිසා අරක්කු බෝතලයක මිල ඉහළ යාමෙන් ජනතාවට නීත්‍යානුකූල මත්පැන් භාවිත කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස කසිප්පු ව්‍යාපාරය ඉහළ යමින් ඇති අතර ඇතැමුන් මත් වීම සඳහා පෙති වර්ග ගැනීමට පෙළඹී ඇතැයි ප්‍රකාශ කළාය.. මත්පැන් බෝතලයක මිල අඩුකොට නිෂ්පාදනය වැඩි කිරීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට වැඩි ආදායමක් උපයාගත හැකි බවද ඇය සඳහන් කළාය. ''දුප්පතුන්ගේ පානය වන ගල් බෝතලයේ  ගාන වැඩි කළ නිසා මිනිස්සු කසිප්පු බොන්න වැඩියෙන් පෙළඹෙනවා. ගල් අරක්කු වැඩිවශයෙන් බොන්නේ  ‍මේ රටේ කම්කරු ජනතාව. ඒ නිසා ගල් අරක්කු බෝතලයරුපියල් 1500ට දෙන්න එහෙම නැති වුණොත් මිනිස්සු වැඩි වැඩියෙන් කසිප්පු බොන්න  පෙළඹෙනවා. කසිප්පු නිපදවන පිරිස වැඩි වෙනකොට පොලිසිවලට ඒ ඔක්කොම අල්ලන්න බැහැ. සුරාබදු ආදායම වැඩිකරගන්න කියලා මිල වැඩි කරන එකෙන් වෙන්නේ මිනිස්සු අරක්කු බොන්නේ නැතිව කසිප්පුවලට යොමුවීමයි'' යනුවෙන් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ අතර සුරාබදු පනත කඩිනමින් සංශෝධනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි. ''තවමත් ක්‍රියාත්මක වෙන්නේ 1913 ආපු පනතක්. එයින් නවීන ලෝකයක් සමඟ කටයුතු කිරීමේදී අපිට අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවී තිබෙනවා. ඒ නිසා සුරාබදු පනත යාවත්කාලීන කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. සුරාසැල් සම්බන්ධයෙන් බලපාන්නේ 2008 ගෙන ආ 902 දරන නිවේදනයයි. පැරණි වන විට පනතින් සිදුවන ආවරණය ප්‍රමාණවත් නැහැ. එහි කෙළවරක් නැති සිදුරු නිර්මාණය වී තිබෙනවා. සැබෑ රාජ්‍ය ආදායම ලබා ගැනීමයි අපේ අරමුණ.'' යනුවෙන් සඳහන් කළේය.

මත්පැන් අලෙවියෙන් රජයේ ආදායම වැඩිකර ගැනීමට මෙන්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය අවම කිරීමට නම් ආණ්ඩුව කළ යුත්තේ මත්පැන් බෝතලය සාධාරණ මිලකට අලෙවි කිරීමට පියවර ගැනීමය. එසේ නොවන තාක්කල් ජනතාව වැඩි වශයෙන් හොර මත්පැන්වලට යොමුවීම වැළැක්විය නොහැකිය. නීති විරෝධී මත්පැන් බොහෝ විට විෂ සහිතය. ඒවා නිපදවන්නේද ඉතා අපිරිසුදු ආකාරයටය. පෙර කාලයේ පොල්, කිතුල් හෝ තල් රා හෝ පළතුරු වර්ග යොදා ගනිමින් නීත්‍යානුකූල නොවන මත්පැන් පෙරීමට පුරුදු වී සිටි අතර ඒවා ස්වභාවිකව පැසීමට දින හත අටක් ගත විය. වර්තමානයේ මහා පරිමාණයෙන් දවසින් දෙකෙන් මත්පැන් පෙරා අලෙවි කිරීමට ඒවා නිපදවන හොර මත්පැන් අලෙවිකරුවෝ හුරු වී සිටිති. ඒ සඳහා කෘත්‍රිම ලෙස ඒවා පැසවිය යුතුය. ඒ සඳහා යවකාර ලුණු, යූරියා සහ ඇමෝනියා, මදුරු දඟර, කටුකම්බිථ සිමෙන්ති  වැනි විෂකාරක ඔවුහු භාවිත කරති. ඇතැම් ගෝඩා බැරල්වලට සර්පයන්,  සුනඛයන්, කටුස්සන් වැනි සතුන්ගේ කොටස්ද එකතු වන බව පැවසේ. බෝතලයක් රුපියල් 800ක් වැනි මුදලට ලබා ගැනීමට හැකි බැවින් ඒවා මිලදී ගැනීමට බොහෝ පිරිස් පෙළඹෙති. මෙම විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් මියයන පුද්ගලයන් පිළිබඳවද පසුගිය කාලයේ වාර්තා විය. මෙම විෂ මත්පැන් පානය කිරීම නිසා විවිධ රෝගාබාධයනට ලක්වන පුද්ගලයන් සංඛ්‍යාවද සුළු පටු නොවේ. විවිධ සෞඛ්‍ය ගැටලු නිර්මාණය වීම නිසා ඒවාට ප්‍රතිකර්ම යෙදීමට ආණ්ඩුවට වැයවන මුදල, මත්පැන් සඳහා ලැබෙන බද්දට වඩා වැඩි විය හැකිය. එහෙයින් නීති විරෝධී මත්පැන් අලෙවිය අවම කිරීම සඳහා නීත්‍යානුකූල මත්පැන් ඒවා භාවිත කරන්නන් හට ඔරොත්තු දියහැකි මුදලකට ලබාදීමට පියවර ගන්නේ නම් බොහෝ ගැටලුවලට විසඳුම් ලැබිය හැකිය.

I  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03