2017 ජුනි 03 වන සෙනසුරාදා

එදා පොසොන් සැමරීම හා මෙදා පොසොන් සැමරීම

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2691

මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහමද රැගෙන ලංකාවට වැඩම කළා යැයි සැලකෙන්නේ පොසොන් පොහෝ දිනයේය. අපට පොසොන් පොහොය වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය මිහිඳු රහතන් වහන්සේ හරහා අපට ලැබීම නිසාය. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීමෙන් අනතුරුව වසරක් පාසා මෙලෙස පොසොන් සැමරීම සිදුකළ අතර කාලය ගතවීමත් සමඟ එම සැමරුමෙහි යම් යම් වෙනස්කම්ද සිදුව ඇත. අද වන විට පොසොන් පොහොය සැමරීම කානිවල් මට්ටමට ගොස් ඇති අතර එදා සහ අද පොසොන් සැමරීමේ වෙනස්වීම් සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය හා විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද විද්වත් මත ඇසුරින් මෙම ලිපිය සැකසේ.

ප්‍රතිපත්ති පූජාව වාණිජ පූජාවක් වෙලා
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

බුදු දහම ලංකාවට වැඩම කරවපු දවස තමයි පොසොන් කියන්නේ. මිහිඳු හාමුදුරැවෝ වැඩම කරන්නට කලින් ඔය දවස තිබුණේ බොහොම විනෝද දවසක් ලෙසයි. රජ්ජුරුවෝ මුව දඩයමේ ගිහිල්ලා ඒ විදිහට විනෝද වුණ දවසක්. නමුත් මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් පස්සෙ හිංසාකාරී විනෝදය වෙනුවට අවිහිංසක විනෝදය ලංකාවේ සියලු දෙනා අතර ප්‍රචලිත වුණා. ඒ අනුව මුව දඩයම වැනි කුරිරු වැඩ වෙනුවට දන්දීම, සිල් රැකීම වගේ දේවල් මිනිස්සුන්ගේ ජීවිත ඇතුළට එකතු වන්නට පටන් ගත්තා. අපේ රජවරු මාඝාතය (නොමරන්න) බඳු ආඥාවක් පවා පැනවූවා. මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කිව්වේ රජතුමනි, ඔබ මේ රටේ හිමිකරුවා නොව භාරකරැවා පමණයි කියලා. එතකොට හිමිකරුවයි භාරකරුවයි අතර ලොකු වෙනසක් තියෙනවානෙ. ඒ අනුව රාජ්‍යත්වය තුළ පවා රජෙක් හැටියට තමන් කොහොමද හිතන්න ඕනෙ කියන එක පිළිබඳව අලුත් කියවීමක් ඇතිවුණා. මේ අනුව රජවරු තවදුරටත් ඉදිරියට ගිහිල්ලා රටෙහි ධර්මානුකූල පාලනයක් ගෙන යාමට කටයුතු කළා.

මේ වගේ තත්ත්වයක් උඩ තමයි මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීම වඩාත් ආගමික වශයෙන් වගේම ගොඩක් පරිත්‍යාගයට හුරු දේවලින් සැමරුවේ. ඇත්තටම වෙසක් දන්සල් නෙමෙයි ඉස්සර තිබුණේ පොසොන් දන්සල්.

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරපු මිහින්තලය නරඹන්නට අද වගේම ඒ කාලයෙත් විශාල වශයෙන් පිරිස අනුරාධපුරයට එක්රැස් වුණා. නමුත් ඉස්සර අද වගේ ආපනශාලා තිබුණෙ නෑ. ඒ නිසා එහෙම එන අයට උයා පිහා කන්න දීමේ සිරිත දන්සල් කියන තැනට වර්ධනය වුණා. දැන් ඒක වෙනස් වෙලා වෙසක් දන්සලුත් තියෙනවා. පොසොන් දන්සලුත් තියෙනවා. ඒ වගේම වෙසක් තොරණත් තියනවා. පොසොන් තොරණත් තියෙනවා. නමුත් ඕනෑම දෙයක් සුලබ වීම තුළ ඒ දේවල්වල හරයට හානිවන බව පේනවා. ඒකට හොඳම නිදසුනක් තමයි ධාතු වන්දනාව. ධාතු වන්දනාවත් මේ කාලයේ බහුලවම දක්නට ලැබෙන දෙයක්. මට නම් හිතෙන්නේ මේ ධාතු ප්‍රදර්ශන පටන් ගත්ත දවසේ ඉඳලා ස්වභාවික විපත් වැඩිවුණාද කියලයි.

ඉස්සර දන්ත ධාතූන් වහන්සේ එළියට වැඩම කරද්දි වහිනවා කියලා කියනවා. දැන් මාධ්‍ය ආයතන මේක භාර අරගෙන ධාතු වැඩම කිරීම සිදුකරනවා. ඒවා ව්‍යාපාරවලට යොදාගෙන තියෙනවා. ඇත්තටම අද ධාතු වන්දනාව කියන්නේ බිස්නස් එකක්. අපේ තිබුණ ආමිස ප්‍රතිපත්ති පූජාව සම්පූර්ණයෙන්ම වාණිජ පූජාවන් බවට පත්වෙලා තියෙනවා.

ඒ කාලෙ පොසොන් සැමරීම අපිට දෙයාකාරයකින් ගන්න පුළුවන්. එකක් තමයි මිනිස්සු ළඟ පැවතුණු දුර්ගුණ, විශේෂයෙන් මුව දඩයම වැනි වැරදි විදිහේ විනෝද ක්‍රම වෙනුවට ධර්මානුකූල විනෝදයට හුරැවුණා. අනික් පැත්තෙන් චින්තනය කොතරම් උසස් බවට පත් කළාද මහින්දාගමනයෙන් පස්සෙ.

අද ඒ වෙනුවට පටු චින්තනයක් ඇති, විචාරශීලිත්වයෙන් තොර පිරිසක් තමයි ඉන්නේ. එදා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරපු කාලෙ හිටියෙ ගස්ගල්, ඉරහඳ අදහපු පිරිසක් කියල තමයි අපි කියන්නේ. දැන් අද ආපහු ගස්ගල්, ඉරහඳ අදහන තැනට මිනිස්සු ගිහින් තියෙනවා. අද ආශ්චර්යවත් දේවල් ගැන තමයි මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන්නේ.

අද පොසොන් දවසේ බුදු දහම විකෘති  කරනවා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ඇත්තටම පොසොන් පෝය සැමරීම කියන දේ ලොකුම අර්ථය තමයි අපි කළගුණ දන්න ජාතියක් කියලා කියන එක. බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ මෙම ධර්මය දිවයින තුළ පිහිටුවන ලද්දේ මිහිඳු හාමුදුරුවන් වන නිසා අපි උන්වහන්සේ පැමිණි දවස මෙනෙහි කරමින්, අපිට කරන ලද මෙහෙවර සිහි කරමින් අපි ශිෂ්ටසම්පන්න ජාතියක් බවට පත් කරපු දිනයක් සිහිපත් කරන්න තමයි අපි පොසොන් උත්සවය සමරන්නේ. මොකද පොසොන් පොහොය දවසෙ සිදුවුණ එකම සිදුවීම වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම හා දේවානම්පියතිස්ස රජතුමාට ධර්මය දේශනා කිරීම පමණයිනෙ. අනික් සිදුවීම් වෙන්නේ ඊටපස්සේ. ඒ අනුව පොසොන් පෝය තමයි අපි කොයිතරම් කෙළෙහිගුණයක් දක්වනවාද කියලා කියන දවස.

ඊළඟට අපිට ධර්මය ගෙනාව නිසාම නෙමෙයි මිහිඳු හාමුදුරුවෝ අපිට වැදගත් වෙන්නේ. බුදු දහම කියන්නේ දර්ශනයක්. එම දර්ශනය කිසිවකුටත් පහසුවෙන් තේරැම් ගන්න බෑ. ඒ දර්ශනය තේරැම් ගත හැකි පිරිසකට විතරයි එම දර්ශනය අවබෝධ කර දිය හැක්කේ. ඒ නිසා මිහිඳු හාමුදුරුවෝ පළමුවෙන්ම කරපු දේ තමයි ධර්මය තේරැම් ගත හැකි පිරිසක් අපේ රටේ ඉන්නවාද කියලා බලන එක. රටේ පාලකයකුගෙන්නෙ ඒ දේ හොයාගන්න පුළුවන් වෙන්නෙ. බුද්ධිමත් නොවුණොත් මුකුත් කරලා වැඩක් නැහැනෙ. ඒ අනුව තමයි අඹ ප්‍රශ්නය යොමුවෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නය විශ්ලේෂණය කළොත් ඒක මේ අඹ ගස් ගැන අහන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ප්‍රශ්නය ඇතුළෙ තියෙන්නේ මෙබඳු ධර්මයක් තේරුම් ගත හැකි බුද්ධියක්, ප්‍රඥාවක් වටහා ගැනීමේ, විනිවිද දැකීමේ නුවණක් තියෙනවද කියන එක. ඒ හිටපු පාලකයා නුවණැති පුද්ගලයෙක් නිසා තමයි අපිට ඇත්තටම මේ දර්ශනය ලැබෙන්නේ. වර්තමානයේදී අපි මේ දේ සමරන්නේ මේ හැමදෙයක්ම දැනගෙනද කියන එක මම දන්නෙ නෑ.

අද වෙද්දි අපිට තියෙන්නේ ජනප්‍රිය බුදු දහම. මෙම ජනප්‍රිය බුදු දහම තුළ හරි මොකක්ද වැරදි මොකක්ද කියලා හිතතවා හැරෙන්නට සැබෑ අර්ථය මොකක්ද කියලා හොයාගෙන යන්නට මිනිසුන්ට වෙලාවක් නෑ. එදාට වඩා අද වෙද්දි සමාජයට බොහෝ දේ එකතුවෙලා තියෙනවා. මේ කරුණු බොහොමයක්ම නිසා තමයි පොසොන් පොහෝ දිනයක් තවත් එක් දිනයක් ලෙස සිතන්නට මිනිසුන් පුරුදුවෙලා සිටින්නේ. කුඩා දරැවකුගෙන් වුණත් පොසොන් පොහොයේ වැදගත්කම ඇහුවම ඒ අය කියන්නේ මිහිඳු හාමුදුරුවෝ බුදු දහම ලංකාවට රැගෙන ආ නිසා එම දිනය වැදගත් වන බවයි. ඒ වගේම වැඩි පිරිසක් එදාට කරන්නේ අනුරාධපුරේ ගිහින් මිහිඳු හිමියන් වැඩි ස්ථානය නරඹලා එන එකයි. සිංහල අවුරැද්දට මිනිස්සු ගමේ යනවා. වෙසක් එකට කොළඹ එනවා. පොසොන් එකට අනුරාධපුරේ යනවා. අනුරාධපුරේ ගිහින් මිහින්තලේ බලලා එනවා. නමුත් මේ යන කිසිකෙනෙක් හිතන්නෙ නෑ මෙතන සිද්ධවුණ විපර්යාසය නිසා තමයි මේ සියල්ල වෙනස් වුණේ කියලා.

එදා යහගුණ අද විනාශ වෙලා
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග - පුරාවිද්‍යා අංශය කැලණිය විශ්වවිද්‍යාලය

එක්දහස් නවසිය, අටසිය ගණන්වල අනුරාධපුරයේ සිටි දිසාපතිවරයා එවක මිනිසුන් පොසොන් උත්සවය සැමරූ ආකාරය පිළිබඳව වාර්තා ලියලා තියෙනවා. ඔහු නිතරම කියනවා ලංකාවේ සිටින්නේ පුදුමාකාර හික්මීමක් සහිත මිනිසුන් කියලා. ඒ වගේම ඔහු සඳහන් කරනවා දහස් ගණන් මිනිසුන් එක්රැස් වුණාට කිසිදු කාලකොලහාලයක් සිදුනොවන බවත්, පින් පෙට්ටියට දමන මුදල්වලට කිසිදු ආරක්ෂාවක් නැතිවුණත් කිසිවකුගෙන් හෝ එයට හානියක් සිදුනොවන බවත්. අද තත්ත්වය එක්ක ගත්තම මේ දේ ගොඩක් වෙනස්. අද නම් එළිමහනේ පින් පෙට්ටියක් තියන්න අමාරැයිනෙ. මෙම දිසාපතිවරයාම සඳහන් කරනවා එංගලන්තයේ නම් මේ ආකාරයට මුදල් තබාගන්න අපහසුයි. ලංකාවෙ මිනිසුන් ඒ අතින් ශ්‍රේෂ්ඨයි කියලා.

හේමමාලා කුමාරි රාජකරුණා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03