
මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයට කණකොකා හඬලන්නට පටන් ගත්තේ අදක ඊයෙක නොවේය. මෙහි පරිහානිය සටහන් වූයේ මූල්‍ය අර්බුද හමුවේ සිමෙන්ති ඇතුළු අමුද්‍රව්‍ය මිල අහස උසට යාමෙනි. ඒ වගේම රුපියල අවප්‍රමාණ වීම, සේවකයන් සොයාගැනීමට අපහසු වීම, ඉදි කළ ඉදිකිරීම් අලෙවි කර ගැනීමට නොහැකි වීම, රජය විසින් ගෙවීම් සිදු නොකිරීමෙන් කර්මාන්තකරුවන් බොහෝ පිරිසක් බැංකු ණය පියවා ගැනීමට නොහැකි වී සිටීම සහ මෙරට ඉදිකිරීම් සම්බන්ධ ඉහළ දැනුමැති පළපුරුදු වෘත්තිකයන් රට හැර යාම නිසාත් ඉදිකිරීම් කර්මාන්තය මේ මොහොතේ වළපල්ලට වැටෙමින් පවතින සෙයකි. ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර පවසනුයේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ අත්දැකීම් බහුල ඉංජිනේරුවාගේ සිට පෙදරේරුවා දක්වා බොහෝ දෙනා මේ වනවිට රට හැර ගොස් ඇති බවත් ඉදිරියේදී නිවෙසක කොන්ක්‍රීට් දමාගැනීමටවත් කිසිවකු ඉතිරි නොවන බවත්ය.

යම් ගොඩනැගිල්ලක් මාර්ගයක නිමැවුමක අසිරිය දකින්නකුට ඒ සම්බන්ධයෙන් උද්දාමයක් සිත්වල ඇතිවුවද එම නිමැවුම් යට විශාල පවුල් ප්‍රමාණයක් සිටින බව නොපෙනෙයි. සේවකයන්ට ආහාර නවාතැන් සැපයීමේ පටන් විවිධාකාර වුවමනා සපුරාලීමේ අරමුණින් බොහෝ පිරිසක් මෙම ඉදිකිරීම් කර්මාන්තයේ වක්‍ර රැකියා ලාභ භුක්ති විඳින්නෝ සිටිති. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරනුයේ ඈත එපිට දුෂ්කර ගම්මානවල සිට පැමිණි තරුණයන්ය. ඔවුන් එසේ පැමිණ සිටිනුයේ දහසක් හීන මාලිගා තනාගෙනය. සමාජ දුර්වලතා හේතුවෙන් තාරුණ්‍යයේ අපේක්ෂා බලා සිටියදීම දියවී යාමට ඉඩ තැබීම මහා අපරාධයකි.
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය, නිවාස 50000 ක් ඉදිකිරීම, නගර අලංකරණ ව්‍යාපෘතිය, පාලම් 10000 ක් ඉදිකිරීම, මධ්‍යම සහ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘති රජයේ යෝජිත ව්‍යාපෘති අතර තිබුණත් මේ වනවිට ඒ සියල්ල නැවතී තිබේ. එකී නොකී සියලු ගැටලු විසඳාලමින් මෙරට ව්‍යාපාර සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවන්නැයි දිගින් දිගටම ලැබුණු යෝජනා අනුව ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීය. සුසන්ත ලියනාරච්චි යනු ජාතික ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපතිවරයාය. එසේම ජාතික ව්‍යාපාරික නිදහස් කවයේ වත්මන් සභාපතිවරයාය. ඔහු ජාතික ඉදිකිරීම් සම්බන්ධයෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකි. මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ කඩාවැටීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දැක්වීය.
“2019 ට පෙර මුළු රටම වැඩබිමක් යන තේමාව ඔස්සේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයේ උද්දීපනයක් ඇති වී තිබුණා. ඒත් මේ 2023 වසර වෙද්දී සමස්ත ඉදිකිරීම් ක්ෂේත්රයම කඩා වැටිලා. ඉදිකිරීම් ක්ෂේත්රයේ වක්‍රව තුන් ලක්ෂ හැත්තෑපන් දහසක් ද, ඍජුව ලක්ෂ තුනක් ද සිටිනවා. මෙම දෙපිරිසම එක් වූ විට ලක්ෂ 10 කට ආසන්න පිරිසක් සිටිනවා. මෙම ලක්ෂ 10 න් එක් පවුලක හතරදෙනකු සැලකුවහොත් මෙරට කෝටි 2 ක ජනගහනයෙන් ලක්ෂ 40 ක පිරිසක් මෙම ඉදිකිරීම් ක්ෂේත්රයෙන් යැපෙනවා. රටේ මූල්‍ය කළමනාකරණ දුර්වලතා හේතුවෙන් ව්‍යාපාර ඇතුළු ආර්ථිකයට දැඩි බලපෑම් සිදුවී තිබෙනවා. එයට අමතරව ඉදිකිරීම් සමාගම් කඩා වැටෙන්න සමහර සමාගම්වලත් වරදක් තියෙනවා. ඒ තමයි අවිධිමත් යෝජනා අනුව ඉදිකිරීම් සිදුකිරීම. කිසිම සමාගමකට බෑ දේශපාලන අධිකාරිය දුරකතන ඇමතුමකින් කියූ පලියට හිතූ හිතූ විදිහට ඉදිකිරීම් කරන්න. මේ ඉදිකිරීම් ක්ෂේත්රය කඩා වැටෙන්න තවත් හේතුවක් ඒක. බිලියන 5.8 ක තෝරාගත් ඉදිකිරීම් ව්‍යාපෘති 61 ක් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට අවසන් කිරීමට මුදල් වෙන් කර සියලු කටයුතු සූදානම් කර තිබෙන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා. අපිට ඒ ප්‍රකාශ ගැන කිසිම විශ්වාසයක් නෑ. ලෝක බැංකු ආධාර, චීනයෙන් ජපානයෙන් ලැබෙන ආධාර කිසිම දෙයක් තවම අපිට ලැබිලා නෑ. රජය චක්‍රලේඛයක් මගින් ලංකාවේ ව්‍යාපෘති සියයට 80 ක්ම මේ වනවිට නතර කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට මෙය යළි ආරම්භ කරන්න ගත්තොත් මේ වසර ඇතුළත අවසන් කරන්න තරම් මුදලක් මහා භාණ්ඩාගාරයේ තියෙනවාද යන්න ප්‍රශ්නයක්.” යැයිද සුසන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
කවුරුන් හෝ කොළඹ නගරයේ ඇවිදගෙන යන විට සුලභව දැකිය හැකි දසුනක් වන්නේ වැඩබිම් සේවකයන් පාලම් බෝක්කු උඩ හිඳගෙන සිටින ආකාරයත් සවස් යාමයේ වෙනත් අතිරේක ආදායම් මාර්ගවල නිරත වීමත්ය. ඇතැම් වැඩබිම් සේවකයෝ වරාය නගරයේ වැඩ අවසන් කර සවසට ගාලුමුවදොර වඩේ විකුණති. ඒ අතර ඇතැම් වැඩබිම් සේවකයන් විවිධ ජාවාරම් සහ කොල්ලකෑම්වල නිරත වී පොලිස් අත්අඩංගුවට පත් වූ අවස්ථාද පසුගිය කාලයේ අපි දුටුවෙමු. ප්රශ්නය ඇත්තේ දේශීය ඉදිකිරීම්කරුවාට පමණද? දේශීය ඉදිකිරීම්කරුවන් බහුතරයකගේ බඩට වැදී ඇති පසුබිමක ඉන්දියානුවන් ඇතුළු විදේශික වැඩබිම් සේවකයන්ට මෙම ඉදිකිරීම් නැවතීම බලපෑමක් නොකරන්නේ දැයි ප්‍රශ්නයක් මතුවෙයි. මේ සම්බන්ධයෙන් අපි විමසූ අතර එයට ලියනාරච්චි මහතා පැවසූයේ මෙවන් අදහසකි.
“කොළඹ කලාපයේ තිබෙන ඉදිකිරීම් බොහොමයක් විදෙස් පෞද්ගලික සමාගම් අත්පත් කරගෙන තිබෙනවා. දේශීය සමාගම් ව්‍යාපෘතියක් ගත්තාම අපි එයට බදු ඇතුළත් කිරීම හෝ න්‍යයාත්මක ගිවිසුම් ප්‍රකාරව ඇති සියයට තිහක අත්තිකාරම් මුදල ඉල්ලනවා. මේ විදේශීය සමාගම් සියයට තිහේ අත්තිකාරම එපා කියනවා. ඒ නිසා මහා පරිමාණ ව්‍යාපෘතිවලදී සියයට තිහක අත්තිකාරම නොගන්නා සමාගම්වලට තම ව්‍යාපෘතිය ලබාදීමට අපේ රටේ පෞද්ගලික ව්‍යාපාරිකයෝ පවා කැමැත්තක් දක්වනවා. දේශීය කම්කරුවාට වඩා ඔවුන් නිතරම ක්රියාශීලීයි. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න එයාලාට තදබල අවශ්‍යතාවක් තියෙනවා. ඔවුන් ලෝකයේ කුමන රටක වැඩට ගියත් උපායමාර්ගික ව්‍යාපාරවල නිරත වෙනවා. ඉදිකිරීම් නැතත් ඔවුන් උපායමාර්ගික වෙනත් සුළු පරිමාණ ව්‍යාපාරවල නිරත වන බව දකින්නට ලැබෙනවා.''
I සසංක චලන ගිම්හාන