
දින ගණනාවක් රත්නපුරේ යට කරගෙන තිබූ ගංවතුර දැන් බැස ගොසිනි. කළු ගඟ පිටාර ගලා ආ 26දා පෙරවරුව වනවිට හැම දෙනාම කතා කළේ ගඟේ ඉහළ යන ජල මට්ටමය. ගඟේ ජලය වේගයෙන් ගලා එද්දී කඩිමුඩියේ ගෙවල් දොරවල් අස්පස් කරන්නටත්, කාර්යාල, වෙළඳසැල් ආදියේ වූ බඩු භාණ්ඩ උස් තැන්වලට ගෙන යන්නත් බොහෝ දෙනකු කටයුතු කළේ මන්දගාමීවය. ගංවතුරක් එන්න තරම් වැස්සේ නැති එක ඊට හේතුවකි. ගංවතුර එන බවට ශබ්ද විකාශන යන්ත‍්‍රයකින් අනතුරු ඇඟවීමක් හෝ නොලැබීම තවත් හේතුවක් වන්නට ඇත. කෙසේ වෙතත් 26 දින උදේ අට වෙනකොට දැනෙන්නට වූයේ ගඟ ඉතා වේගයෙන් ගලන බවකි.
පිටාර මට්ටමට වඩා අඩුවෙන් තිබූ කළු ගඟ දෙපැයක් යන්නට මත්තෙන් මීටර් 7.5ක් වූ සුළු ගංවතුර මට්ටමට ආවේය. කලබල වූ සමහරු කඩියන් මෙන් ගෙවල් දොරවල් අස් කරන්නට වූහ. වසා තිබූ වෙළෙඳසැල් විවෘත කර ඒවායේ තිබූ බඩු මුට්ටු ආරක්‍ෂිත තැන් වලට ගෙන යන්නට වූහ. කුඩා දරුවන්, මව්වරුන්, වැඩිහිටියන්ද ආරක්‍ෂිත තැන් කරා යවන්නට වූහ.
නමුත් දහවල් 12.00 වනවිට කළුගඟ මීටර් 11.35 මට්ටමේ විය. එය මහ ගංවතුරක මට්ටම වූ මීටර් 09.5 ඉක්මවා ගිය අගයකි. කොටින්ම කිව්වොත් රත්නපුර නගරයේ වීදි බොහොමයක ගංවතුරය. බණ්ඩාරනායක මාවත පුලූඟුපිටිය කෙළින් විදිය, ඔරලෝසු කණුව ඉදිරිපිට ජලයෙන් වැසී ගොසිනි. නගර සභා ක‍්‍රීඩා පිටිය ජලාශයකි. පොලීසියේ මිදුලට ගංවතුර ආවේය.

කළු ගඟ ගලද්දී මුලින් යටවන වෙරලූප වෙල්යායට ගඟෙන් වතුර ගලන්නට විය. මොරගහයට ඇලේ සැඩපාර වෙරලූප වෙල්යාය දෙසට ගැලූවේ වේගයෙනි. වෙනදා පළල් ඇළ දෙපැත්තේ ගොඩනැගිලි නිසා පටුවීම ඊට හේතුවයි.
වෙනදා ගංවතුර එක්වන පහත්බිම් අද රත්නපුරේ දක්නට නැති නිසා ඉතිරිව ඇති පහත් බිම් ඉතා ඉක්මනින් යටවන්නට විය. වගුරු බිම් සහ පහත්බිම් වල ඉදිකෙරුණු ගොඩනැගිලි සීඝ්‍රයෙන් ජලයෙන් යටවන්නට වූයේ ඒ බිම් ගංවතුර රැඳෙන බිම් නිසාය.
ගංවතුර ගලා ආ 26දා සිකුරාදාවක් වූ අතර උදේ වරැවම හැම දෙනෙක් ගංවතුරින් සිය දේපල සහ ජිවිත ආරක්‍ෂා කර ගන්නට වෑයම් කළහ. රත්නපුර නගරය ජලයෙන් යටවෙද්දී නගරය අවට ඇති අංගම්මන බටුගෙදර, මාරපන, දෑල ආදී ප‍්‍රදේශත් නගරයට පහළින් ඇති ඇලපාත, හංගමුව, කරංගොඩ, දිමියාව, කෙහෙල් ඕවිටිගම, පළාවෙල, ආදි ප‍්‍රදේශත් යටවන්නට විය.
එදින සමනළ අඩවියට වැස්ස ලැබී තිබුණේ මිලිමීටර් 197කි. මේ ආකාරයේ මහා ගංවතුරක් ආ 2003 වසරේ ලැබුණ වැස්ස මිලිමීටර් 325කි. අඩු වැස්සකින් ගලා ආ ගංවතුර රැඳෙන්නට තිබූ පහත් බිම් ගොඩ කිරීම ව්‍යවසනයට මූලික හේතුවක් බව කවුරුත් කතා කරන්නට වූහ.
තමන්ට රැඳී ඉන්නට ඇති බිම් අහිමි කිරීමේ පළිය ගන්නා මුවාවෙන් ගඟ දරුණු ලෙස ඒ බිම් අවහිර කළ නොකළ සැමගෙන් පළිගන්නට වූයේ ඔවුන් සියලු දෙනා අවතැන් කරමිනි. ආපදාවට ලක්කරවමිනි.

රත්නපුරේට ගංවතුර ගලද්දී කිරිඇල්ල සහ අයගම, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් සෙමින් සෙමින් ජලයෙන් පිරෙන්නට විය. ගලතුර, අයගම, හංගමුව, දෙනවක, ගංගා ද දෙගොඩතලා ගලන්නට පටන් ගත්තේය.
මගුරු, දෙල්ගොඩ, කුකුළේ ගංගා ද උතුරා යන්නට විය. ඒ නිසා නිවිතිගල සහ කලාවන ප‍්‍රදේශවල ද ගංවතුර තර්ජන ඇතිවිය. 26දා සවස් වනවිට අයගමත් කලවානත් හුදකලා වූ අතර විදුලිය ඇණහිටීම් නිසා සන්නිවේදනයන්ද නැවතී ගියේය.
වැස්සේ අධිකකමට වඩා පහත්බිම් ගොඩකිරීම නිසා රත්නපුර කොළඹ පාර ඇහැලියගොඩ දී පිටාර වතුරට යට වී ගියේ වාහන කිසිවකට හෝ යා නොහැකි අයුරිනි. රත්නපුර නගරය ජලයෙන් යටවූ නිසා රත්නපුර නගරය හරහා සියලු ගමන් ඇණහිටියේ ය. කොළඹ දෙසින් රත්නපුර නගරයට ළඟාවිය හැකි එකම මාර්ගය වූයේ පැරණි දුම්රිය මාර්ගයයි. සුද්දා හැදූ රේල්පාර දැන් නැත. හැත්තෑව දශකයේ මැද භාගයේ සිට දුම්රිය රත්නපුරේට එන්නේ නැත. රේල්පාර තැනින් තැන මහා මාර්ගයක් වුවත් තවත් තැන්වල මහා මන්දරය, තවත් තැන කුඩා නිවාසය. ඒ නිසා පාර්ම්ගාඩ්න් ප‍්‍රදේශයෙන් රේල් පාරට පිවිස රත්නපුර නගරයට ආ හැකි මේ විකල්ප පාර තැනින් තැන අවහිර බොහෝය.
ගංවතුර ගලා ආ 26දා හැන්දෑ වනවිට නගරයෙන් පිට ප‍්‍රදේශවල කොටුවී සිටි ජනතාව බේරාගන්නට විධිමත් වැඩ පිළිවෙළක් කිසිවකුටත් නොවුණේ මෙවන් බරපතළ ව්‍යවසනයක් ගැන අත්දැකීම් නොවීම සහ පෙර සූදානමක් නොවීම නිසාය. එසේම සහන සැලසිය යුතු නිලධාරීන්ද ගංවතුරට යටවී සහ කොටුවීම නිසාය. එදින හැන්දෑව වනවිට කොටුවූ, අවතැන් වූ ජනතාවට පානීය ජල ප‍්‍රශ්නයෙන් සහ රාත‍්‍රී අඳුර මකා ගන්නට ඉටිපන්දමක් හෝ නැතිකමින් දැඩි පීඩා විඳින්නට සිදුවිය.
ගංවතුර විපතත් සමඟම බොහෝ ප‍්‍රදේශ නාය ගියේය. ගෙවල් පිටින් යටවී ගියේ ඒවායේ පදිංචිකරුවන් පොළොව යට මිහිදන් කරවමිනි. පාරවල් පස්කඳු කඩා වැටී අවහිර විය. ඉවුරු කපා ගෙවල් හැදූ බොහෝ තැන්වල ඉවුරු ගෙවල් මතට කඩා වැටී තිබුණි. ඇහැලියගොඩ රම්බඩ කන්ද, තලාවිටිය කන්ද, බෝපැත්ත ආදී ප‍්‍රදේශවලින් මුලින්ම නායයාම් වාර්තා විය. ඉන්පසු කලවාන පෑබොටුව, වේවැල්කඳුර ආදී ප‍්‍රදේශවලින් නායයාම් වාර්තා විය. 27දා වනවිට නිවිතිගල, ඇලපාත, අයගම, කලාවන, රත්නපුර, ගොඩකවෙල ආදී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ජීවිත හානි සිදුවූ මහා නායයාම් මෙන්ම පස්කඳු කඩාවැටීම්, ඉවුරැ සහ ගස් කඩා වැටීම් වාර්තාවන්නට පටන් ගත්තේ ගණන් මිනුම් නැතිවය.
අඟහරුවාදා සවස් වනවිට නායයාම් වලින් මියගිය ගණන අසූ හතරක් වූ අතර විසි අට දෙනෙක් අතුරුදන්ව සිටියහ. අතුරුදන්වුවන් වාර්තා වූයේ ද නායායාම් සිදුවූ ප‍්‍රදේශවලිනි. කිරිබත්ගල කන්දෙන් කොටසක් නායයමෙන් නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘කුරහන’ ගම වැළලී ගියේ තිහකට ආසන්න ගම්වැසියන් පිරිසක් සිය ඥාතින්ට අහිමි කරවමිනි. ගෙවල් පහළොවක් පමණ තිබූ තැනවත් නැත.
ගමට ඉහළින් වැසියන්ගේ ආදායම් මාර්ග වූ තේ ඉඩම් මෙසේ නායගොස් තිබුණි. ඇහැලියගොඩ නායගොස් තිබුණේ රබර් ඉඩම්ය. මිනිස් ක‍්‍රියාකාරකම් සිදුවූ බිම් නායයාම් සහ ඉවුරු කඩා වැටීම් වලට ලක්ව තිබුණි. නායයාම් සමඟම වැඩි වැස්සක් වැටුණොත් නාය යා හැකිය බවට අනතුරු අඟවා තිබූ ප‍්‍රදේශවල ජනයාටද මරබිය දැනෙන්ට විය. ඔවුන්ද තම නිවෙස්වලට ඉහළ කන්දේ බොර වතුර එන්නේ යැයි දැනුම් දෙමින් ආරක්‍ෂිත තැන්වලට එකතු වූයේ ආරක්‍ෂාවටය. ආපහු යන්නට නම් නාය නොයන බවට සහිතක ඉල්ලන්නට වූහ.
නායයාම් ගැන සහතික දෙන්නේ ගොඩනැගිලි හා පර්යේ්‍ෂණායතනයෙනි. රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල දාහතටම ඒ සඳහා ඉන්නේ නිලධාරින් දෙදෙනෙක් පමණි. මේ අවදානම් තැන් විවිධ ප‍්‍රදේශවලය. එවැනි තැන් සිය ගණනක් වාර්තා වන්නට විය. කලකට ඉහතදී නාය යන බවට නම් කළ සහ හඳුනාගත් තැන් නාය නොයා වෙනත් තැන් නාය ගියේය. මේ නිසා එම නිලධාරින් දෙදෙනාට පමණක් අවශ්‍යතා ඉටුකළ නොහැකි විය. පිටස්තර ප‍්‍රදේශවලින් නිලධාරීන් කිහිප දෙනකු ගෙන්වා ගනු ලැබුණි. නමුත් දිනකදි පරික්‍ෂා කළ හැකි ස්ථාන ගණන සීමිතය. ඒ පරීක්‍ෂා කළද ඔවුන් පවසන්නේ ද නාය යා හැකිය යන අනතුරු ඇඟවීමයි.
මිනිස් ක‍්‍රියාකාරකම් නිසාවෙන් මෙවර ගංවතුර සහ නායයාම්වලට හේතු වූ බව රහසක් නොවේ. අනවසර ඉදිකිරීම්, පහත්බිම් සහ ගංවතුර නිම්න බලහත්කාරයෙන් ගොඩ කිරීම්, බැකෝ දමා පතල් කපා පස් කඳු ගොඩ කිරීම, ඇළදොළ ගංගා ඉවුරු සහ රක්‍ෂිතවල අනවසර ඉදිකිරීම් අවහිර කිරීම් ඒ අතර විය. මේවා සියල්ල සිදුවූයේ නීතිය වල් වැදීම නිසාය. දේශපාලන බලය, ධන බලය, හමුවේ නීතිය නැමී ගියේය. අනවසර ඉදිකිරීම් කරන්නන්ට, ගොඩ කරන්නන්ට නීතිය ක‍්‍රියාත්මක නොවූ අතර ඊට අවශ්‍ය අවසර ලැබුණේ ආණ්ඩුවල ඉහළ තැන්වල අනුග‍්‍රහය ඇතිවය. ඒ අද ඊයේ නොවේ. වසර හත අටක සිටය.
මෙවැනි මහ විපතක් ආ 2003 දී ගංවතුරින් සහ නායයාම් හේතුවෙන් අසරණ වූ ජනතාවට විකල්ප ඉඩම් ලබාදී ඒවායේ නිවාසද තනා දී පදිංචි කරවනු ලැබීය. නමුත් ඔවුන් මුලින් පදිංචි වී සිටි පහත්බිම්, ගංගා ඇල දොළ ඉවුරු ආශ‍්‍රිත අනාරක්‍ෂිත තැන්වල තිබු ඉඩම්වලට නීතිමය පියවරක් නොගැනිණි. කලක් යනවිට අලුත් ගෙවල් විකුණා පරණ තැනටම ඒ ජනයා යළි පදිංචියට ගියහ. සමහරු ඒවා කුලියට දී පරණ තැනට පැමිණියහ. පරණ තැන යළි ශක්තිමත් කර ගොඩ නැගුවේය. මෙදා ඒ තැන් ජලයෙන් යට විය. දැන් යළිත් ඔවුන්ට විකල්ප ඉඩම් ලබා දිය යුතුය.
එය එසේ වුවත් මේ ගැටලුවේ තවත් පැත්තක් තිබේ. නායයන බවට හඳුනාගත් ප‍්‍රදේශවල පදිංචි ජනතාවට විකල්ප ඉඩම් දෙන්නට එදා මෙදා පැවති ආණ්ඩුවලට ඉඩම් නැත. අනුනව අවුරුද්දට බදු දුන් වතු සමාගම් වලින් ඉඩම් ඉල්ලුව ද ඔවුන් ඉඩම් දෙන්නට මැලිය. නමුත් අත්‍යවශ්‍ය ඇති ඉඩම් අත්පත් කරගන්නට බැරිය. වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නේ වසර විස්සක තිහක සිටය. ඒ නිසා නායයාම් අවදානම් ඇති තැන්වල ජිවත්වන ජනයාගේ ප‍්‍රශ්නය වැස්ස තුරල්ව යාමත් එක්කම අමතක කිරීම දිගු කලක සිට පැවත එන සම්ප‍්‍රදායයි.
රජයේ රක්‍ෂිත ඉඩම් බලහත්කාරයේ අල්ලා ගැනීම් දිනෙන් දින ඉහළ යද්දී එයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළොත් එකි නිලධාරියාට එරෙහි ගිරිය පුප්පමින් ඒ නිලධාරියා දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් ස්ථාන මාරැකරන්නට පියවර ගන්නා දේශපාලනඥයෝ මනාප රැස්කරති. මේ ව්‍යවසනයට එවැන්නන් වගකිව යුතුය. රටේ පවතින නීතිය පසෙකලා දේශපාලනඥයන්ගේ න්‍යාය පත‍්‍රවලට වැඩකරන රාජ්‍ය නිලධාරීන් ද මේ ව්‍යවසනයට වග කිවයුතුය. එපමණක් නොව අනෙකාට හෙණ ගැහුවත් තමාගේ කටයුත්ත නීතිය පැත්තකට දමා අවනීතියෙන් ඉටුකරවා ගත් දුප්පත්, පොහොසත්, ඇති හැකි, නැති බැරි සෑම ජන කොටස්ම ඊට වග කිව යුතුය.
මේ අත්වූ ඉරණම දෙස බලද්දී අපි 2003 මහ ගංවතුරින් ලැබූ අත්දැකීම් මත ඇති කරගත් පෙරහුරුව දැන් මුළුමනින්ම අමතක කර දැමීම නිසා මෙවර අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ දී විවිධ ප‍්‍රමාදයන් සිදුවූ බව විවාදයකින් තොරව පිළිගත යුතුය.
ආපදා කළමනාකරණ ඒකක නමට තිබුණද, ඒ කිසිවෙකුටත් ක්‍ෂණික තීරණ ගැනීමේ හැකියාවක් නැති බව මෙදා පැහැදිලිව පෙනුණි. 2003 ගංවතුරින් පසු යළි එවැනි ව්‍යවසනයක් ආවොත් මුහුණ දෙන්නට උවමනා ක‍්‍රමවේදයක් සාදනු ලැබීය. ඒවා පොත්පත් වලට සහ ලිපිගොනුවලට සීමාවී ඇති බව හැඟේ. මෙවැනි විපතක් හමුවේ ත‍්‍රිවිධ හමුදාවේ බලලත් නිලධාරීන් එදා ආපදා කළමනාකරණ ඒකක වලට පත්කර තිබුණි. ඔවුන්ට පිරිස් බලය මෙන් ම තීරණ සහ වගකීම් ගැනීමේ හැකියාවද තිබුණි. සැලැස්මක්ද තිබුණි. නමුත් කලකට පෙරදී යුදහමුදාව යටතේ තිබූ ආපදා කළමනාකරණ දිස්ත‍්‍රික් ඒකක යුද හමුදාවෙන් සිවිල් පරිපාලනයට ගනු ලැබීය.
වරින්වර පෙරහුරු පවත්වමින් යාවත්කාලීන කළ ආපදා කළමනාකරණ සැලැස්ම හමස් පෙට්ටියට ගියේය. නොහිතූ මොහොතක ආ මහ විපත වත්මන් නිලධාරීන්ට දැරිය නොහැකි තත්ත්වයක් විය. ඒ නිසි ක‍්‍රමවේදයන් නොවූ නිසාය.
රත්නපුර දිස්ත‍්‍රික්යේ ආපදා කළමනාකරණ සැලැස්ම දිස්ත‍්‍රික්කයට අදාළව සකසා තිබුණි. රත්නපුරේට වැහි එන කාල, සුළං එන කාල, නියං එන කාල සහ ප‍්‍රදේශ හඳුනාගෙන තිබුණි. එවැනි අවස්ථාවන් කල් තියා දැනුම් දී එන විපතකට මුහුණ දෙන්න ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය සංවිධාන ඒකක පිහිටුවා ඒවා නිතර යාවත්කාලීන කරමින් පැවතිණි. පැනඩෝල් පෙත්ත, කෑමවේල, ඉටිපන්දම, මේ සියල්ල ඒ ප‍්‍රාදේශීය කමිටුවල නායකත්වය විසින් සපයාගැනීම් ක‍්‍රමවේදයක් වගේම ආපදා තත්ත්වය ඉහළට සන්නිවේදනය කිරීමේ වැඩපිළිවල ඒ සැලැස්මට ඇතුළත් විය. ඔරැ අඟුල් පවා ස්ථානගත කරන තැන් හඳුනාගෙන තිබුණි.
මේ සැලසුම් සකස් කළේ වසර දහය දොළහකට පෙරය. නමුත් මහ ගංවතුරක් නායයාමක් නොවූ නිසාත් ආණ්ඩු මාරු වීම නිසාත් එකම ආණ්ඩුවේ ද ඇමතිවරු සහ ප‍්‍රතිපත්ති මාරැවීම නිසාත් ඒ සැලසුම් හමස් පෙට්ටියට ගියේ මෙදා සිය දෙනෙකුට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින් සහ එක් ලක්‍ෂ දසදහසකට වැඩි පිරිසක් අවතැන් කරවමිනි.

යුද හමුදාව නායත්වය දුන් කාලයේ රත්නපුරේ නායයාම්, ගංවතුර, සුළි සුළං, නියඟයන් ගණනාවකදී මනා සංවිධනයකින් කටයුතු කර ජනතාව පීඩා වලින් මුදා ගැනිණි. පිටස්තර ප‍්‍රදේශවලින් ගලා ආ සහනාධාර සැබෑ විපතට පත්වූවන්ට ලබාදුන්නේය. නමුත් අද තත්ත්වය 2003 හා සමානය.
රජයේ ආධාර විධිමත්ව බෙදුණද පිටතින් එන ආධාර ඒ ඒ පුද්ගලයන් හා සංවිධාන විසින් ගංවතුර බැසගිය ප‍්‍රදේශවල මාර්ග දෙපස රුස්ව සිටින්නට බෙදා දී ආපසු යති. නමුත් දැන් ඒ ආධාර ගන්නට ගංවතුර හෝ නායයාම් සිදු නොවූ ප‍්‍රදේශවල විවිධ පුද්ගලයෝ සංවිධානාත්මකව ඒ ඒ තැන්වලට යති. ඒ නිසා පිටතින් එන එවැනි ආධාර ලැබිය යුත්තන්ට ලැබීමේ ක‍්‍රමවේදයන් එකී සැලසුම්වලට ඇතුළත්ව තිබුණි.
මේ හැම ව්‍යවසනයකදීම ගම්වල විහාරස්ථාන සහ හාමුදුරුවරුන්ගෙන් සිදුවන මෙහෙය අගය කළ යුතුය. උන්වහන්සේලා සිවුපසය අවතැන්වූවන්ට බෙදා දෙමින් ආහාරපාන සකස් කරදෙමින් ආරක්‍ෂා කළහ. වසර දහයකට දොළහකට පෙරදි ග‍්‍රාමසේවා නිලධාරීවරයාගේ කර මත පමණක් තිබූ ඇතැම් වගකීම් අද වනවිට නිලධාරීන් හතර පස් දෙනෙක් වෙත බෙදී තිබෙන නිසා විධිමත්ව ක‍්‍රියා කිරීමේ පහසුකම පවතී. සිදුවූ දේ ගැන දොස් තැබීම නොව ඉදිරියට මුහුණ දීම කළ යුතුය. ඒ සඳහා යාන්ත‍්‍රණයක් සකසා වැඩ කිරීම අවතැන් වූවන්ට සහන සැලසීමේ දී වඩාත් නිවැරදි වනු ඇත.
අට දෙනෙකු වෙනුවෙන් ජීවිතය තෑගි දුන් සුරේෂ්
සුරේෂ් මධුශංක කටුවන තැන්නපිටිහේන ගල්පොතුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි විසිපස් හැවිරිදි තරුණයෙකි. ඔහු වලස්මුල්ල ප්‍රදේශයේ රියදුරු පාසැලක රියදුරන් පුහුණු කිරීමේ උපදේශකවරයෙකු ලෙසින් සේවය කළේය.
විසිපස්වෙනි දින රාත්‍රියේදී සුරේෂ් වලස්මුල්ල බලා රිය ධාවනය කළේය. ඒ වනවිට රිය තුළ තවත් අටදෙනෙකු සිටි අතර ධාරානිපාත වර්ෂාව නිසා මුළු ප්‍රදේශයම ජල මට්ටමින් ඉහළ ගියේය. දම්මුල්ල වේල්ල අඩි හතරක් පමණ ප්‍රමාණයක් ජලයෙන් යටවිය.
සුරේෂ්ගේ වෑන් රථයද ජලයට යට විය. ඒ වෙද්දී සුරේෂ් පරිස්සමින් වෑන් රථය රජයත් සමඟ ඉදිරියට ධාවනය කළේය. ඔවුන්ගේ වෑන් රථයට ඉදිරියෙන් පෞද්ගලික බස් රථයක්ද ගමන් කළේය.
එක්වරම බස් රථය සැඩ පහරත් සමඟ මාර්ගයේ නතර විය. ඊට පිටුපසින් පැමිණි සුරේෂ්ගේ වෑන් රථයද නතර කළේය. ජල පහර එන්න එන්නම වැඩි විය. මේ නිසා සුරේෂ් වෑන් රථයේ සිටි පිරිසව බස් රථය තුළට ආරක්ෂාකාරීව නැංගවීය.
මේ අතර පොලිස් නිලධාරීන් ඇතැළු තරුණයින් කීපදෙනෙකු එක්ව මහත් පරිශ්‍රමයක් දරා බස් රථයේ සිටි පිරිස ටිපර් රථයක් යොදා බේරා ගත්හ. තරුණයන් බස් රථය වෙත ළඟට වූයේ දුරකථන රැහැන් වල එල්ලීය. මේ නිසාම වෑන් රථයේ සිටි සුරේෂ්ද දුරකථන රැහැනක එල්ලී තම ජීවියත බේරා ගන්නට උත්සාහ දැරීය..
එහෙත් අත අත්හැරී සුරේෂ් මහ ජල රකුසාට බිලිවිය. ජලයට වැටුණ සුරේෂ් එක් නිමේෂයකින්ම නොපෙනී ගියේය. සුරේෂ්ගේ නිසල සිරුර දින දෙකක් පුරාවට ජල කඳත් සමඟ පොර බැදුවේය. අවසානයේදී විසි හත්වැනිදා සවස් භාගයේදී ජීවිත අටක් බේරා තම ජීවිතය මහ ජල පහරකට පූජා කළ තරුණයාගේ මළ සිරුර දම්මුල්ල වෙල්යායේ පහළ බෑවුමේ උණ පඳුරක් යට තිබී සොයාගැනීමට හැකිවිය.
ආරියදාසටත්, ලීලාවතීටත් තම පුතු අහිමි වූහ. නෙල්කාට තම එකම සොහොයුරා අහිමි විය. ඔවුන් තිදෙනාම බලාකියා ගත් එකම ගැලවුම්කරැ අද ඔවුන් අතර නැත. වයෝවෘද්ධ පියාත්, අසනීප වූ මවත් තවමත් පාසැල් අධ්‍යාපනය ලබන නංගීත් අද තනී වී ඇත. ජීවිත අටකට ගැලවුම දී සුරේෂ් මෙලොව හැරදා ගියේය.
කතාව හා සේයාරූ - අජිත්ලාල් ශාන්තඋදය