2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

සර්පයන්ගේ ගැලවුම්කරු කසුන්

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 202

ලෝකයේ ජීවත්වෙන මිනිසුන්ට විවිධාකාර විනෝදාංශ ඇත. ඇතැමුන් කලාව තම විනෝදාංශය කර ගනිද්දී තවත් සමහරු ක්‍රීඩාව තම විනෝදාංශය කර ගනිති. පිළියන්දල පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි කසුන් දිල්රංගටද හරි අපූරු විනෝදාංශයක් ඇත. ඔහුගේ විනෝදාංශය ඇත්තේ සත්වයන් සමඟය. තමන් ජීවත්වන ප්‍රදේශයේ පමණක් නොව ක්ෂණිකයෙන් යා හැකි ඉසව්වක සිටිනා සර්පයකු අල්ලා ඒ සතාට ජීවිත දානය දෙන්නට කසුන් අමතක කරන්නේ නැත. වර්තමානයේදී එය තමාගේ විනෝදාංශය බවට පත් කරගෙන සිටී.

''මම පාසලේ හත වසරේ ඉගෙන ගන්න කාලයේදී තමයි මේක පටන් ගත්තේ. අමු අමුවේ මිනිසුන් සර්පයන් මරණවා මම පුංචි කාලේ දැකලා තිබුණා. ගෙදරකට ආපු සර්පයන්ට කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව පොලු මුගුරුවලින් දමලා ගහනවා. ඒ කාලයේදී මමත් සර්පයන්ට හරි බයයි. හැබැයි මම සත්තු මරණවාට පොඩි කාලේදීත් කැමැති නැහැ. ඉතින් එහෙම මරන්න හදපු සර්පයන්ට මම මට පුළුවන් විදිහට බේරලා ඇරියා. ඒ කාලේදී නම් මම සර්පයන්ව අතින් ඇල්ලුවේ නැහැ. හැබැයි අද නම් මම සර්පයන්ව අල්ලන්න කිසිම බයක් නැහැ.''

යැයි කසුන් දිල්රංග දේශයට පැවසීය.

ඒ අනුව වර්තමානය වනවිට දිවයින පුරා විසිරී සිටි සර්පයන් ඇතුළු විවිධ සතුන් බොහොමයක් මරණින් බේරා නිදහස් කිරීමේ හැකියාව කසුන්ට ලැබී ඇත. මසකට සියයකට අධික සර්පයන් කසුන් මරණින් මුදවා ගනී. මුල් කාලයේදී කසුන් සර්පයන් ඇතුළු උරගයන්ට දන්වා ඇත්තේ අධික බයකි. වරක් ඔහුගේ ලොකු අම්මාගේ නිවෙසට යාබද නිවෙසකට පැමිණ සිටි උරගයකු නිසාවෙන් නිවැසියන් සිටියේ මර බයෙනි. විගසින් එතැනට ගිය කසුන් යම් ආධාරකයක් මගින් සතාව බෝතලයකට දැමුවේය. මුල් කාලයේදී කෝටු කැබැලි බට කැබැලි සතාට ඇඟමත තබා සතාට හානියක් නොවන්නට හැකි පමණින් පරිස්සමින් කසුන් උරගයන් අල්ලා හානියක් නොවන පරිදි මුදා හරින්නේය.

''ලංකාවේ බොහෝ මිනිසුන් උරගයන් හඳුන්වන්නේ සීමිත නම්වලින් විතරයි. තිත් තිබුණොත් ''පොළඟා'' කියයි. ඉරි තිබුණොත් ''කරවලෙක්'' හඳුනාගන්න බැරිවුණොත් ''මාපිලා'' කියනවා. නමුත් ලංකාවේ උරගයන් වර්ග එකසිය ගණනක් සිටිනවා. අද වෙද්දී ඒ සතුන්ව වෙන වෙනම මට හඳුනාගන්න පුළුවන්. මේ වෙද්දී මගේ දුරකථන අංකයට ඇමතුම් බොහෝමයක් එනවා. මීට දින කිහිපයකට උඩදී අඩි හතකට වඩා වැඩි නයෙක් ගෙදරක හිටියා. මම ගිහින් පැය ගණනකට පස්සේ ඉතා ආරක්ෂිතව ඒ සතාව අල්ලලා, ආරක්ෂිත තැනකට මුදාහැරියා. සතාගෙන් ඒ මිනිසුන්ටත්, ඔවුන්ගෙන් මේ සතාටවත් කිසිදු හානියක් සිදුවුණේ නැහැ. ලංකාවේ හැම පැතිවලින්ම මට ඇමතුම් එනවා. නමුත් මට ඒ මොහොතේ යා ගන්නට නොහැකි පැතිවලට මම යන්නේ නැහැ. හැබැයි මම වගේම සතුන්ව අල්ලලා මුදාහරින අයට සම්බන්ධ කරලා දෙනවා.'' යැයි කසුන් දිල්රංග කියයි.

කසුන් උරගයන් අල්ලා මුදාහරිනවා පමණක් නොව රෝගී වූ සතුන්ට ප්‍රතිකාර ලබාදෙන තරුණයෙකි. නිවෙස්වලට පැමිණෙන ගැරඬියන්ට භූමිතෙල් හෝ පෙට්‍රල් ඉසීම හේතුවෙන් සත්වයා දැඩි වේදනාවකට පත්වෙයි. එය මිනිසකුට ඇසිඩ් ස්වල්පයක් වැදුනාටත් වඩා දරුණු වේදනාකාරී තත්ත්වයකි. එයින් පුදුමාකාර වේදනාවක් විඳින සතා අවසානයේදී මරණයට පත්වේ. එවැනි භූමිතෙල් වැදුණු බොහෝ සර්පයන්ට කසුන් ප්‍රතිකාර කොට සුවපත් කර ඇත. කසුන් භූමිතෙල් වැදුණ සර්පයාට කෝමාරිකා ගල්වා ඇඟ සිසිල් කරයි. එමෙන්ම කෝමාරිකා ජෙල් ආලේප කරයි. ආහාර ගැනීමට අපහසු සර්පයන්ට කසුන් බිත්තර පොවයි. කුකුල් මස් කවයි. තවත් සතකුගේ ජීවිතයක් නසන්නට අකමැති නිසාම කසුන් රෝගී වූ සර්පයන්ට කුකුල් මස් ලබාදෙයි. එක්වරක් ප්‍රතිකාර කරද්දී සර්පයෙක් කසුන්ට දෂ්ඨ කළේය. නමුත් එයින් විශාල අනතුරක් කසුන්ට සිදුවී නැත. කසුන් මේ සොබාදහම විශ්වාස කරනා තරුණයෙකි. සොබාදහමට, සතුන්ට ආදරය කරනා මිනිසාව ස්වභාව දහම විසින්ම ආරක්ෂා කරනා බව ඔහු හැම මොහොතක විශ්වාස කරන්නේය. දෂ්ඨ කළ සර්පයාගේ විෂ ශරීරගත වී නොතිබීම හේතුවෙන් කසුන්ගේ ජීවිත අනතුරක් සිදු නොවුණි.

''මම යම්තාක් දුරකට පාරම්පරික වෙදකම් ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම ආයුර්වේද පොත්පත් කියවීමත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් මත ව බොහෝ ප්‍රතිකාර ක්‍රම ඉගෙන ගත්තා. ඒ හැම දෙයකින්ම ඉගෙනගෙන තමයි අද මම සත්ව ජීවිත දහස් ගණනක් බේරගෙන තිබෙන්නේ. සර්පයන්ට විතරක් නෙවෙයි කොන්ද කැඩුණු වඳුරන්, දඬුලේනුන්, ඉත්තෑවුන්, ඉබ්බන් වැනි සතුන්ටත් ප්‍රතිකාර කරල තිබෙනවා. මෑතකදී ඕනකමින් ඉබ්බෙක්ව වාහනයකින් හප්පල ඉබි මස් ගන්න උත්සාහ කරද්දී මගේ යාළුවෝ පිරිසක් කෑගහල ඉබ්බව බේරලා මම ළඟට ගෙනාවා. ඉබ්බාගේ කට්ටට ලොකු අනතුරක් සිදුවෙලා තිබුණා. දවස් තුනක් මම ප්‍රතිකාර කළත් අනතුර දරුණු නිසා ඉබ්බා මියගියා. ඒක මට හරිම දුක සිදුවීමක් වුණා.'' යැයි කසුන් වැඩිදුරටත් පවසයි.

කසුන්ගේ මෙම සත් ක්‍රියාවට මුල් කාලයේදී ඔහුගේ දෙමව්පියන් කැමැති වී නැත. සර්පයන් නිසා දිනෙක කසුන්ට අනතුරක් සිදුවේවි යැයි ඔවුහු බිය වූහ. එකල සමාජයෙන්ද ඔහු විහිළුවලට ලක්විය. ඇතැමුන් සර්පයන් අල්ලන කසුන් ''පිස්සෙක්'' යැයි කී අවස්ථාද තිබුණි. නමුත් අද මුළු සමාජයටම කසුන් හොඳ පිළිතුරක් දී හමාරය. වර්තමානය වනවිට කසුන් සත්වයන් බොහෝමයකට ජීවිත දානය දී අවසානය. ඔහුගේ ආදරණීය බිරිඳගෙන්ද මේ හැම කටයුත්තකටම ධෛර්යය ඔහුට ලැබේ. කසුන් ව්‍යාපාරිකයෙකි. රුකියාව කරනා අතරතුරේදී ජීවිත දානය සතුන්ට ලබාදෙන මෙම සත් ක්‍රියාවෙන් මේ තරුණ හිතට ලැබෙන සතුට මුදලින් ලබාගත නොහැකි බව කසුන් පවසන්නේය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03