මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ශ්‍රී ලංකාව ව්‍යාපාර පටන් ගන්න හිතන්නේ ගොඩක් දෙනා අතර මඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක් අපි ඔයාලට දෙනවා...
අලුත් අදහස් එක්ක පරණ මහන මැෂිමෙන් වැඩක් ගමු

අපේ රටේ ගෘහණියන් විශාල ප්‍රමාණයක් සතුව මහන මැෂින් තියෙනවා. ඒත් ඇඳුම් මැසීම ආදායම් මාර්ගයක් විදිහට නඩත්තු කරන්නෙ සීමිත පිරිසක්. දැනුම මදිකම හරි, තමන් අවට සිටින ඇඳුම් මැසීම සම්බන්ධ ව්‍යාපාර සිදු කරන අය එක්ක තරග කිරීමට ඇති අකැමැත්ත හරි, කාලය සොයා ගැනීමට අපහසුවීම හරි නිසා ගොඩක් දෙනෙක් මේ ගැන උනන්දු වෙන්නෙ නෑ.
ඒත් මහන මැෂිමක් තියෙනවා නම් ඔයාට විනෝදයට වගේ පටන් ගන්න පුළුවන් අපූරු ව්‍යාපාර ඕනෑ තරම් තියෙනවා. ඇඳුම් මැසීම ප්‍රිය නොකරනවා නම් හොඳම දේ තමා පුංචි බෑග්, ටේබල් මැට්ස් වගේ පුංචි පුංචි විසිතුරු දේවල් මහන්න පටන් ගන්න එක. මේ සඳහා අවශ්‍ය දැනුම දැන් යූටියුබ් එකේ, අන්තර්ජාලයේ ඕනෑ තරම් තියෙනවා. ඔයාට තියෙන්නෙ සර්ච් කරන්න.
ඊටපස්සේ ඔයාට පුළුවන් කැමැති දේවල් විනෝදෙට වගේ මහන්න පටන් ගන්න. පහසු වෙලාවක පහසු විදිහට කරන්න පුළුවන්. ඊටපස්සේ තියෙන්නෙ වෙළෙඳපොළක් හොයාගන්න ප්‍රශ්නය. කාටවත් මේවා ලබා දෙන්න ඕනෙ නෑ. ඔයා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ඉන්නවනම් කේක් ගිණුම්වලට මේ දේවල් දාන්න පටන් ගන්න. අඛණ්ඩව මේ දේවල් සමාජ මාධ්‍යයට දාන ඔයාට ඉල්ලුමක් ඉබේම හැදෙනවා. පස්සේ විධිමත් ඔන්ලයින් ව්‍යාපාරයක් විදිහට මේ පුංචි අදහස පරිවර්තනය කර ගන්න ඔයාට පුළුවන්.
පඩි දවසට ඔෆිස් එකේ බිස්නස් කරමු

ඔයා දැනටමත් කාර්යාල සේවකයෙක්ද? ගන්න වැටුප මදිවෙලා ඉන්නවද? මේ අදහස් ඔයාට ගොඩක් වැදගත් වෙයි. කාර්යාල වැටුප් දවස්වලට විවිධ ආයතනවලින් ඇවිල්ලා ගෙදරදොර උපකරණ, එදා ජීවිතයට අවශ්‍ය වන ද්‍රව්‍ය අලෙවි කරනවා මේ වෙනකොට ඔයාලා දැකලා ඇති.
පුංචි උත්සාහයක් දරලා තමුන්ගේ ප්‍රදේශයේ තියෙන දෙයක් මෙහි වැටුප් දවසට ඔයාට පුළුවන් කාර්යාලයට අරගෙන යන්න. පළතුරු ජාතියක්, එළවළු ජාතියක්, එහෙම නැත්නම් කරවල වගේ දෙයක් මේ වැඩේට බොහොම හොඳයි. මේ වගේ දෙයක් ඔයාගේ පළාතේ නැත්නම් නිවාඩු දවසක කොටුව පැත්තෙ ගිහිල්ලා කාර්යාල කට්ටියගේ අවශ්‍යතා අනුව දේවල් අරගෙන එන්න ඔයාට පුළුවන්.
පුංචි වෙහෙසක් දරන්න වුණත් කම්මැලි නැතුව කළොත් මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. වැටුපට අමතරව කීයක් හරි හොයාගන්නවා වගේම කවදා හරි දවසක ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න මේ වැඩේ හොඳ අත්තිවාරමක් වෙයි.