පුරාවිද්‍යාව රටේ කෙතරම් පට්ට ගැසුවද ශ්‍රී ලංකාවට ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියක් තිබුණේ නැත. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය 2008 ඔක්තෝබර් 20 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කෙරිණි. එම ප්‍රතිපත්තිය සකසන කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතායි. පුරාවිද්‍යා ප්‍රතිපත්තියේ මෙසේ සඳහන්ය.
පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණයේ වගකීම් දරන උපරිම ආයතනය වන්නේ රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. එහෙයින් ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය පිළිබඳ නියාමන ආයතනය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. එහෙයින් මෙම ආයතනයේ විද්‍යාත්මක මාණ්ඩලික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ සිටින උසස්ම වෘත්තීය පුරාවිද්‍යාඥයන්ගෙන් සමන්විත විය යුතුය.
එලෙස පුරාවිද්‍යා ප්‍රතිපත්තිය සකස් කිරීමට මුල්තැන ගත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට පසුගිය 23දා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩලයේ එම තරණයට හේතුව වශයෙන් සඳහන් කෙරුණේ දෙපාර්තමේන්තුව යටතේ මිලදී ගැනීම් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇති අක්‍රමිකතා මත ගොමුවූ චෝදනා පත්‍රයක් බවයි. පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් නොවීම, පුරාවිද්‍යා ඉඩම් අනවසර භාවිත කරන්නන් පිළිබඳව සැලකිලිමත් නොවීම සහ පුරාවිද්‍යා පනත ප්‍රකාරව බලය ක්‍රියාත්මක නොකිරීම ආදී චෝදනා රජයේ පාර්ශ්වයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කර තිබේ.
එලෙස අක්‍රමිකතා සිදුකළැයි කියන ආචාර්ය සෙනරත් දිසානායක මහතාට පසුගියදා 31 දා සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුල් පුටුව අහිමි විය. පුරාවිද්‍යා පනත,
පර්යේෂණ, ගවේෂණ, කැණීම් සංරක්ෂණය ආදී සුපුරුදු වදන් ඔහුගේ වාග් කෝෂයෙන් ඉවත්කර ඇත. ඒ වෙනුවට ඔහුට උසස්වීමක්ද සමඟ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් පදවියක් ප්‍රදානය කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුල් පුටුවේ සිට අමාත්‍යංශ ලේකම් පදවියකට පත්වූ පළමු පුරාවිද්‍යාඥයා ලෙසද ඔහු ඒ අනුව වාර්තාවක් තබා ඇත.
ආචාර්ය සෙනරත් දිසානායක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එළවීමේ කුමන්ත්‍රණය අද ඊයේ පැවති එකක් නොවන බවයි ආරංචි වන්නේ. එහි මුල් පුටුවේ වැජඹීමට බොහෝ බලවේගවලට අවශ්‍යව තිබුණි. මේ අතර අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉවත් කිරීමට එරෙහිව කොළඹ ප්‍රධාන කාර්යාලයේ පුරාවිද්‍යා නිලධාරීන් සහ ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලවල නිලධාරීහු පසුගිය සතියේ විරෝධතාවක ද නිරත වූහ.
ලෝක උරුම සීගිරිය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජනා වූ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා නොදීම, මිහින්තලේ කළුදිය පොකුණ ආශ්‍රිත සංචාරක හෝටල් ව්‍යාපෘතියකට අවසර නොදීම ආදී කරුණු මේ ඉවත් කිරීමට ආසන්න හේතු ලෙස බලපා ඇතැයි මාධ්‍යවල වාර්තා කෙරිණි.
මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අයිති අධ්‍යාපන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කිසිදු ව්‍යාපාරිකයකුට කිසිදු පුරාවිද්‍යා ඉඩමක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කර නොමැති බවයි.
සීගිරියේ දකුණු දොරටුව ආශ්‍රිතව විදුලි සෝපාන ඉදිකිරීමටත් යෝජනාවක් ආවා. එයාටත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කැමති වුණේ නැහැ. ඒකට හේතුව සීගිරියට පුරාවිද්‍යා ආඥා පනත අනුව එවැනි වෙනස්කමක් කිරීමට ඉඩ නැතිවීමයි. අධ්‍යක්ෂ ජනරාල්තුමා කළේ පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කිරීම පමණයි. ඔහුගේ පෞද්ගලික අදහස් ක්‍රියාත්මක කිරීම නොවේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් අප සමඟ පැවසීය.
වර්ෂ 2013 දී අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ ගවේෂණයක් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරිණි. එහිදී පුරාවිද්‍යා ස්මාරක 400කට අධික සංඛ්‍යාවක මායිම් සලකුණු කොට ගැසට් කෙරිණි. එයට නැගෙනහිර පළාතේ සමහර දේශපාලනඥයන්ගෙන් විරෝධතා එල්ල විය. පසුගිය දිනවල මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක හඳුනා ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. එහිදී පුරාවිද්‍යා ස්මාරක රාශියක් හඳුනාගෙන මායිම් සලකුණු කිරීමට හැකියාව ලැබුණි. එම ව්‍යාපෘතියටද සමහර දේශපාලනඥයන් විරෝධය පළකළ බව වාර්තාවේ. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉවත් කිරීමට මේ සෑම අංශයකින්ම පීඩනයක් එල්ල වූ බව පෙනේ. මේ පුරාවිද්‍යාඥයෙක් පැවසූ අදහස්ය.
හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමා ජීවිතයම කැප කළේ ශාස්ත්‍රීය කටයුතුවලට ගවේෂණ අධ්‍යක්ෂ වශයෙන් සිටි කාලයේ ඔහු ක්ෂේත්‍රයේ ඉන්න විට පවුලේ අය ගැනවත් බැලුවේ නැහැ. අදාළ වැඩේටම කැපවුණා. ඔහුට අද වනවිටවත් පෞද්ගලික වාහනයක් නැහැ. අඩු තරමින් මෝටර් බයිසිකලයක්වත් නැහැ. යාපහුව ගවේෂණය කරන කාලේ සති දෙකක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැවතී සිටයි එහි වාර්තාව පිළියෙළ කළේ.
සෙනරත් දිසානායක මහතා ගවේෂණ අධ්‍යක්ෂ වශයෙන් පත්වන විට දෙපාර්තමේන්තුව ආරම්භ කර අවුරැදු 100ක් ගතවීත් ගැසට් ගතකර ප්‍රකාශ කර තිබුණේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක 280ක් පමණි. ඔහු පැමිණි අවුරුදු 25ක් ඇතුළත ආරක්ෂිත ස්මාරක 3000කට අධික ප්‍රමාණයක් ගැසට් මගින් ප්‍රකාශ කර තිබේ. ඔහු 2004 දී අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්වූ පසු තවත් වැඩසටහන් රැසක් දියත් කෙරිණි. මේ වනවිට ඔහු විසින් ආරම්භ කළ නැගෙනහිර ගවේෂණය සහ ජාතික ස්මාරක නාමාවලිය යන වැඩසටහන්ද ක්‍රියාත්මකය.
දැන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා තනතුරින් ඉවත්කර අවසානය. එච්.සී.පී. බෙල්, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, ආචාර්ය සද්ධාමංගල කරැණාරත්න, ආචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු කීර්තිමත් වෘත්තිකයන් දස දෙනකු හෙබවූ පුරාවිද්‍යා මුල් පුටුවට විද්වත් වෘත්තිකයකු අවශ්‍යව තිබේ. බොහෝවිට මුලින්ම අමාත්‍යවරයා විසින් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කර පසුව ස්ථීර අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කරනු ඇත. මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙලෙස පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ කීර්තිමත් විශිෂ්ටයන් මුල්පුටුව හෙබවූ තැනක්. හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරු, කොමසාරිස්වරු පර් යේෂණ නිසා ජාත්‍යන්තරවත් බැබළුණු චරිත. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ඒ තනතුරට පරිපාලන නිලධාරීන් පත් නොකර ක්ෂේත්‍රයේ විශාල සේවයක් කළ වෘත්තිකයකු පත්කරන ලෙසයි. පත්වන පුද්ගලයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන, අපේ උරුමය ආරක්ෂා කළ හැකි කෙනෙක් විය යුතුයි.
ඒ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසුවේ මෙවැනි අදහසකි.
මේක විද්‍යාත්මක ආයතනයක්. අවසාන බලධාරියා වන්නේ අධ්‍යක්ෂ ජනරාල්. නිදන් හෑරීම, පුරාවස්තු විනාශය වගේ අපරාධයකදී අවශ්‍ය උසාවි කටයුතුවලට පුරාවිද්‍යා ආඥා පනතේ “15 ඈ” වගන්තිය අත්සන් කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමයි. අවශ්‍ය වූ විට උසාවියට සාක්ෂි දෙන්නත් ඔහුට සිදුවෙනවා. මේ නිසා පත්වන පුද්ගලයාට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ හැම අංශයක් ගැනම හසල දැනුමක් තිබිය යුතුයි. පුරාවස්තුවක් ගැන අවසාන තීරණය ගන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. පුරාවස්තු හානියකදී නඩු භාණ්ඩ සම්බන්ධයෙන් එය විශේෂයෙන් බලපානවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක පටන් නිලධාරි හිඟයකින් පීඩා විඳී. අලුත් ආණ්ඩුව පත් වුණත් තත්ත්වය වෙනස් වුණේ නැත. කැණීම්, ගවේෂණ කෞතුකාගාර, නඩත්තු, පොදු සේවා, රසායන සංරක්ෂණ ආදී ශාස්ත්‍රීය අංශ රැසකට අධ්‍යක්ෂවරුන් නැත. ඇත්තේ වැඩබලන අධ්‍යක්ෂවරු පමණි. මේ නිසා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය කාලයේ සෑම අංශයකම වැඩ බාධාවකින් තොරව කරගෙන යාමට කාර්ය පටිපාටි සකස් කිරීම ආරම්භ කළේය.
දැන් ආණ්ඩුව විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමටද මුල් තැන දිය යුතුය. පසුගිය 24දා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුරුවලින් 80%ක් පුරප්පාඩු පවතින බවයි.
ජාතික උරුමය සංරක්ෂණයට කැපවූ ආයතනයකට මෙලෙස කුඩම්මාගේ සැලකිල්ල දැක්වීම ලජ්ජාවට කරුණක් නොවේද?
හෝටල් ප්‍රශ්නයෙන් ඇමැති අකිල ලිස්සා යයි
වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මණ්ඩාවල
වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා 31දා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එම නව පත්කිරීම සිදුකෙරුණේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ පරිපාලනය සම්බන්ධව 2014 වසරේදී ආරම්භ කරන ලද මූලික විමර්ශනයකට අනුව තාවකාලිකව ඔහු අමාත්‍යංශ නිලධාරි සංචිතයට අනුයුක්ත කිරීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් බවද සඳහන් කරයි.
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ හේතුව යම්කිසි හෝටල් ව්‍යාපෘතියක් සම්බන්ධ සිදුවීමක්දැයි මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් කිසි ලෙසකින් එවැනි ක්‍රියාවකට සම්බන්ධ වීමක් හෝ අනුබලයක් හෝ ලබා නොදුන් බවයි. ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ද ලිඛිතවම තමන් වෙත තොරතුරැ ලබාදී ඇති බවත් ඇතැම් පිරිස් සංවිධානාත්මකව විවිධ මාධ්‍ය ඔස්සේ සිදුකරන පදනම් විරහිත චෝදනාවන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කළේය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සතු බලතල
• ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ එය සම්බන්ධීකරණය කරමින් ක්‍රියාත්මක කිරීම.
• පුරාවිද්‍යාත්මක උරැමයන් පිළිබඳ ලේඛනයක් සකස් කිරීම.
• එම පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම සහ පවත්වාගෙන යාම.
• ශ්‍රී ලංකා පුරාවිද්‍යා උරුමයේ ප්‍රාග් ඉතිහාසයේ සිට ඓතිහාසික යුග දක්වා පර්යේෂණ පැවැත්වීම.
• පුරාවස්තු ප්‍රදර්ශන හා වෙනත් ප්‍රකාශන මගින් මහජනතාව දැනුවත් කිරීම.
• යෝජිත සංවර්ධන, කාර්මික හෝ වෙනත් ව්‍යාපෘතිවලින් බලපෑමක් සිදුවිය හැකි පුරාවස්තු ස්ථාන ගැන ඇගැයුමක් කිරීම (1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත)
කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I ඉෂාන් ප්‍රනාන්දු