2023 ජුලි 15 වන සෙනසුරාදා

සුපිරි හෝටලයක් වෙන රාජ්‍ය අමුත්තන්ගේ කොළඹ නවාතැන

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 194

රාජ්‍ය නායකයන් බොහොමයකගේ නිල නිවාසය ලෙස භාවිත කළ 'විසුම්පාය' සුපිරි හෝටලයක් බවට පත්කිරීමට සැලසුම් කරයි. කොළඹ ලිලී වීදියේ පිහිටා තිබෙන විසුම්පාය යටත්විජිත සමයේ විලියම් රජු විසින් 1835 අගෝස්තු මස 24 වැනි දින විවෘත කරන ලද ගොඩනැගිල්ලකි. දීර්ඝ කාලයක් ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරින් සඳහා නේවාසිකාගාරයක් ලෙස එය භාවිත කෙරිණි. විදේශීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල පළමුව හඳුන්වන ලද්දේ 'ඇක්ලන්ඩ් හවුස්' නමිනි. කොළඹ නගරය මධ්‍යයේ පිහිටි පෞරාණික වටිනාකමකින් යුත් විසුම්පාය අභිමානවත් පෙනුමැති ගොඩනැගිල්ලකි.

1971 වසරේදී යටත්විජිත සමයට අයත්ව තිබූ ගොඩනැගිලි පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ මෙය රජය සතු දේපළක් ලෙසින් රජයට පවරා ගන්නා ලදී. කොළඹ නගරයේ පිහිටි ආකර්ශනීය ගොඩනැගිල්ලක් වූ මෙය කාලෙන් කාලයට තම නිල නිවෙස ලෙසින් භාවිත කිරීමට මැති ඇමැතිවරු කැමැති වූහ. ඒ අනුව සිරිමාවෝ බණ්ඩාරනායක, මංගල සමරවීර, අනුරුද්ධ රත්වත්තේ, ඩී.එම්. ජයරත්න, ලක්ෂ්මන් කදිරගාමර් මෙන්ම මහාචාර්ය ජී.එල්. පීරිස්, විසුම්පාය තම නිල නිවෙස ලෙසින් භාවිත කළහ. එපමණක්ම නොව, ශ්‍රී ලංකාවට පැමිණි ඇතැම් රාජ්‍ය නායකයන් නවාතැන් ගන්නා නිවහන ලෙසින්ද මෙය භාවිත කෙරිණි. ශ්‍රී ලංකාවට ඉන්දිරා ගාන්ධි පැමිණි අවස්ථාවේදීද ඇය නවාතැන් ගත්තේ වියුම්පායේය. 1977 වර්ෂයේ සිට 1983 වර්ෂය දක්වා ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජකාරි කළ කර්නල් සී.ඒ. ධර්මපාල වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගණනාවකගේ නිල නිවාසය වූයේද මෙයයි. හිටපු අමාත්‍ය හා කතානායකවරයකු වූ අනුර බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වූයේද විසුම්පාය නිවෙසේ නවාතැන් ගෙන සිටියදීය.

මෙලෙස රාජ්‍ය නායකයන් බොහොමයකගේ නිල නිවාසය වෙමින් පැවති කොළඹ නගරයේ ආකර්ශනීය ගොඩනැගිල්ලක් වූ විසුම්පාය සුපිරි හෝටලයක් බවට පත්කිරීමේ අවබෝධතා ගිවිසුම පසුගියදා අත්සන් කරනු ලැබීය. නාගරික සංවර්ධන අධිකාරිය සහ සීමාසහිත 'Azotels Hospitality' සමාගම අතර මෙම ගිවිසුම අත්සන් කෙරිණි. ඒ අනුව විසුම්පාය ගොඩනැගිල්ල වසර 50 ක කාලයකට එම සමාගමට බද්දට ලබා දී තිබේ. එම එකඟතාවය මත නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ Hong Kong Azotels Hospitality සමාගමෙහි සභාපති වූ Adrian Zecha මහතා ගිවිසුමට අත්සන් කළහ.

ඒ අනුව Azotels Hospitality සමාගම විසින් Hunas Holding සහ Japan’s Partner Consortium සමඟ එක්ව සුපිරි හෝටලයක් ලෙස මෙය පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇත.

රටේ ආර්ථික තත්ත්වය මත නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වැය නොකර පෞද්ගලික සහ රාජ්‍ය හවුල්කාරිත්වයෙන් මෙවැනි පෞරාණික ගොඩනැගිලි සංවර්ධනය කිරීම අරමුණ බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ඉදිරියේදී මෙය බුටික් හෝටලයක් ලෙසින් සංවර්ධනය කිරීමට යෝජනා වී ඇති අතර ඉහළ පෙළේ සංචාරකයන්ට නවාතැන් ගත හැකි සුඛෝපභෝගී කාමර, පොදු ප්‍රදේශ සහ අවන්හල්වලින් සමන්විත වේ.

එලෙස ඉදිරියේදී විසුම්පාය ගොඩනැගිල්ලේ ඇති සුවිශේෂී ලක්ෂණවලට කිසිදු හානියක් නොවන අයුරින් සංවර්ධන කටයුතු සිදුකෙරෙන අතර ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති විශාල උද්‍යානය එළිමහන් ප්‍රසංග සහ මංගල උත්සව සඳහා වෙන් කෙරෙනු ඇත.

I දිශානි ජයමාලි කරුණාරත්න