කිසියම් පුද්ගලයකුගේ කැස්සේ ශබ්දය මත පදනම්ව COVID-19 සහ අනෙකුත් ශ්වසන රෝග හඳුනා ගතහැකි ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීමට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් ඇතුළු පර් යේෂණ කණ්ඩායමක් සමත් වී තිබේ.. ඔහු මහාචාර්ය උදන්ත අබේරත්නය. ඔහුගේ මෙම නව සොයාගැනීම ලොව ප්‍රධාන පෙලේ ඖෂධ නිෂ්පාදන සමාගම්වල අවධානය දිනාගැනීමට සමත්ව තිබේ.
නිව්මෝනියා රෝගීන්ගෙන් ලබා ගන්නා දත්ත පසුව කෘත්‍රිම බුද්ධිය පාදක කර ගනිමින් විශ්ලේෂණය කෙරෙන අතර ඒවා පරිඝණක ගතකොට එමගින් යෙදවුම වෙත යොමු කෙරෙන බවත් ලොව පුරා විශාල පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇදුම රෝගයෙන් පෙලෙන අතර, එවැනි රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා මෙම සොයාගැනීම ඔස්සේ පදනමක් දැමීමට තමාට හැකිවීම ජයග්‍රහණයක් වන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය උදන්ත අබේරත්න ඔස්ට්‍රේලියාවේ SBS සිංහල සේවයට ප්‍රකාශ කර තිබේ.
නිව්මෝනියාව වැළඳුණ පුද්ගලයකුගේ කැස්ස සාමාන්‍ය පුද්ගලයකුගේ කැස්සට සාපේක්ෂව සංඛ්‍යාත්මක වශයෙන් වෙනස්කම් පවතී. නිව්මෝනියාව වැළඳුනු රෝගියකුගේ පෙනහළු තුළ ජලය පිරීම සිදුවන අතර එවැනි රෝගියකු කැස්ස විට, එම කැස්සේ ශබ්දය ඇසුරින් දත්ත සහ තොරතුරු ලබා ගැනීමට මෙම නව යෙදවුම මගින් සිදුකළ හැකිය.
මෙම යෙදවුම මගින් ප්‍රධාන වශයෙන් නිව්මෝනියා රෝගය පිළිබඳ තොරතුරු අනාවරණ කර ගැනීමට හැකිවූ අතර පසුව ඇදුම ඇතුළු ශ්වසන රෝග රුසක් විනිශ්චය කිරීම සඳහා ප්‍රවර්ධනය කර තිබේ. නාසයෙන් දියර ගැලීම හෝ උණ වැනි සරල රෝග ලක්ෂණ සම්බන්ධයෙන් වාර්තා කිරීමටද මෙම යෙදවුමට හැකිය. මිනිත්තුවක හෝ ඊට වැඩි සුළු කාලයක් තුළ, රෝගියාට විශේෂිත රෝගයක් තිබේද යන්න, ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරමින් හඳුනාගත හැකිය. ඇදුම වැනි නිදන්ගත රෝග නිවසේ සිටම නිරීක්ෂණයට සහ කළමනාකරණය කිරීමටද මෙම යෙදවුම මගින් හැකිවේ.
නිව්යෝර්ක් සහ බ්‍රිස්බේන් වැනි සංවර්ධිත නගරවල පමණක් නොව පහසුකම් අවම උප සහරා අප්‍රිකාවේ සිටින පෙනහළු ආශ්‍රිත රෝගීන්ට කිසියම් සේවයක් කිරීම තම අරමුණ වූ බවත් ඒ සඳහා ලාභදායී තාක්‍ෂණයක් නිර්මාණය කිරීමට තමාට අවශ්‍ය වූ බවත්, වෛද්‍ය වෘත්තිකයන් සමඟ සාකච්ඡා කොට සංවර්ධනය කරන ලද මෙම ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණය වෛද්‍යවරයකු වෙදනලාව භාවිතා කර රෝගියෙකුගේ පෙනහළුවලින් නිකුත්වන ශබ්දවලට සවන් දෙන ආකාරයටම ක්‍රියාත්මක වන බවත් මහාචාර්ය අබේරත්න සඳහන් කර තිබේ.
පසුගිය වසරේ සිදුකර ඇති අධ්‍යයනයන් මගින් පෙන්වා දී ඇත්තේ රෝග ලක්ෂණ සහිත රෝගීන් තුළ ඇති වෛරස හඳුනාගැනීමේදී මෙම යෙදවුම සියයට 92 ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි. තවදුරටත් එහි සායනික අත්හදා බැලීම් සිදුකෙරෙමින් පවතී. Pfizer සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙතෙක් ලබා ඇති දත්ත මගින් තමන් දිරිමත් වූ බවයි. ඉදිරියේදී COVID-19 සම්බන්ධ පරීක්ෂණ සඳහාද මෙම යෙදවුම භාවිතා කළ හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් මෙම යෙදවුම තවදුරටත් වර්ධනය කිරීමටත්, මෙම වැදගත් නිෂ්පාදනය හැකි ඉක්මනින් පාරිභෝගිකයින් වෙත ලබාදීමටත් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබේ.
ගෝලීය මට්ටමින් සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි පර් යේෂණ ඉතා වැදගත් යැයි ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩෙබෝරා ටෙරී සඳහන් කර තිබේ.
මෙවැනි යෙදවුමක් නිර්මාණය කිරීම සඳහා මහාචාර්ය උදන්ත අබේරත්නට පෙළඹවීමක් ඇතිවූයේ බිල් ගේට්ස්ගේ Bill and Melinda Gates Foundation නමැති පදනම මගින් ලොව ළමුන් වැඩි සංඛ්‍යාවක් මිය යාමට බලපාන රෝගවලට පිළියම් යෙදීම සඳහා නව ප්‍රතිකර්ම සොයාගැනීමට ගන්නා ලද උත්සාහය හේතුවෙනි. එම පදනම් මගින් නිව්මෝනියා රෝගයෙන් පෙලෙන පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කිරීමට නව ක්‍රම සොයාගැනීමට හැකියාවක් තිබෙන පිරිසට ඒ සඳහා අයැදුම් කරන ලෙසට කරන ලද ඉල්ලීම මත ඒ සඳහා අයැදුම් කිරීමට තමා පෙළඹුණ බව මහාචාර්ය උදන්ත සඳහන් කොට තිබේ.
තම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු පර් යේෂණ කටයුතු සඳහා මහාචාර්ය උදන්ත අබේරත්න සේවය කරන ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදල් ප්‍රදානයක් එම පදනම පිරිනමා තිබේ. මෙම පර් යේෂණ සඳහා ඕස්ට්‍රේලියාවේ, ඉන්දුනීසියාවේ හා ඇමරිකාවේ සායනික වෛද්‍ය කණ්ඩායම්වල සහාය ද ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ වනවිට මහාචාර්ය උදන්ත යටතේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන්ගේ සහායද එම විශ්වද්‍යාලයේ මුලිකත්වයෙන් පිහිටවූ ResApp Health සමාගමේ සේවය කළ සියලුම පර් යේෂක කණ්ඩායම්වල සහයද මේ සඳහා ලැබී තිබේ.
මෙම පර් යේෂණයේදී ක්ෂේත්‍රය තුළින්ම එල්ලවූ අභියෝග කිහිපයකට මුහුණ දීමටද මහාචාර්යවරයාට සිදුව ඇත. මෙම පර් යේෂණ සම්ප්‍රදායික පර් යේෂණ ක්‍රමවේදයන්ගෙන් බැහැරව සිදු කිරීමට අවශ්‍ය වීම මත ඒවායෙහි සාර්ථකත්වය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත බවක් පැවති බවද ඔහු ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් මෙම පර්යේෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබූ පිරිසක් ඒ අතර සිටීම හේතුවෙන්, අවසානයේ මෙම පර් යේෂණ කටයුතු සඳහා ලොව ප්‍රධාන පෙලේ කණ්ඩායම්වල පවා සහාය ලද බව මහචාර්යවරයා සඳහන් කරයි.
තම පර්යේෂණ ඔස්සේ සොයාගත් මෙම නව යෙදවුම නිර්මාණය කිරීමෙන් අනතුරුව එය වෛද්‍ය කටයුතු සඳහා භාවිත කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබේ. මෙවැනි පර් යේෂණ කටයුතු සිදු කිරීමේදී විවිධ සෞඛ්‍ය, තාක්ෂණික මෙන්ම ගණිත යන ක්ෂේත්‍රයන්හි නියුතු පිරිස සමග සාකච්ඡා කිරීමට සිදු වූ බවත් එවැනි අවස්ථාවන්හි එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන දැනුම යම් ආකාරයක අභියෝගයක් වූ බවත් මහාචාර්ය උදන්ත සඳහන් කර තිබේ. මෙම යෙදවුම නිර්මාණය කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනයක් සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රචාරයක් සිදු කල අතර, සිංගප්පූරුව තුළද සාවද්‍ය තොරතුරු ඇතුළත් ලිපි ප්‍රචාරය වී ඇති බවද මහාචාර්යවරයා සඳහන් කර ඇත.
මෙම යෙදවුම Pfizer සමාගම මිලට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 179කටය. එතරම් විශාල මුදලක් තමාට හිමිවූ බවට හැඟවෙන තොරතුරු එම ලිපිවල අන්තර්ගතවූ නමුදු එම යෙදවුම Pfizer සමාගම මිලදී ගත්තේ ResApp Health සමාගමෙන් වන අතර එය කොටස් වෙළඳපොලෙහි ලියාපදිංචි කොට තිබූ සමාගමක් බවත් එම සමාගමෙහි තනි අයිතියක් තමාට කිසිසේත් නොමැති බවත්, එහි අයිතිය කොටස් හිමිකරුවන් සතුව පවතින බවත් මහාචාර්යවරයා සඳහන් කර තිබේ.
මාතලේ උපත ලබා ඇති මහාචාර්ය උදන්ත අබේරත්න මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ විජය විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසල් සමයේ ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයන් කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ ඔහු විශ්වවිද්‍යාලයට ඇතුලත්ව විදුලි ඉංජිනේරු විද්‍යාව හදාරා තිබේ. තම ශාස්ත්‍රපති උපාධිය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් සහ ස්නායු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර ඇති ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට සහ ඇමරිකාවට ගිය අතර තම පශ්චාද් උපාධිය සඳහා තෝරාගෙන ඇත්තේ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාවය (Biomedical Engineering). කලක් සිංගප්පූරුවේ සේවය කළ ඔහු ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සේවය සඳහාය.
ජපානයේ පැවැති ජාත්‍යන්තර සමුළුවකදී ඔහු තම පළමු පර් යේෂණ ග්‍රන්ථය එළිදැක්වූ අතර ඒ සඳහා ඔහුට "හොඳම විද්‍යාත්මක කෘතිය සඳහා හිමි සම්මානය හිමිව තිබේ.
ඉන් අනතුරුව ලොව විවිධ සමුළුවලදී හොඳම විද්‍යාත්මක කෘතිය සඳහා හිමි සම්මාන රුසක් හිමිකරගන්නට ඔහුට හැකි විය.
ඔහු Sleep apnea රෝගයෙන් පෙලෙන පුද්ගලයකුගේ හුස්ම ගැනීමේ ශබ්දය මත පදනම්ව රෝගය හඳුනාගැනීම සඳහාද පර් යේෂණ සිදු කොට තිබේ. 2009 වසරේදී පුද්ගලයකුගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග විනිශ්චය සඳහා පර්යේෂණ සිදු කර තිෙබ්. මේ වනවිට වෛද්‍ය විද්‍යාත්මකව හඳුනා ගැනීමට අපහසු ඇතැම් ලෙඩ රෝග සම්බන්ධයෙන් පර් යේෂණ සිදු කෙරෙන අතර එමගින් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට ඔහුට හැකිව තිබේ.
ඔස්ට්‍රේලියාවේ SBS සිංහල සේවයේ සහ The Island පුවත්පතේ පළවූ වාර්තා ඇසුරිණි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා