පාඩු ලබන රාජ්‍ය ආයතන යනු මේ රටේ ආර්ථිකය තුළ හටගත් පිළිකා හා සමානය. මේ රටේ ආර්ථික කඩාවැටීමේ එක් කොටසක් මේ පාඩු ලබන රාජ්‍ය ආයතන බාරගත යුතු බව ප්‍රසිද්ධ රහසකි. ආයතනයක් පාඩුව වෙත තල්ලු වීමත්, එසේ පාඩු වූ පසුව පවත්වා ගෙන යාමත්, එකී පාඩු ලබන ආයතන භාණ්ඩාගාරයේ දායකත්වයෙන් පවත්වාගෙන යාමත් රටේ ජනතාව විසින් ඉසිලිය යුතු බරක්ව ඇත.
කෙසේ වෙතත් පසුගිය සමයේ ආර්ථිකය කඩා වැටීමත් සමඟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික යෝජනා අතර මෙකී පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් තීරණයක් උඩින්ම තිබුණේය. එනම් ඔවුන්ගේ යෝජනාව වූයේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන ලෙසටය. සරලවම කිව්වොත් විකුණා දමන ලෙස කියාය. ඒ නිසා බොහොමයක් පාඩු ලබන ආයතන වෙත ''ආයුබෝවන්'' කීමට වැඩි ඈතක් නොවනු ඇත.
එකී පාඩු ලබන ආයතන ගොන්න අතර තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයටද මේ වනවිට ඒ අවදානම එල්ල වී ඇත. ඒ නිසාම ගමනා ගමන මණ්ඩලය ඉන් ගොඩ ඒම සඳහා නව වැඩපිළිවෙළක් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් හඳුන්වාදී ඇත. ඒ 2025 වනවිට ලංගමය ලාබ ලබන ආයතනයක් කිරීම සඳහාය. ඒ අනුව මෙහි වැඩිම බලපෑම සිදුවන්නේ ලංගමට අයත් රටපුරා විහිදුනු ඩිපෝ වෙතය.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ සඳහන් කළේය.
''ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අපි මේ වෙද්දී සිදුකරන ගනුදෙනුව නිසා මේ පාඩු ලබන ආයතන තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. අපි මේවා ඉක්මනින් දියුණු කරන්න ඕන. දූෂණ වංචා සියල්ල නවත්තන්න ඕන. ඒ නිසාමයි අපි 2025 දක්වා කාලයක් ලබාදුන්නේ. එහිදී දූෂණ වංචා සිදුකරන හැමදෙනාටම නීතිය ක්‍රියාත්මක කරනවා. හැම සිද්ධියක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හරහා අපි පරීක්ෂා කරනවා. එහෙම කරද්දී අපි වෘත්තීය සමිති වලටත් දේශපාලන අධිකාරියටත් කියනවා ඒවා වලට මැදිහත් වෙන්න එපා කියලා'' යැයි අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් අමාත්‍යවරයා කියූ පරිදි මෙම ආයතන පාඩු ලැබීමට මුලික හේතුව රාජ්‍ය සේවකයන්මය. කාර්යක්ෂමතාවය අඩුවීම සහ විවිධ දූෂණ ක්‍රියා හේතුවෙන් දිනෙන් දින මෙම ආයතන කඩා වැටෙන විට එම ආයතන ගොඩගැනීම සඳහා කිසිදු මැදිහත් වීමක් සිදුනොකළත් යම් සේවක විනය ක්‍රියාමාර්ගයකදී ඊට එරෙහිව නැගී සිටීමට සියදහස් දෙනා සිටිති. මේ නිසාම දිනෙන් දින මෙම ආයතන තුළ පහළ සිට ඉහළ දක්වා අක්‍රමිකතා ඉහළ ගියා මිස අඩුවක් සිදුවුණේ නැත.
''සමහර ටෙන්ඩර් අවුරුදු 30 වගේ. එකම කෙනාට දීල තියෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. ලංගමට ටයර් දෙන ටෙන්ඩර් එක අපි වෙනස් කළා. අලුත් කෙනා පරණ කෙනාට වඩා 2000ක් අඩුවෙන් අපිට ටයර් සපයන්නේ. ඒ වගේ ධාවනය කළ හැකි දුර පරණ කෙනාට වඩා අලුත් කෙනාගේ කිලෝමීටර් 8000ක් වැඩියි. ඒ නිසා මේ සියල්ලම අපි නිවැරදි කරමින්, විනිවිද බාවයකින් කරමින් ඉන්නේ'' යැයි හෙතෙම කීය.
කෙසේ වෙතත් 2025 වනවිට ලංගමය සතු සියලු ඩිපෝ ලාබ ලබන ආයතන බවට පත්විය යුතුමය. එසේ නොවුණහොත් එකී ආයතනවල වගකීම සේවකයන් කරපිට වැටෙනු ඇත. සැබවින්ම 2025 වනවිට ලාබ නොලැබුණොත් කුමක් කරන්නේද යන්න විෂය භාර අමාත්‍යවරයාගෙන් විමසීමු.
''ඇත්තටම පාඩු ලබනවා නම් අපි වහනවා. මොකද තවදුරටත් පවත්වාගෙන යන්න බෑ අපිට ඒවා. ඒ නිසා අපි දැනට ඒ හැමදෙනාටම කියලා තියෙනවා 25 වෙද්දී ඒ ආයතන ලාබ ලැබිය යුතුයි කියලා. අපි පාඩු ලබන ඩිපෝ හඳුන්වාගෙන ඒ ආයතන සක්‍රීය ආයතන බවට පත් කරන්න කටයුතු කරමින් යන්නේ'' යැයි අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ එක පැත්තකින් හොඳය. එනම් මෙතෙක් කල් තම ආයතනය ගැන වගකීමක් නැති සේවකයන්ට මේ ආකාරයෙන් අරමුණක් ලබාදීම මත ආයතනයේ අනාගතය සේවකයා අතට පැවරෙනු ඇත. මෙතෙක් ආයතනය පණ අදිමින් සිටියත් සේවකයන්ට කිසිදු හැඟීමක් නොමැතිව වැඩකටයුතු කළ ආකාරය අප ඇස් පනාපිට දැක ඇත. එහෙත් දැන් වැඩේ ලෙහෙසි නැත. ආයතනය පෙට්ටියට දමා ඇණේ ගහනවාද නැද්ද යන්න සේවකයා මේ වසර දෙක තුළ තීන්දු කළ යුතුව ඇත.
I ගයාන් ගාල්ලගේ