සුරා බද්ද ජූනි මාසයේ සිට පහළ හෙළන බවට රාවයක් තිබියදී හදිසියේම මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 01 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව එදින සිට සුරා සහ දුම්වැටි බද්ද 20% කින් ඉහළ නංවා ඇත. මේ හේතුවෙන් මෙයට වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද එකතු වූ විට සැර මත්පැන් මිලිලීටර් 750 ක බෝතලයක මිල රුපියල් 320 – 391 අතර ප්‍රමාණයකින් ඉහළ යාමට නියමිත බව මත්පැන් සමාගම් පවසයි. එසේම අඩු සැර බියර් බෝතලයක මිල රු. 50/- කින් පමණ ඉහළ යාමට නියමිතය.
සුරා බදු දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පැවසුවේ දැනට ඉහළ දමා ඇත්තේ සංස්ථා මත්පැන් පමණක් වන අතර සෙසු සමාගම් තම උපරිම මිල පිළිබඳ ඉදිරි දිනවල නිවේදන නිකුත් කිරීමට නියමිත බවය. දැනට අඩුම මිලක් පවතින පරිපාක ස්ප්‍රිතු 97% ක් සහ පොල් ස්ප්‍රිතු 3% ක් අඩංගු අතිවිශේෂ අරක්කු හෙවත් ගල් අරක්කු දැනට රු. 2840/- කට අලෙවි වූ මිලිලීටර් 750 බෝතලයක මිල නව මිල වන්නේ රු.3200/- කි. මෙයට අනුරෑපීව මිලිලීටර් 375 සහ මිලිලීටර් 190 බෝතල්වල මිලද වෙනස් වෙනවා ඇත.
මෙම ජූනි මාසයේ සිට මත්පැන් සහ බියර්වල මිල අඩු කිරීමට මුදල් අමාත්‍යංශය සූදානම් වන බව ප්‍රචාරය වී තිබුණි. මෙයට හේතුව ලෙස දැක්වූයේ මිල විශාල ලෙස වැඩිවීම නිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහළ යාම බව වාර්තා විය. මෙම වසර ආරම්භයේ සිටම මත්පැන් සහ බියර් අලෙවිය ශීඝ්‍ර ලෙස පහළ වැටෙමින් තිබෙන බව නිෂ්පාදන සමාගම් මුදල් අමාත්‍යංශයට දන්වා තිබිණ. අලෙවිය අඩුවන විට එයට සමාන්තරව රජයේ බදු ආදායම පහළ වැටේ. එහෙත් මිල අඩු කිරීමෙන් අලෙවිය වැඩි කර ගන්නේ නම් රජයේ බදු ආදායම සමඟ සමාගම්වල ලාභය ද ඉහළ යන නිසා සාධාරණ ලෙස මිල අඩු කළහොත් දෙපාර්ශ්වයටම වාසිදායක වන බව සමාගම් පෙන්වා දී තිබිණ. එහිදී සුරා බද්ද රු. 2000/- කින් අඩු කරන ලෙස සමාගම් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කර යම් පියවරක් ගන්නා බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ඒ අවස්ථාවේදී සමාගම්වලට පොරොන්දු වූ බවද වාර්තා විය. මෙයට තවත් හේතුවක් වනුයේ සීනි සමාගම දේශීයව නිෂ්පාදනය කරන එතනෝල් ලීටර් ලක්ෂ 15 ක් විකුණාගත නොහැකිව තිබීමය.
එසේ තිබියදී හදිසියේ ජනාධිපතිවරයා කිසිදු අංශයක් සමඟ සාකච්ඡා නොකර විශාල ලෙස සුරා බද්දක් පැනවීම පිළිබඳ විවිධ අංශ විමතිය පළ කරයි. එහෙත් එයට ප්‍රධාන හේතුව වන්නේ ජූනි මස අග වනවිට මද්‍යසාර සහ දුම්වැටි බදු වැඩි කළ යුතු බවට මූල්‍ය අරමුදල උපදෙස් දී තිබීම බව පැවසේ. එසේම මේ වසර අග වනවිට දුම්වැටි සහ මද්‍යසාර උදෙසා මිල සූත්‍රයක් තනන ලෙස මූල්‍ය අරමුදල යෝජනා කර ඇති බව දැනගන්නට තිබේ. මේ අනුව අපට පැහැදිලි වන්නේ කවුරු කොහොම කිව්වත් මේ රට දුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය අනුව බවය.
රජයට විශාල ලෙස ආදායම ලැබෙන්නේ රේගුවෙන් සහ සුරා බදු වලිනි. 2023 මුල් කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1688 ක්වූ අතර උපයා ඇති ආදායම බිලියන 316.619 කි. මෙයින් සුරා බදු ආදායම 64% කි. මේ අනුව අපට පෙනී යන්නේ සුරා බදු ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාවයි. එහෙත් මිල අසාධාරණ ලෙස ඉහළ යන විට පාරිභෝගිකයා විකල්ප කරා යොමුවීම වැළැක්විය හැකි නොවේ. ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ මිල වැඩි වූ විට ඉල්ලුම ක්‍රමයෙන් අඩු වී ගොස් එක්තරා අවස්ථාවකදී ආපසු හැරී ගමන් කරන බවයි. අද සුරා බදු ආදායමට සිදුව ඇත්තේ එයයි. පාරිභෝගිකයාගේ අවශ්‍යතා ලේඛනයේ මත්පැන්වලට ලැබී තිබූ ස්ථානය ක්‍රමයෙන් පසුපසට තල්ලු වෙමින් පවතී. එයට හේතුව මතට ඇබ්බැහිවූවන් හැර සෙසු පාරිභෝගිකයා පාරිභෝජනය අඩුකිරීම හෝ විකල්පවලට යොමුවීමේ ප්‍රවණතාව වැඩි වීමයි.
ඇඩික් ආයතනයේ (Adic) මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පවසන්නේ නිතරම මද්‍යසාර සමාගම් උත්සාහ කරන්නේ ආණ්ඩුවට බලපෑම් කර මිල අඩුකර ගැනීමට බවයි. භාණ්ඩයේ මිල අඩුකර බද්ද ඒ ප්‍රමාණයේම තබාගත් විට අලෙවිය වැඩි වී සමාගම්වල ආදායම වැඩිවෙන බව ඔහු පෙන්වා දෙයි.
''මේ අය කියන තර්කයක් තමා මිල වැඩි වූ විට ව්‍යාජ ලෙස තනන මත්පැන්වලට ජනතාව යොමුවන බව. එහෙත් මෙය 100% ක්ම සත්‍ය කියමනක් නෙවෙයි. නීත්‍යානුකූල මත්පැන්වල අඩංගු මත්පැන් ප්‍රතිශතය අඩුයි. ඒ නිසා වැඩියෙන් පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා බැලූ විට මිල අඩුවීමේ වාසියක් නැහැ. එයට හේතුව වැඩියෙන් පාවිච්චි කරන්න සිදුවීමයි. අනිත් අතට අද මිල වැඩිවීම නිසා බොහෝ පාරිභෝගික ද්‍රව්‍යවල අලෙවිය අඩුවෙලා. එය මත්පැන්වලට පමණක් සුවිශේෂ වූවක් නෙවෙයි. මත්පැන් වෙනුවට විෂ මත්පැන් එනවාය කියන කියමන සත්‍ය නොවන බව අපේ සමීක්ෂණ අනුව සනාථ වී තිබෙනවා. මෙම වැඩිවීම 10% පමණ මට්ටමෙයි තියෙන්නේ. එසේම අලුතින් මත්පැන්වලට යොමුවන ප්‍රමාණය අඩුවන අතර ඔවුන් වුවත් විෂ මත්පැන්වලට යාම අඩුයි. විෂ මත්පැන්වලට වඩා නීත්‍යානුකූල මත්පැන් බොන අයට යම් සමාජ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා විෂ මත්පැන්වලට යොමුවන අය අඩුයි. එසේම සෞඛ්‍ය වියදම් මේ නිසා වැඩි වෙනවාය කියන කතාවද බොරු. සෞඛ්‍ය වියදම් වැඩි වන්නේ බෝ නොවෙන රෝග මැඩපැවැත්වීමටයි.''
මේ අතර සුරා බදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ මත්පැන් සමාගම් 9 කින් හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 630 පමණ අයවිය යුතු බවය. හිඟ ඇති සමාගම්වලින් බහුතරය දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වලට අයිති බව පැවසේ. මේ හිඟ ගෙවා දැමීම සඳහා පසුගිය සතියේ සිට දින 14 ක් ලබා දී ඇති අතර හිඟ බදු හා ප්‍රමාද ගාස්තු නියමිත දිනයට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් මෙම සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බව කියයි. මෙවැනි විශාල මුදලක් කෙටි කාලයක් තුළ අයකර ගැනීමට වෙනත් ක්‍රමයක් නැති බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ මුදලින් කෝටි 250 ක් හිඟ බදු වන අතර 380 ක් ප්‍රමාද ගාස්තු වෙයි. මෙහිදී ප්‍රමාද ගාස්තු හිඟ මුදලට වඩා වැඩි වී ඇත. මෙම සමාගම් අතර මෙන්ඩිස් සමාගම පෙරමුණ ගෙන ඇති. එක් කාලයකදි හිඟ බදු නොගෙවීම නිසා සමාගම නිෂ්පාදන වසා දැමීමට සිදුවුවද දේශපාලන බලපෑම් නිසා හිඟවලින් සුළු කොටසක් ගෙවා සමාගම විවෘත කරගෙන තිබෙන බවද දැනගන්නට තිබේ. රජයේ ප්‍රබල දේශපාලඥයකුට අයත් වයඹ පළාතේ නිෂ්පාදන සමාගම් 3 ක්ද, කළුතර ඩිස්ටිලර්ස්, මැකලම් බෘෘවරිස් සහ තවත් සමාගම් 3 ක්ද ඉතිරි මුදලට දායක වෙයි. ඇතැම් ඒවාට අධිකරණ කටයුතු පවත්වාගෙන යන අතර ඇතැම් ආයතන ඉක්මනින් ගෙවන බවට පොරොන්දු වී ඇති බවද පැවසේ.
ආර්ථික විද්‍යාඥ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු:
''ආර්ථික විද්‍යාවේදී අනම්‍ය භාණ්ඩ පිළිබඳව දැක්වෙනවා. මෙයින් අදහස් වන්නේ මිල වැඩි කළද ඉල්ලුම අඩු නොවන භාණ්ඩයි. එම භාණ්ඩවල බදු ප්‍රතිශතය ඉහළ නැංවුවද ඒවායේ අලෙවි වන ප්‍රමාණය අඩු වන්නේ නෑ. දුම්වැටි, මත්පැන් ආදිය කලක් පැවතුණේ අනම්‍ය භාණ්ඩ ලෙසයි. ඉල්ලුමට මිල බල නොපාන නිසා වැඩි මිලකදී වුවද තමන් මුලින් ඉල්ලූ ප්‍රමාණය පාරිභෝජනය කිරීමට පාරිභෝගිකයා පෙළඹී සිටියා. එසේම විකල්ප නොමැති භාණ්ඩද අනම්‍යයයි. එයට හේතුව එය අතහැරලා වෙනත් පාවිච්චි කරන්න දෙයක් නොමැති වීමයි. ඒ නිසා එම භාණ්ඩවල ඉල්ලුම සැමදාම එක ලෙස පැවතුණා.
මෙවැනි අනම්‍ය භාණ්ඩල මිල දෙවරක් නොසිතා ඉහළ නංවන්නට නිෂ්පාදකයන්ට හැකි වුණා. එහෙත් මෙම තත්ත්වය සදාකාලික නෑ. වැඩිවන මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි නම් ඔහු මිලට ගන්නා ප්‍රමාණය අඩු කරනවා. අතේ ඇති මුදලට පමණයි අවශ්‍ය තොග මිලට ගන්නේ. අද මත්පැන් සහ දුම්වැටිවලටත් සිදුව තිබෙන්නේ එම තත්ත්වයයි. ඒවායේ මිල වැඩි කරන්න, වැඩි කරන්න ක්‍රමයෙන් මිලට ගන්නා ප්‍රමාණය අඩුව ගොස් එක්තරා අවස්ථාවක සිට මිලට ගන්නා ප්‍රමාණය නැත්තටම නැති තත්ත්වයට පත්වෙනවා.
මත්පැන් සහ දුම්වැටි අනම්‍ය භාණ්ඩ ලෙස සැලකූ බැවින් ඒවායේ බදු දිගටම වැඩි කරන්න රජයට හැකි වුණා. නිෂ්පාදකයන්ද වැඩි කළ බදුවලට සමානුපාතිකව එම ද්‍රව්‍යවල මිල වැඩි කර අලෙවි කළා. වැඩි කළ බදු මුදල නිරායාසයෙන් රජයට ලැබුණා. එහෙත් දැන් එම තත්ත්වය කණපිට හැරී තිබෙනවා. මද්‍යසාරවල මිල වැඩි වූ විට මුලින් තිබූ අලෙවි ප්‍රමාණය අලෙවි වන්නේ නෑ. පාරිභෝගිකයා මිලට ගැනීම අඩුකර අඩු මිලට ගත හැකි විකල්ප කරා යොමුවන ප්‍රවණතාවක් මේ වනවිට ඇතිවෙලා තියෙනවා.
මෙවර මද්‍යසාරවල මිල 20% ක ප්‍රමාණයකින් වැඩි කළ බවයි ප්‍රචාරය වූයේ. ඒ මිලට සැසඳූ විට මද්‍යසාර බෝතලයක මිල රු. 300/- ක් පමණ වැඩි කරන්නට සිදුව තිබෙනවා. එහෙත් පාරිභෝගිකයාට එම මිලට ගත හැකිද? බැරිවන විට ඔහු විකල්ප සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවෙනවා. එයින් අපේක්ෂිත ආදායම ලබාගන්න රජයට ලැබෙන්නේ නෑ.
අද රජය විශාල මූල්‍ය අර්බුදයක ගිලී ඉන්නවා. වෙනදා වගේ අයවැය ලේඛනයේ හිඟය පියවන්නට ණය ගන්නට බෑ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු වැඩි කිරීමට තවදුරටත් පියවර ගන්න ආණ්ඩුවට හැකියාවක් නෑ. වෙනදා වගේ මුදල් මුද්‍රණය කිරීමටද නොහැකියි. ඍජු බදු වැඩි කිරීමටද අපහසු බවයි පෙනෙන්නේ. ඒ නිසා පහසුවෙන් මුදල් උපයා ගැනීමට අත්‍යවශ්‍ය නොවන දේවල බදු ප්‍රතිශත ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
මෙතෙක් බදු නොගෙවූ ව්‍යවසායකයන්ගෙන් ඍජු ආදායම් බදු අය කළ යුතු බවට රජය පසුගිය අයවැයෙන් යෝජනා කළා. එහෙත් එය ඉක්මනින් කළ හැක්කක් නෙවෙයි. ඒ සඳහා නීති සකස් කළ යුතු වෙනවා. ඒ නිසා ඉක්මනින් අවශ්‍ය ආදායම උපයා ගැනීමට මේ දෙය කර තිබෙනවා. වෙන රටවල මද්‍යසාරවලට බදු පනවන්නේ ඒවා ව්‍යාප්තිය පාලනය කිරීමටයි. එහෙත් ලංකාවේ එය කරන්නේ ආදායම් උපයා ගැනීමේ එකම බලාපොරොත්තුවෙන්.
මිල වැඩිවීම නිසා අපේ රටේ නීත්‍යානුකූල මත්පැන්වල අලෙවිය පහළ බැස්සත් මද්‍යසාර පාවිච්චිය අඩුවෙලා නෑ. එයට හේතුව පාරිභෝගිකයා විෂ මත්පැන්වලට යොමුවීමයි. අඩු මිලට අලෙවි කරන හොර මත්පැන්වලට නැඹුරු වීම නිසා ජනතාවගේ සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා. ජනතාවට ඇතිවන බෝ නොවෙන රෝග මර්දනය සඳහා සහ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදුවෙනවා. ඒ නිසා ආදායම් ඉලක්ක සපුරා ගන්නට බැරිවෙන අතර ජනතාවද රෝගින් බවට පත්වෙනවා. මේ නිසා මත්පැන් මිල හිතුවක්කාරී ලෙස ඉහළ නැංවීම සුදුසු නෑ.
අනිත් අතට නීත්‍යානුකූල මත්පැන් ව්‍යාපාරය නිසා බොහෝ පිරිසක් සිය ජීවිත පවත්වාගෙන යනවා. සේවකයන් දහස් ගණන් ඍජු සහ වක්‍ර රුකියාවලට සම්බන්ධ වී සිටිනවා. යම් ලෙසකින් මත්පැන් ව්‍යාපාර සමාගම් වසා දැමුවහොත් විශාල සංඛ්‍යාවකගේ රුකියා අහිමි වෙනවා. මෙම තත්ත්වය බලධරයන් සැලකිල්ලට ගත යුතුයි. ඒ නිසා කඩිමුඩියේ ගන්න මෙවැනි තීරණවලින් සිදුවන්නේ අයහපතක්ම පමණයි.''
I යසවර්ධන රුද්රිගූ