2023 ජුලි 08 වන සෙනසුරාදා

ණය කැපිල්ලෙන් අර්ථසාධකයත් කැපෙයිද?

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දී ඇති විවිධ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව පියවර ගෙන තිබේ. එම නිර්දේශවලට අනුව විදේශීය ණය මෙන්ම දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇත. පසුගිය සතියේ දින 05ක කාලයක් බැංකුවලට  නිවාඩුවක් ලබා දෙමින් දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළේය.  ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව වැඩි ඡන්ද 60කින් සම්මත කෙරිණි. 

රජයේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.67කි. ඩොලර් බිලියන 41.5ක විදේශ ණය ප්‍රමාණයක්ද, දේශීය ණය ඩොලර් බිලියන 42.1 ක් ද ඊට අයත්ය. මෙම ණය ප්‍රමාණයෙන් බිලියන 19.8ක් ප්‍රතිව්‍යුගතකරණය කෙරෙනු ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුව රටේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා  දේශීය හා විදේශීය වශයෙන් ණය ලබාගෙන තිබේ. ඒවා යළි ගෙවීම සඳහා විවිධ කොන්දේසි පවතී. එනම් ණය වාරිකය, පොලී අනුපාතය සහ ගෙවා නිමකරන කාලය වශයෙනි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් අදහස් කෙරෙනුයේ රජය විසින්  විවිධ කොන්දේසි යටතේ ලබාගෙන ඇති ණය සඳහා වන පොලිය අඩුකරගැනීම හෝ, කාලය දිගුකර ගැනීම හෝ එම ණයෙන් කොටසක් කපා හැරීම හෝ වැනි ක්‍රියාවලියකි. දේශීය වෙළෙඳ පොළෙන් ණය ගන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගිනි. ඊට අමතරව මහ බැංකුවෙන්ද අත්තිකාරම් ලෙස මුදලින් ණය ගනියි. මේ 2023 මුල් මාස තුනේදී එසේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,218 කි. මහබැංකු දත්තවලට අනුව 2022 වන විට නිකුත් කර තිබෙන සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල වටිනාකම රුපියල් බිලියන 12,872කි. ඉන් රුපියල් බිලියන 3,954 ක්ම සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්ය.

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය යටතේ බැඳුම්කර හුවමාරුවක් කිරීමට රජය යෝජනා කර තිබෙන අතර, මේ යටතේ ශ්‍රී ලංකා මහ බංකුව මිලදී ගෙන ඇති භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කිරීමටද, සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්ති භාර අරමුදල හා වෙනත් විශ්‍රාම අරමුදල් මගින් මිල දී ගෙන ඇති බැඳුම්කර නැවත මිලදී ගෙන නව බැඳුම්කර නිකුත්කරන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය සතියේ මාධ්‍යට ප්‍රකාශ කළේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් මගින් මිලදී ගෙන ඇති භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවන නව පොලිය 2025 දක්වා 12% දක්වා අඩු කිරීමටත් ඉන් අනතුරුව 9% දක්වා අවම පොලියක් ගෙවීමට පියවර ගන්නා බවත්, මේ තුළින් දැනට පවතින සේවක අර්ථසාධක අරමුදලේ ශේෂයට බලපෑමක් නොවන අතර සේවකයන්ට කිසිදු බලපෑමකින් තොරව විශ්‍රාම යෑමේදී අර්ථසාධක  අරමුදල් ලබාගත හැකි යැයි ප්‍රකාශ කළ මහ බැංකු අධිපතිවරයා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකුවලට හෝ මිලියන 52ක් වන තැන්පතුකරුවන්ට බලපෑමක් නොවන බවද වැඩිදුරටක් ප්‍රකාශ කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් බැංකු පද්ධතියට හෝ ගෙවන පොලියට හෝ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අනෙකුත් විශ්‍රාම අරමුදල්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බවටය. අර්ථසාධක අරමුදලට අත නොතබන ලෙසට ඇතැමුන් පැවසුවද තමන් එයට අත නොතැබූ බවත් 10%ක්ව පැවැති අර්ථසාධක අරමුදලේ පොලිය 9% දක්වා අඩු කළේ තමන් ජනාපතිධුරයට පත්වීමට පෙර බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිශාන් ද මෙල් මහතා පෙන්වා දෙන්නේ ලොව බොහෝ රටවල් විදේශීය ණය මෙන්ම දේශීය ණයද ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන බවයි. ඔහුට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒ සම්බන්ධයෙන් බලපැම් ඇතිවිය හැකි පාර්ශ්ව තුනක් සිටී. පළමු පිරිස පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක අර්ථසාධක අරමුදලේ හිමිකරුවන්ය. දෙවැනි පාර්ශ්වය බැංකු හිමියන්ය. තුන්වැනි පාර්ශ්වය බැංකුවල තැන්පත්කරුවන්ය. ආණ්ඩුව ප්‍රතිව්‍යහුගතකරණය සිදුකරන්නේ කිසියම් පාලනයක් යටතේ වන හෙයින් බැංකුවල තැන්පත්කරුවන්ගේ තැන්පතුවලට කිසිදු බලපෑමක් සිදුනොවේ. එහෙත්  සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් යළි සිතා බැලීමට සිදුවේ. 

සේවක අර්ථසාධක අරමුදලේ ට්‍රිලියන 3කට අධික මුදලක් පවතී. එය 2023 රජයේ සමස්ත ආදායමට වඩා වැඩි මුදලකි. ආණ්ඩුව ණය ලබාගන්නේ බැඳුම්කර හා (Bonds) භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) මගිනි. බැඳුම්කරවලින් 43%ක් ලබාගෙන ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලිනි. මෙම බැඳුම්කර සඳහා ආණ්ඩුව ගෙවන පොලී අනුපාතිකය 13.52% කි.. ප්‍රතිව්‍යුහගතකරණය තුළින් රජය තීරණය කර ඇත්තේ එකී 13.52%ක පොලී අනුපාතය වෙනුවට 9.1%ක පොලී අනුපාතිකයක් ගෙවීමටය. එය අර්ථසාධක අරමුදල වෙත ගෙවන සමස්ත පොලියෙන් 1/3ක කපාහැරීමකි. මෙය 2038 වසර තෙක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. උදාහරණයක් ලෙස කිසිවකුගේ ගිණුමක මිලියනයක් තිබේනම්  වත්මන් පොලී අනුපාතය අනුව 2038 වන විට ඔහුට මිලියන 7.6ක් හිමිය. එහෙත් නව පොලී අනුපාතික යටතේ 2038 වනවිට ඔහුට හිමිවන්නේ මිලියන 4කි. එම පුද්ගලයාට අහිමිවන මුදල මිලියන 3.6කි. 

රටේ පවතින ආර්ථික උද්ධමනය හේතුවෙන්ද සේවක අර්ථසාධක අරමුදල් හිමියන්ගේ මුදලේ ශේෂයෙන් 1/3කින් පමණ මේ වනවිටත් අඩු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානික්‍යයන් ප්‍රකාශ කරයි. ඩොලරයේ අගය ඉහළ යෑමට සාපේක්ෂව රුපියල බාල්දු වීම මත මෙම තත්ත්වය අත්වී ඇති බව පෙන්වා දෙන ඔහු එම මුදලිනුත් යම් ප්‍රමාණයක් කපා හැරීමට කටයුතු කරන්නේ නම් එය ජනතාවට කරන අසාධාරණයක් යැයි ප්‍රකාශ කරයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජය තෝරා ගත්තේ මූල්‍ය විශේෂඥයන් විසින් පෙන්වා දුන් අවම හානියක් සහිත ක්‍රියාමාර්ග යැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කරයි. ''රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට ඇති ඉලක්ක සපුරා ගැනීම සඳහා අපි විදේශීය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කළ යුතුයි. ඒ සඳහා දේශීය ණය වසරකට 1.6%කින් කපා හැරිය යුතුයි. එහිදී යම් පිරිසකට හානියක් සිදුවෙන්න පුළුවන්. 1.1% ප්‍රමාණයක ණය කපා හැරීමේ වගකීම මහ බැංකුව විසින් බාර ගෙන තිබෙනවා. ඉතිරි දශම 5 කපා හරින්නට සිදුවන්නේ බැංකු පද්ධතියෙන්, පෞද්ගලික බැඳුම්කර හිමියන්ගෙන් හා සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලින්. අපගේ විශාලතම වගකීම වන්නේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමයි. ඒ නිසා බැංකුවට අත තියන්න බැහැ. පෞද්ගලික බැඳුම්කර හිමියන්ගෙන් කපා හැරීමක් සිදු නොකරන්නේ ඇයි?  පසුගිය වසරේ ආදායම් බදු වැඩි කළ අවස්ථාවේ 24%ට තිබූ බද්ද 36% දක්වා වැඩි කළා. 15% තිබූ සමාගම් බද්ද 30% දක්වා වැඩි කළා. සේවක අර්ථසාධක අරමුදල බදු වශයෙන් ගෙවන්නේ 14%යි. ඒ නිසා ඉතා දුෂ්කර තේරීම වන සේවක අර්ථසාධක අරමුදල තෝරා ගත්තේ අවම හානියක් ඇතිවන ආකාරයට යැයි මූල්‍ය විශේෂඥයන් අපට පෙන්වා දුන්නා. ණය ප්‍රතිව්‍යුහගත නොකළහොත් විය හැකි හානිය පිළිබඳව අප සිතා බැලිය යුතුයි. එකක් තමයි දිගින් දිගටම රට බංකොලොත් භාවයේ සිටීවි. රටට ආයෝජන ගලා ඒමක් නැහැ. උද්ධමනය අහස උසට නඟිවි. එමෙන්ම යම්කිසි අයුරකින් තැන්පත්කරුවන් බැංකුවල තැන්පත් කර ඇති මුදල් යළි ලබාගතහොත් බැංකු පද්ධතිය බිඳ වැටෙනවා. ඒ නිසයි අපි අවම හානියක් ඇතිවන ක්‍රියාමාර්ගය තෝරා ගත්තේ'' යනුවෙන් සඳහන් කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍ය්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කරන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවටය. ලොව බොහෝ රටවල් මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සාර්ථකව සිදු කර ඇති බවත් ශ්‍රී ලංකාවට මෙය අලුත් දෙයක් නොවන අතර මෙවැනි අවස්ථා කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් අවබෝධයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. මෙයින් තමන්ට කිසියම් අලාබයක් සිදුවනු ඇතැයි යන හැඟීම මත භාණ්ඩාගාර බිල්පත් මිලදී ගෙන ඇති ඉහළ පෙළේ ධනවතුන් මෙම ක්‍රියාදාමය යම් පමණකට අඩපණ කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට ඇති අතර මෙවැනි මතයක් නිර්මාණය වී ඇත්තේ ඒ අනුව යැයි ඔහුගේ අදහස වී තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළහොත් ආණ්ඩුව ලබාගෙන ඇති සියලු ණය සහ පොලිය ගෙවීමට සිදු වේ. එලෙස ගෙවීමට නම් බදු වැඩි කළ යුතුය. එයින් සිදුවන්නේ ජනතාව තවදුරටත් පීඩාවට පත්වීමය. රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන ඇත්තේ එහෙයිනි.

එහෙත් දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමෙන්, බැංකු හා මුල්‍ය ආයතනවල ස්ථීර තැන්පත් කරුවන්ට මෙන්ම සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලට බලපෑමක් සිදුවන බවට විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි. ඔවුන් සඳහන් කරන්නේ යම් හෙයකින් ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලින් හා වෙනත් අරමුදල්වලින් ගත් ණය කපා හැරීමට කටයුතු කළහොත් එය විශාල බලපෑමක් වනු ඇති බවටය. සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රිය ගිණුම් සංඛ්‍යාව මිලියන 2.5ක් පමණ වේ. විපක්ෂ දේශපාලන පක්ෂද පෙන්වා දෙන්නේ ආණ්ඩුව සේවක අර්ථසාධක අරමුදලින් ගත් ණයවලින් කොටසක් කපා හැරීමට කටයුතු කරමින් සිටින බවටය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා