2023 ජුනි 24 වන සෙනසුරාදා

ආණ්ඩුවටත් විපක්ෂයටත් නොතේරෙන අර්බුදය

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

බලයට පත්වන ආණ්ඩු, රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යුහගත කිරීම සිය ප‍්‍රමුඛ වගකීමක් ලෙස පවරා ගනී. නිලධාරීන් මාරු කිරීම හැර අන් දෙයක් සිදු නොවේ. පසුගිය දශක ගණන තුළ රාජ්‍ය ආයතන විනාශ කරන ලද ධනය, බලයට පත්වන ආණ්ඩුවල අනුචිත තීරණ ඉදිරියේ අහිමි වූ සම්පත් ගැන හොඳම උදාහරණයක් රටට ඇත. දේශීය හා විදේශීය වශයෙන් එකතු වී ඇති ණය ප‍්‍රමාණය, පසුකරන ලද යුගය ගැන කදිම සාක්ෂියකි. 

රජයේ ආයතන, ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වෙනස් කරගත නොහැකිව සිටින පාලකයන්ට අලුත් බරක් පැටවී ඇත. දේශීය හා විදේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමය. ණය සම්බන්ධ යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිතය. සුපුරුදු පරිදි මැති ඇමැතිවරුන් ණය අර්බුදය ඉදිරියේදී පවා විශාල ඝෝෂාවක් නගනු ඇත. දැනට බලයේ සිටින ආණ්ඩුව මෙම ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොගැනීමෙන් ණය ද එහි පොලිය ද ඊළඟට බලයට පත්වන ආණ්ඩුවට පැවරෙන වග අමතක කළ යුතු නැත. අනුන්ගේ ණය බවට චෝදනා කර වගකීම පැහැරහැරීමෙන් තවත් ඉහිලිය නොහැකි ණය ප‍්‍රමාණයක් ජාතික ආර්ථිකයට එකතුවනු ඇත. 2023 වසරේ ආර්ථිකය ඍණ 7.6% කින් පහත වැටුණු අතර මෙම වසරේ තවත් 4% කින් පමණ ඍණ අගයක් ගනු ඇතැයි සැලකේ. පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ පසුබෑම 11.5% කි. ජනතාව බලවත් දුෂ්කරතාවයක පසුවෙති. ඉදිරියේදී ඇතිවිය හැකි අනතුර දකින මහජන නියෝජිතයන් වගකීමකින් කටයුතු කළ යුතුය.  

ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව 

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලද පරිදි ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.6 කි. මෙම ප‍්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 40.5 ක් විදේශ ණය වන අතර දේශීය ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 42.1 කි. 2022 වසර අවසන් වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් 116% ක ප‍්‍රතිශතයක් ගෙන තිබුණු බව මහ බැංකු වාර්තා පෙන්වයි.

මහ බැංකු අධිපතිවරයා දක්වන කරුණු අනුව දේශීය වාණිජ ණය ප‍්‍රමාණය රුපියල් ට්‍රිලියන තුන ඉක්මවයි. මෙම ණය ප‍්‍රමාණයෙන් රුපියල් ට්‍රිලියන 2.7 ක් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වේ. තවත් බිලියන 300 ක් ණය අයිරාවකි. මෙම ණය ප‍්‍රමාණය වාරික හා පොලිය සහිතව ගෙවිය යුතුව ඇත. අයවැය පියවා ගත නොහැකිව සිටින අවස්ථාවක කලින් ගත් ණය සහ පොලිය ගෙවීම පහසු නැත.

විදේශීය ණය ගෙවීම නතර කර ඇති ආණ්ඩුව එම ණය ප‍්‍රතිව්‍යුහගත කරන සැලැස්මක පසුවේ. ජාත්‍යන්තර නීති හා උපදේශක ආයතන දෙකක් වාණිජ ණය හා ආයතනික ණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇත. ආපසු ගෙවන කාලය දීර්ඝ කරන අතර පොලිය යම් ප‍්‍රමාණයකින් අඩුකර ගැනීමට අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. 

විදේශීය ණයකරුවෝ තමන් ආයෝජනය කරන ලද මුදල අහිමිවීමේ අවදානමක පසුවන අතර ප‍්‍රතිලාභ පහත වැටීම ගැන කනස්සල්ලක පසුවෙති. රට තුළ ණය සඳහා නියමිත පරිදි ගෙවීම් කරන ස්වභාවය ප‍්‍රශ්න නොකරන්නේ ද නොවේ. දේශීය හා විදේශීය ණය සඳහා එකම ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව ඇතැම් පාර්ශ්වයක මතය වී ඇත.

බැංකු පද්ධතියට අවාසියක් සිදුවුවහොත්

දේශීය ණයවලින් විශාල කොටසක් මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකු පහක වත්කම් අතර සැලකිය යුතු කොටසක් බව දැක්වේ. මහ බැංකුවේ අරමුණ මෙම ණය දීර්ඝකාලීන බැඳුම්කරයකට 5% ක පමණ පොලියක් සඳහා පරිවර්තනය කිරීම බව අනාවරණය වේ. බැඳුම්කර වංචාවක් ගැන පසුගිය කාලයේ ආන්දෝලනයක් පැවැති අතර එහිදී රුපියල් බිලියන දහයක මුදලක් වසර දොළහක් සඳහා 9.5% - 12% අතර පොලියකට නිකුත් කර තිබුණි. දේශීය ණය සම්බන්ධ අලුත් බැඳුම්කරයක් අඩු පොලියකට පරිවර්තනය කළහොත් එය ආයෝජනය කළ ගනුදෙනුකරුවන්ට අවාසියකි. 

මහ බැංකුව දේශීය ණය ගැනීම වාණිජ බැංකු හා පිළිගත් නියෝජිත ආයතන මගින් සිදු කරන අතර ඒවාට ගිවිසගත් පොලියක් ගෙවමින් සිටී. ඒ සඳහා තැන්පත්කරුවන්ගෙන් මුදල් එකතු කරගෙන ඇත. දැනට ඇති ණය පොලී අනුපාත නැවත වෙනස් කළහොත් රජය වෙනුවෙන් ස්ථිර තැන්පත්වල යොදවනු ලැබූ ගනුදෙනුකරුවන්ට මිශ‍්‍ර ප‍්‍රතිඵල අත්විය හැක. කොටසක් සිය ආයෝජන මෙන් දෙතුන් ගුණයක් පොලියෙන් උපයාගෙන ඇත. තවත් පිරිසක් මෙම ආයෝජන සඳහා යොදවන මුදලට ලැබෙන ප‍්‍රතිලාභ මත පැවැත්ම හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යොදවති. විශේෂයෙන් රජයෙන් විශ‍්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසි පිරිස මෙම කොටසට ඇතුළත්ය. පසුගිය වසරවල පොලිය අඩුවීමේ විපාකවලට මුහුණ දුන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තම ජීවනෝපාය අහිමි කිරීම ගැන කනස්සල්ලට පත්ව සිටි බව මතක් කළ යුතුය. මහා භාණ්ඩාගාරයෙන් වියදම ගෙවන අතිරේක පොලියක් සහිත තැන්පත් ක‍්‍රම හඳුන්වාදීම එහි ප‍්‍රතිඵලයකි. දැනට ඇති 18% හා 20% අතර පොලිය 5% දක්වා අඩු කළහොත් ආර්ථිකයට පහසුවක් වන නමුත් ජනතාවට ප‍්‍රශ්න ගණනාවක් ඇති කරන බව දැක්විය යුතුය.

අධික ජීවන වියදම ඉදිරියේ ආදායම අඩු වුවහොත් බැංකු සමඟ කරන ගනුදෙනුවලින් යැපෙන ජන කොටස අපහසුතාවයකට පත්වීම වැළැක්විය නොහැක. ප‍්‍රධාන බැංකුවල තැන්පත් කර ඇති ගනුදෙනුකරුවන් පොලිය අඩු වුවහොත් එම මුදල් නැවත ලබාගෙන වෙනත් අංශවල ආයෝජනය කරන තීරණයකට එළඹෙන්නට ද බැරි නැත.

පොලිය අඩු කළ පමණින් නොලිහෙන මූලික ගැටලුව 

දැනට ගෙවිය යුතු දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කර පොලිය කපා හැරීම පමණක් විසඳුමක් නොවේ. මුලින් ද සඳහන් කරන ලද පරිදි ආණ්ඩුව පමණක් නොව ආණ්ඩුවේ ආයතන ද විනයකට ඇතුළු කළ යුතුව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදුලිය, ඛනිජ තෙල් හා ගෑස් යන අංශයන්හි මිල වෙළෙඳපොළ අනුව තීරණය කරන ක‍්‍රමය හඳුන්වා දුන් අතර එය රාජ්‍ය ආයතන වාණිජ බැංකුවලින් ණය ගැනීමේ ක‍්‍රියාවලිය පාලනය කරන්නට හේතු වී ඇත.

කෙසේ නමුත් මෙම ආයතනවල පවතින අකාර්යක්ෂමතාව, තරගකාරීත්වයක් රහිත බව හා දූෂණ යනාදිය ජනතාවට ගෙවන්නට සිදුවන තත්ත්වයක් දැනට නිර්මාණය වී ඇත. සියලුම වියදම සොයා ඒවා විකුණන ආදායමට සමාන කළ පසු වන්දි ගෙවන්නේ ජනතාව බව මතක් කිරීම වැදගත්ය. ඉන්දියාවේ විදුලිය ඒකකයක් නිපදවන මිලට වඩා තුන් ගුණයක් වැඩි මිලට නිපදවන ශ‍්‍රී ලංකාව එම ක‍්‍රමය ජාතික සම්පතක් සේ සලකමින් සිටී. ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් ද තත්ත්වය නොවෙනස්ය. ප‍්‍රධාන ආයතන පමණක් නොව රජයට අයත් ව්‍යාපාර හාරසිය අසූ ගණනකින් 90% කටත් වඩා අලාභ ලබන අතර ලාභ උපයන්නේ වැඩිම වියදමක් තුළ බව සඳහන් කළ හැකිය. මෙම බර අඩු කරන ක‍්‍රමයක් තුළින් ජනතාවට සහනයක් ලැබෙන අතර ආණ්ඩුවේ ණය ගැනීමේ ක‍්‍රියාවලිය ද පාලනය කළ හැකිවේ. 

රජයේ ආදායමෙන් 70% ක් පමණ රජයේ වැටුප් හා විශ‍්‍රාම වැටුප් සඳහා වැය කෙරේ. තවත් 80% ක් පමණ ප‍්‍රතිශතයක් ණය පොලිය හා වාරිකවලට වෙන් කරන්නට සිදුවී ඇත. මෙම අංශ දෙක වෙන් කළ පසු රජයේ ආදායම ඉක්මවා තවත් මුදලක් වැය කරන අතර ඒවා සඳහා ණය ගැනීම ආණ්ඩුවේ ක‍්‍රමය වී තිබේ. ඉතිහාසයේ පැවැති සෑම ආණ්ඩුවක්ම අනුගමනය කළ මෙම ක‍්‍රමය අද වනවිට දරුණු ප‍්‍රතිඵල අත්කර දී ඇත. ගැලවෙන්නට නම් විශාල තීන්දු ගැනීමට සිදුවේ.

වෙනස් කරන්නට ඉඩ නොදීම තුළ සිදුවන හානිය

සිස්ටම් වෙනස් කරන සේ බල කරන නමුත් ආකෘතිය වෙනස් කිරීමට මැති ඇමැතිවරුන්, නිලධාරීන්, වෘත්තීය සමිතිවලින් බහුතරයක් පමණක් නොව මහජනතාවගේද, වැඩි කැමැත්තක් නැත. තමන්ට සිදුවන අවාසි ගැන කල්පනා කරති. පරිවර්තනයක් සඳහා සූදානම් නොවන හෙයින් විශාල අසාධාරණයක් සිදුවන බව තකන්නේ නැත.

අලුතින් වැඩි කරන ලද බදු හොඳ උදාහරණයකි. රජයේ වියදම පාලනය කරන අතර අයවැය පියවා ගැනීම සඳහා අලුත් බදු හඳුන්වා දුන්නේය. මෙම  වසරේ පළමු කාර්තුවේ දී බදු ආදායම 116% කින් වැඩි වි තිබේ. එහෙත් මෙම ආදායම ද ප‍්‍රමාණවත් නැති බව ප‍්‍රතිපත්ති සම්පාදකයෝ පෙන්වා දෙති. 2022 වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 146 ක බදු ආදායමක් ලබා ඇති අතර 2023 ජනවාරි අප්‍රේල් කාලය තුළ ලබා ඇති බදු ආදායම රුපියල් බිලියන 316 කි. වාර්තා දක්වන පරිදි කාර්තුවකට රුපියල් බිලියන 500 ක බදු ආදායමක් අවශ්‍යය. එදිනෙදා ජීවත්වීම ද ප‍්‍රශ්නයක් වී ඇති රටක මිනිසුන් තවත් බදු ගෙවන්නේ කෙසේද යන්න ප‍්‍රශ්න කිරීම අවශ්‍යය. 

පොලිය අඩුකර ණය පාලනය කරන හා නිෂ්පාදන නංවන හදිසි සැලැස්මක් ක‍්‍රියාවට නැංවීම උවමනා කර ඇත. ආණ්ඩුවට හෝ විපක්ෂයට මෙම අර්බුදය වැටහෙන්නේ නැත. බලය ලබාගන්නට වැර දරන දේශපාලනඥයන්ටත් ජනාධිපති පදවියට පත්වුවහොත් ප‍්‍රශ්න නිරාකරණය කළ හැකි බව සිතන විද්වතුන්ටත් සැබෑ අර්බුදය ගැන වැටහීමක් නොමැති බව පෙනේ. ආදායම උපයන ක‍්‍රියාමාර්ග සඳහා වහාම අවතීර්ණ විය යුතු අතර රජයේ ආදායම වැඩි කරගෙන ණය ගැනීම පාලනය කළ යුතු වේ. රජයේ ණය පාලනය වනවිට ව්‍යවසායකයන්, ස්වයං රුකියාකරුවන් හා ආයෝජන අවස්ථා සඳහා බැංකුවලින් මුදල් ලබාගැනීම පහසු වනු ඇත. බැංකුවල තැන්පත් ආණ්ඩුව ලබාගෙන ඒවාට ගෙවන පොලිය ද එකතු කර මහජනතාවට සහන සැපයීමෙන් සංවර්ධනයක් සිදුවෙන්නේ නැත. බැංකු පද්ධතියට හානියක් නොවන හා ගනුදෙනුකරුවන් ගැන ද සලකා බලා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රබල අවශ්‍යතාවයකි.
 
I සාරා කන්දෙගොඩ