2023 ජුනි 24 වන සෙනසුරාදා

ආවා... තිබ්බා... ගියා හැමතැනම පත්තුවෙන පාතාලේ තුවක්කු

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 69

පොලිස් දත්ත වාර්තා අනුව 2023 වසරේ ජනවාරි සිට ජූලි 19 වැනිදා තෙක් දිවයින පුරා මිනිස් ඝාතන 225 ක් සිදු කර තිබේ. ඒවා අතුරින් ඝාතන සිදුවීම් 223 ක් විසඳා අවසන් කිරීමටත් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් පොලිසිය සමත්ව සිටියි. මේ අතර තවත් බරපතළ කාරණාවක් වන්නේ ජනවාරි සිට ජූනි 20 දක්වා කාලය තුළ රට පුරා සිදු කළ වෙඩි තැබීම් 40 ක් වාර්තා වීමය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන ආකාරයට සිදුකර තිබෙන වෙඩි තැබීම් 40 න් පුද්ගලයන් 23 දෙනෙක් ඝාතනයට ලක්වූහ. තවත් පුද්ගලයන් 17 දෙනකු තුවාල ලබා තිබෙන අතර වෙඩික්කරුවන්ගේ ඉලක්ක වැරදී තිබුණේ අවස්ථා තුනකදී පමණි. ඒ අනුව වෙඩි තැබීම් තුනකදී කිසිදු ඝාතනයක් හෝ තුවාල කිරීමක් සිදු කරන්නට ඝාතකයන්ට අවස්ථාව ලැබී නැත.

පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි නාඳුනන තුවක්කුකරුවන් විසින් සිදුකර ඇති වෙඩි තැබීම් හා ඝාතන සිදුවීම් බහුතරය පසුපස සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාලයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් ආශ්‍රිත ක්‍රියාකාරකම් බලපා තිබේ. ඊට අමතරව කොළඹට දුර බැහැර කෘෂිකර්මාන්තය මූලික කොටගත් ප්‍රදේශ ආශ්‍රිතවද වෙඩි තැබීම් වාර්තා වී තිබේ. ඒවාට හේතු වශයෙන් පෞද්ගලික ආරවුල් හා අනියම් ප්‍රේම සබඳතා පැවති බවට හඳුනාගෙන ඇත. එම වෙඩි තැබීම් හා ඝාතන සඳහා දේශීය නිෂ්පාදිත ගිනිඅවි භාවිත කොට තිබෙන බවටද හඳුනාගෙන ඇත. එසේම පාතාල ඝාතන සියල්ල සඳහා ස්වයංක්‍රීය ගිනිඅවි යොදාගෙන තිබෙන අතර එම ඝාතනවලට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් ගනුදෙනු හා ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි කිරීම ආදී කරුණු මූලික කොටගත් ඒවාය.

තැන තැන පත්තුවෙන පාතාල වෙඩික්කරුවන්ගේ තුවක්කු නිසා පාරේ යන එන මිනිසුන්ට දැන් මර බිය ඇති වී තිබේ. මෙසේ එකම අයුරින් සිදු කළ වෙඩි තැබීමේ සිදුවීම් තුනක් පැය 12 ක් තුළ වාර්තා වූයේ ඉකුත් 20 වැනිදා රාත්‍රී 9 ත් 21 වැනිදා උදේ 9 ත් අතර කාල පරාසය තුළය. එම වෙඩි තැබීම්වලදී පුද්ගලයන් තිදෙනකු මරණයට පත් වූ අතර එම සිදුවීම් කොට්ටාව, කොස්ගොඩ හා හෝමාගම පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා විය. මීට අමතරව ඉකුත් 17 වැනිදාට පසු ගෙවුණු සතිය තුළ මිනුවන්ගොඩ, වැල්ලම්පිටිය හා සීනිගම ප්‍රදේශ ආශ්‍රිතවද වෙඩි තැබීමේ සිදුවීම් තුනක් වාර්තා විය. ඒවායෙන්ද 20 වැනිදා රාත්‍රියේ සිට පැය 12 ක් තුළ කළ වෙඩි තැබීම් තුනකදී ව්‍යාපාරිකයන් දෙදෙනෙක් හා පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙක් ඝාතනය ලක්වූහ. හෝමාගම නියඳගල කටුවන ප්‍රදේශයේදී 20දා රාත්‍රී 9.10 ට පමණ සිදු කළ වෙඩි තැබීමෙන් චමිල සංජීව (46) නැමැති වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙක් මරණයට පත්විය.

ඔහුගේ නිවෙසේ එදින රාත්‍රී පැවති සාදයකි. ඒ සඳහා මිතුරන් පිරිසක් එක්ව සිටියහ. ඒ අතරතුර චමිල සංජීවට ලද දුරකතන ඇමතුමකි. ඊට පිළිතුරු දීම සඳහා ඔහු නිවෙස ඉදිරිපිට ගේට්ටුව අසලට පැමිණ සිටියේය. ඒ මොහොතේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔහුට වෙඩි තබා පලා ගොස් ඇතැයි කියති. බරපතළ තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කොට සිටියදී ජීවිතක්ෂයට පත්විය. ඔහුට වෙඩි ප්‍රහාර 5 ක් එල්ල කර ඇති බව පොලිසිය පවසන අතර හඳපාන්ගොඩ හඳයා නැමැත්තාගේ මෙහෙයවීමක් බවටද හඳුනාගෙන තිබේ.

මරණකරුගේ නිවෙස අසල නිවෙසක සිට පුද්ගලයකු මත්කුඩු ජාවාරම සිදුකර ඇත. ඔහු හඳයා නැමැත්තාගේ ඥාතියෙකි. වසරකට පමණ පෙර එම නිවෙස පොලිසිය විසින් වටලා සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ ඔත්තුව පොලිසියට ලබා දී තිබුණේ මරණකරු විසින් බවට සැකකළ හඳයා වරෙක ඔහුට කඩුවකින් පහරදීමට උත්සාහ කර තිබුණි. එය වැළැක්වීමට මැදිහත් වූ ව්‍යාපාරිකයාගේ පියාට කඩු පහර වැදී තුවාල සිදුව තිබූ බවද කියැවේ. එදින ''උඹ කවදා හරි මරනවා'' යැයි හඳයා ව්‍යාපාරික සංජීවට තර්ජනය කළ බවද පැවසේ. මේ අනුව හඳයා නැමැත්තා විසින් ඝාතනය සිදු කරන්නට ඇති බව පොලිසිය සැක කරයි.

මෙදින අලුයම තවත් වෙඩි තැබීමක් වාර්තා වූයේ කොස්ගොඩ ප්‍රදේශයෙනි. එදින අලුයම 5.45 ට පමණ වෙඩි තැබීම නිසා විජිත මහේන්ද්‍ර සිල්වා (52) නැමැති ව්‍යාපාරිකයා මරණයට පත් විය. මොහු නිවෙසේ නිදාගෙන සිටියදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු නිවෙසට පැමිණ ව්‍යාපාරිකයා නිවෙසින් එළියට කැඳවා පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි කියති. මියගිය පුද්ගලයා කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයාගේ සමීපතමයකු බව කියැවේ. ඝාතනය වූ පුද්ගලයා ප්‍රදේශයේ ''රන්මල්ලි'' ලෙස හඳුන්වයි. ඔහු සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයක නියැලෙයි. සෑම පොහොය දිනකම ප්‍රදේශයේ දන්සලක් පවත්වන ඔහු ඒ සඳහා වියදම් කරන්නේ කොස්ගොඩ සුජීගේ මුදල් බව කියැවේ. මේ ඝාතනය රත්ගම විදුර නැමැත්තාගේ මෙහෙයවීමෙන් බවට අනාවරණය වී තිබේ.

මීට අමතරව එදිනම තවත් වෙඩි තැබීමක් වාර්තා වූයේ කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් තුළදීය. එදින පෙරවරුවේ අදාළ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයට සේවයට පැමිණි මිහිරාන් පත්මසිරි (33) නැමැත්තා පැමිණි යතුරුපැදිය නවතා කාර්යාලයට ගොස් පුටුවක වාඩි වී ඇති බවත් ඒ මොහොතේ යතුරුපැදියක පැමිණි හිස්වැසුම් පැළඳගත් දෙදෙනකු අතරින් කාර්යාලයට පැමිණි අයකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇති බවත් කියති. උදේ 8.10 ට පමණ කළ වෙඩි තැබීමෙන් මියගිය තරුණයා මත්තේගොඩ නාමල් උයන පදිංචිකරුවෙකි. වෙඩි තබන අවස්ථාවේ තවත් සේවකයකු හා සේවිකාවන් දෙදෙනකු එතැන රුඳී සිට ඇති අතර වෙඩික්කරුවන් ඔවුන්ටද තර්ජනය කොට තිබුණි. එම ඝාතනය පසුපස මත්ද්‍රව්‍ය ජාවාරමේ සබඳතාවක් ඇති බවද කියැවේ.

මීට අමතරව පසුගිය 17 වැනිදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන්ගත් දෙදෙනකු ඉලක්ක කොට වෙඩි තබා තිබුණි. එහිදී යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා තුවාල ලැබූහ. ඉකුත් 19 වැනිදා කොළොන්නාව අයි.ඩී.එච්. පාරේ සිංහපුර ප්‍රදේශය රුඳී සිටි අයකුට යතුරුපැදියක පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඇතැයි වාර්තා විය. ඊට දින දෙකකට පෙර සීනිගමදී වෙඩි තැබීමක් වාර්තා විය. එහි ඉලක්කය වී තිබුණේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. ඔහුට අයත් මෝටර් රථයක රුඳී සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල කොට තිබූ අතර වෙඩි ප්‍රහාරය හමුවේ ඔහු රථය පදවාගෙන හික්කඩුව පොලිසිය වෙත ගොස් බේරී තිබුණි. එම වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නැත.

බොහෝ පාතාල වෙඩි තැබීම් ඊට පෙර සිදුවූ අපරාධ හා සම්බන්ධතා පවතින බව අනාවරණය වී ඇත. ඉකුත් සතියේ සිදු කළ වෙඩි තැබීම් පිළිබඳ කොට්ටාව, හෝමාගම හා කොස්ගම පොලිස් ස්ථාන ඇතුළුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය පොලිස් විශේෂ කාර්ය බලකාය හා බුද්ධි අංශ ඇතුළු කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදු කෙරේ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර