ඔබට මට නීරෝගී සුව අහිමිවන්නේ හිටි හැටියේමය. එවිට අප හනික සොයා යන්නේ ජීවකයන් සිටින ආරෝග්‍ය ශාලාවකි. එහෙත් එවන් විටක අපට සරණක් වන්නට ජීවකයන් එහි නොසිටියහොත් කුමක් සිදුවේද? ඇතැම්විට ජීවකයන් නොමැති තැන ජීවිතයේ කෙළවර වන මරණය පවා අපට මුණගැසෙනු ඇත. අප ඔබ සමඟ බෙදා ගැනීමට සූදානම් වන්නේ අඳුරු කඩතිරකින් වසා ඇතැමුන් ලෝකයට සඟවන්නට උත්සාහ දරන ළඟ ළඟම එන ඛේදවාචකයක් පිළිබඳ පුවතකි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය හිඟය නම් ළඟ ළඟම පැමිණෙන මෙම ඛේදවාචකය පිළිබඳ, ව්‍යාධි නම් පොදු ධර්මතාවයට ගොදුරුවන සියලු මිනිස්සු දැනගත යුතුමය.
වෛද්‍ය හිඟය කලක පටන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලුවකි. එහෙත් බලධාරීන් මෙතෙක් ඊට ස්ථිරසාර පිළියමක් ලබාදීමට අනුගමනය කර ඇත්තේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි. එහි ප්‍රතිඵල ලෙස අද වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම බිහිසුණ ඛේදවාචකයට මුහුණ දෙමින් සිටී. මේ වනවිට දිවයින පුරා දුෂ්කර පළාත්වල පර්යන්ත රෝහල් පද්ධතියේ නොසලකා හැරිය නොහැකි පරිමාවක වෛද්‍ය හිඟයක් නිරීක්ෂණ වේ. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය බරපතළ තත්ත්වයකි.
අද වනවිට ඇතැම් රෝහල්වල දෛනික ප්‍රතිකාර සේවා සහ රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් වී ඇතැයි වාර්තාවේ. එසේම ඇතැම් ඒකක වැසී යන තත්ත්වයක් ද උදාවී ඇත. කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම වැනි රෝහල්වල පමණක් නොව දෙහිඅත්තකණ්ඩිය, තිස්සමහාරාමය, නුවරඑළිය, මොණරාගල වැනි ප්‍රදේශවල රෝහල්වලද දැන් දැන් වෛද්‍ය හිඟය වාර්තා වීමට පටන්ගෙන තිබේ.
මෙවන් ගැටලු රටපුරා වාර්තා වන අතරේ සාපේක්ෂව දුෂ්කර රෝහල් නොවුණු හම්බන්තොට, තංගල්ල වැනි රෝහල වෛද්‍ය හිඟය හේතුවෙන් සමහර අංශවල බිඳවැටීම් සිදුවෙමින් ඇතැයි දැන ගැනීමට ලැබේ. හම්බන්තොට රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු දෙදෙනාම විදෙස්ගතවීම සම්බන්ධ ගැටලුවක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි. තංගල්ලෙන්ද වාර්තා වන්නේ ඊට සමාන තත්ත්වයකි.
මේ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු නොමැති බව කියමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ පිහිටි ළමා රෝග වාට්ටුව හදිසියේ වසා දැමීම හේතුවෙන් ඇතිවූ තත්ත්වයද අමතක කළ නොහැකිය. මේ හරහා පසුගිය සමයෙහි රජරට වෛද්‍ය පීඨයේ සිසුන් පවා දැඩි අපහසුතාවයකට පත්විය. වෛද්‍ය හිඟය හේතුවෙන් තවත් මෙවැනි සිදුවීම් රැසක් නුදුරු අනාගතයේදී වාර්තා වුවහොත් අප පුදුම විය යුතු නැත.
මේ මොහොතේ වෛද්‍ය හිඟය අතිශය භයානක තත්ත්වයක් බවට පත්වීමට, වර්තමාන සමාජ ආර්ථික වටපිටාව ප්‍රබලතම හේතුව වී තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන්, කනිෂ්ඨ වෛද්‍යවරුන් සේම නවක වෛද්‍යවරුන්ද රට හැර යන තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙය වර්තමාන සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින බුද්ධිගලනයේ ප්‍රතිඵලයක් බව පැහැදිලිය. ඇතැමුන් අර්ථ දක්වන්නේ මෙය බුද්ධිය පලවා හැරීම ලෙසය.
කෙසේවෙතත් වෛද්‍යවරයකු හෝ ඕනෑම වෘත්තිකයකු රට හැර යන්නේ කැමැත්තෙන් නොවන බව මෙහිලා සඳහන් කළ යුතුය. උපන් බිම හැර යන්නට උත්සාහ දරන බොහෝ දෙනාට සාධාරණ හේතු තිබේ. සාමාන්‍ය තරුණ තරුණියන් පවා රට හැර යන්නට බොහෝ සෙයින් උත්සුක වන මෙම වකවානුවේ, වෛද්‍යවරුන් වැනි ඉහළ වෘත්තීය මට්ටම්වල සිටින පිරිස රට හැර නොයනු ඇතැයි අපේක්ෂා කිරීම විසුළු සහගතය.
කෙසේ වෙතත් ඇතැම් පාර්ශ්ව සැක පළකරන්නේ වෛද්‍ය වෘත්තිකයන් සම්බන්ධව ගැටලු නිර්මාණය කරමින්, ඇතමුන් හිතාමතාම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය බිඳ දැමීමට යත්න දරන බවයි. එවන් පිරිස්වලට තම තමන්ගේම න්‍යාය පත්‍ර ඇති බව කියැවේ. වෛද්‍යවරුන් රට හැර යාම වළක්වා ගැනීමට හැකි ඇතැම් පහසුකම් ආර්ථිකමය තීන්දුවක් නොවන බව ඔවුන් කියා සිටී. ඒවා ප්‍රතිපත්තිමය තීන්දුය.
කෙසේ වෙතත් බලධාරීන් ඒ පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කරන්නේද යන්න ගැටලුවකි. පසුගිය සමයේ බුද්ධිගලනය වළක්වා ගැනීමේ අරමුණෙන් කමිටු පත්කර විමසා බැලීමක් සිදුකළ මෙහිදී සිහිපත් කළ යුතුය. නමුත් එහි නිරීක්ෂණය වූ කරුණු සම්බන්ධව මෙතෙක් ලබාගත් පියවර කවරේද යන්න අපට පැහැදිලි නොවේ.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් රට හැර යෑම හරහා මෙරට රෝගීන්ට මරණ වරෙන්තු ලැබෙන බව ඉතා සුළු කාලයකින් සියලු දෙනාටම අවබෝධ වනු ඇතැයි අපි සිතමු. එහෙත් ඊට පෙර මේ ඇත්ත ඇති සැටියෙන් දැක නිවැරදි තීන්දු වලට එළඹීමේ වගකීම බලධාරීන් සතුය.
අවිනිශ්චිත අනාගතය හින්දා රට හැර යනවා
වෛද්‍ය චමිල් විජේසිංහ - (මාධ්‍ය ප්‍රකාශක - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය)
''මේ තත්ත්වයට හේතුවෙලා තියෙන්නේ ආර්ථිකමය කාරණා විතරක් නෙවෙයි. වර්තමානයේ තියෙන සමාජ අස්ථාවරත්වය, අහිතකර වෘත්තීය වටපිටාව, දරුවන්ගේ අනාගතය සම්බන්ධව පවතින අවිනිශ්චිත තත්ත්වයන් ඒකට හේතුවෙලා තියෙනවා. මේ ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා.
අපි දැක්ක පහුගිය දවස්වල අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් කියලා තියෙනවා නීති රාමුවක් අරගෙන එනවා, වෛද්‍යවරු අසාදු ලේඛනගත කරනවා, පොලීසිය දාලා නතර කරනවා වගේ කතා. මේ දේවල් ප්‍රායෝගික නෑ. ඒ වගේම මේ සඳහා නීති ප්‍රතිපාදන නෑ.
ඒ නිසා තමයි අපි කිව්වේ විදේශගතවීම යම් ප්‍රමාණයකට නියාමනය කරලා, රට තුළ රුඳිලා ඉන්න පිරිස ආරක්ෂා කරගන්න යම් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න ඕනෑ කියලා. මේ නියාමනය හරහා රටට විදේශ විනිමය ලබා ගැනීමට පවා ක්‍රමවේදයක් අපි ලබාදීලා තියෙනවා. මේ රටේ රුඳිලා ඉන්න වෛද්‍යවරුන් තවදුරටත් රඳවා ගැනීම සඳහා යම් ප්‍රතිපත්ති මාලාවක් ආණ්ඩුව පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයෙන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනෑ. තත්ත්වය දිනෙන් දින බරපතළ කරමින් පවතිනවා.
මේ කියන්නේ වැටුප් වැඩි කරන්න කියලා නෙවෙයි. යහපත් වෘත්තීය පරිසරයක් නිර්මාණය කරන්න ඕනෑ. ඖෂධ හිඟය වගේ කාරණා නිසා වෘත්තීයමය පරිසරයට බලපෑම් එල්ල වෙලා තියෙනවා. පහුගිය කාලේ ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොමැතිව ගැටලුවක් ඇති වුණා. වෛද්‍යවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් දුෂ්කර පළාත්වල විශාල ගැටලු තියෙනවා. ඇතැම් තැන්වල අවම පහසුකම්වත් නැහැ. ඒ වගේම දුෂ්කර පළාත්වල සේවයට යන වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසැලක් ලබාගැනීම සම්බන්ධවත් ගැටලු තියනවා. මෙවැනි දේවල් තියන විසඳලා යහපත් වෘත්තීය පරිසරයක් නිර්මාණය කිරීම තමා වැදගත්ම.
♦ චමිඳු නිසල් ද සිල්වා